
ඉරාන රජය සමඟ ගිවිසුම්ගත වීම සඳහා යළි සාකච්ඡා පැවැත්වීමේ ඉඩකඩ මතුවී ඇති බැවින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවට සිරවූ වෙළෙඳ නෞකා නිදහස් කිරිමට සහාය ලබා දීමට ආරම්භ කළ ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්‘ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ පාකිස්තාන රජයේ ඉල්ලීම මත කෙටි කාලසීමාවකට එම මෙහෙයුම අත්හිටුවීමට පියවර ගත් බවය. එසේ වුවත් අමෙරිකානු නාවික හමුදාව ඉරාන වරායන් අවහිර කිරිම අඛණ්ඩව සිදුකරන බව ද ඔහු සඳහන් කර තිබේ.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ නිවේදනය නිකුත් වී ඇත්තේ ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ කළ යුද මෙහෙයුම අවසන් කළ බවට එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කිරිමෙන් පසුවය. ඉරානය සම්බන්ධව සිය අරමුණු සාර්ථක කරගත් බැවින් එම මෙහෙයුම අවසන් කළ බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළ බව වාර්තා වේ.
වෙළෙඳ නෞකාවලට මඟ පෙන්වන යන්ත්‍රණයක් ලෙස පසුගිය සඳුදා අමෙරිකානු නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුමට ඉරාන ආරක්ෂක හමුදාවෙන් දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ අතර, වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව සැපයීමට හෝමූස් මුහුදු තීරයට ඇතුළුවන ඕනෑම අමෙරිකානු නෞකාවකට පහර දෙන බව නිවේදනය කළ බව වාර්තා වේ. එම මෙහෙයුම අතරතුරදී ඉරාන ආරක්ෂක හමුදාවේ අණ නොතකා හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට උත්සාහ කළ නෞකා දෙකකට සහ අමෙරිකානු යාත්‍රාවකට ඉරාන ආරක්ෂක හමුදාවෙන් ප්‍රහාර එල්ල වූ බවද වාර්තා වේ. එහෙත් පසුව නිවේදනය කළ අමෙරිකානු මධ්‍යම හමුදා අණදෙන මධ්‍යස්ථානය කිසිදු අමෙරිකානු යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල නොවූ බව කියමින් ඉරානයේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.
