
පාසලක් වැසීම හිර ගෙයක් ඇරීම බඳු යැයි ප්‍රසිද්ධ කියමනක් තිබේ. එහෙත්, පාසල ද සිර ගෙයක් වූ සන්දර්භය තුළ මෙම කතාවල අරුතක් නැත.
පත්තරයක් වැසීම ගැන ද එවැනිම තර්ක කළ හැකිය. පත්තර යනු විශේෂයෙන්ම අපේ පරම්පරාවේ සමාජ ක්‍රියාකාරිකයන්ගේ හෘදයාංගම අනුරාගයකි. පොත් ද එවැනිය. පොත්, පත්තර සුවඳ, ස්පර්ශය අතීතකාමීය.
පොත්, පත්තර නැති වී යනු ඇතැයි බියක් අපට තිබේ. ඩිජිටල්කරණය තුළ පොත්, පත්තර වෙනුවට මාධ්‍ය විකල්ප තිබේ. කියවීම මෙන්ම තොරතුරු සහ විනෝදාස්වාදය ලබා ගන්නා මානව රටා ද වෙනස් වී තිබේ.
මෙවැනි සන්දර්භයක් තුළ පුවත්පත මෙන්ම පොත ද වෙනස් විය යුතුය. මේ දෙකෙහිම මූලික ලක්ෂණය වන්නේ කඩදාසි මත මුද්‍රණය වීමයි. එයට ආවේණික පෙනුමක්, සුවඳක්, ස්පර්ශයක් ඇත. එම ගුණාංග ද රැක ගනිමින් නවීන පුවත්පත් සම්ප්‍රදායක් ගොඩනගා ගන්නට බැරි ද?
පුවත්පත වෙබ් අඩවියක් බවට පත් වූ පසු එය තව දුරටත් පුවත්පතක් නොවේ. පුවත්පතක් නම් එය අනිවාර්යයෙන්ම මුද්‍රණය විය යුතුය. මුද්‍රිත පුවත්පතට වර්තමානයේදී අභියෝග රැසක් තිබේ. සාම්ප්‍රදායික ලෙස කොළඹ සිට මුද්‍රණය කර රට වටේ පත්තර බෙදීම දැන් අධි වියදම්කාරීය. පුවත්පත පිටු සැලසුම්කරණය පමණක් නොව, මුද්‍රණය පවා ප්‍රාදේශීයව කළ හැකිය. එවිට බෙදා හැරීම පහසුය. එහෙත්, ප්‍රශ්නයක් ඇත. ඒ ඉල්ලුමේ ප්‍රමාණයයි.
පුවත්පත් මිල දී ගන්නා පිරිස දැන් ඉතා අඩුය. පුවත්පත මිලෙන් ද තරමක් ඉහළය. දැන්වීම් නොමැති නම් මිල තවත් ඉහළ යනු ඇත. පුවත්පත් අලෙවිය ද ගැටලුවකි. පුවත්පත් අලෙවිකරුවන්ට ලාභ ලැබිය හැකි තරම් පුවත්පත් අලෙවියක් දැන් නැත. තියෙන පත්තර ද වැසී යන විට පත්තර බෙදීමේ ජාලය පවා පවත්වා ගෙන යාම දුෂ්කර වේ.
මේවාට විසඳුම් අලුතෙන් කල්පනා කළ යුතුය. අලුත් අත්හදා බැලීම් කළ යුතුය.
ඒ අතර යුගයේ පුවත්පත් කලාව වන්නේ බහුමාධ්‍ය කතන්දර කීම බව ඉතා පැහැදිලිය. මුද්‍රිත පුවත්පත ඉලක්ක කර ගෙන නිර්මාණය කරන අන්තර්ගත පඨිත ලෙස පමණක් නොව, වීඩියෝ, ඕඩියෝ, ඉන්ෆොග්‍රැෆික් ආදිය ලෙස ද අඩංගු කර, පුවත්පත සමග වෙබ් අවකාශය සම්බන්ධ කළ හැකිය. එහෙත්, තවමත්, එය ද හරිහැටි සිදු වන්නේ නැත.
අනිද්දා පුවත්පත තාවකාලිකව නතර කර ඇති බව දැක්කෙමි. අලුත් ආරම්භයක් ඇති බවට ඇඟවුමක් අනිද්දා පුවත්පත විසින් ප්‍රසිද්ධ කර තිබිණි. අනිද්දා යනු මාධ්‍ය ලෝකයේ විකල්ප අවකාශයකි. අනිද්දා වැසුණොත් එහි රික්තකයක් නිර්මාණය වනු ඇත. ඉන් අනිද්දා හෝ අනිද්දා යළි ආරම්භ විය යුතුය
