
ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානය ලෙස සැලකෙන යාපනය චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු ආරම්භ කර දින අටක් ගත වන විට එම ස්ථානයෙන් හමුවී ඇති මිනිස් අස්ථි ප්‍රමාණය 254 දක්වා ඉහළ ගොස් තිබේ.
වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් නීතිඥ රනිතා ඥාණරාජා මැයි 5 වැනිදා මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේ, මේ වන විට පුද්ගලයන් 249 දෙනකුට අයත් බවට සැලකෙන ඇටසැකිලි ගොඩගෙන ඇති අතර, එදින කැණීම් වලදී කුඩා දරුවකුගේ සිරුරක් ද හමුවූ බවයි.
ඇය පැවසුවේ ඇටසැකිලි පහක් පිරිසිදු කර අංකනය කර ඇති අතර, තවත් ඇටසැකිලි දෙකක් සම්පූර්ණයෙන්ම ගොඩගෙන ඇති බවයි. ඒ අනුව සමස්ත ගොඩගෙන ඇති ඇටසැකිලි සංඛ්‍යාව 249 දක්වා ඉහළ ගොස් ඇත.

මිනී පෙට්ටියක වළලා තිබූ බවට සැක කෙරෙන ඇටසැකිල්ලක් ද කැණීම් අතරතුර හමුවී ඇති අතර, පිළිස්සුණු තත්ත්වයේ අස්ථි කොටස් කිහිපයක් ද සොයාගෙන තිබේ.
කැනීම් ආරම්භයේ සිට මේ දක්වා කාසි කිහිපයක් සහ රන් ආභරණයක් ලෙස සැලකිය හැකි භාණ්ඩයක් ද හමුවී ඇති බව නීතිඥ රනිතා ඥාණරාජා වැඩිදුරටත් පැවසුවාය.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ ඉදිරි කැනීම් කටයුතු සඳහා රජයෙන් රුපියල් ලක්ෂ 210ක මුදලක් වෙන් කිරීමෙන් පසු, 2026 අප්‍රේල් 27 වැනිදා යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ තෙවැනි අදියරේ කැනීම් ආරම්භ කර තිබුණි.
අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් මෙම කැනීම් පළමු වරට ආරම්භ කෙරුණේ 2025 මැයි 15 වැනිදාය.
දින 45ක් පුරා පැවති දෙවැනි අදියරේ කැනීම් 2025 සැප්තැම්බර් 6 වැනිදා අවසන් වන විට, ළමුන්ගේ අස්ථි ද ඇතුළුව මිනිස් ඇටසැකිලි 240ක් සොයාගෙන තිබුණි. එම අස්ථි බොහෝමයක් හමුවී තිබුණේ අඩි එකහමාරත් දෙකත් අතර ගැඹුරකිනි.
වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී.එස්. නිරංජන් පසුගිය අප්‍රේල් 30 වැනිදා සඳහන් කළේ, දෙවැනි අදියරේදී ගොඩ නොගෙන ඉතිරිව තිබූ මිනිස් අස්ථි පඤ්ඤරය තවමත් කැණීම් භූමියේ සංරක්ෂණය කර ඇති බවයි.
මෙතෙක් සිදු කළ කැණීම් වලදී මිනිස් අස්ථි සමඟ ළදරු කිරි බෝතල්, බෝනික්කන් ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් වැනි පාරිහාරික වස්තු රැසක් ද සොයාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ මෙතෙක් හඳුනාගෙන ඇති විශාලතම සමූහ සුසානය ලෙස සැලකෙන්නේ, බාල ළමුන් 28 දෙනකු ඇතුළු මිනිස් සිරුරු කොටස් 376ක් හමුවූ මන්නාරම සතොස සමූහ මිනී වළයි.
