
ගාසා තීරය මිලියන 2.4 ක පමණ ජනගහනයක් ජීවත්වන ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රදේශයකි. මෙම පටු බිම්තීරය වර්ග කිලෝමීටර 365ක් පුරා විහිදුනු “ලෝකයේ විශාලතම එළිමහන් සිරකඳවුර” ලෙස හඳුන්වන භූමි භාගයයි. මෙම බිම්කඩ 2023 වසරේ සිට පලස්තීනුවන් 72,000කට අධික පිරිසකට සොහොන්බිමක් වී ඇත. මුහුදින්, ගොඩබිමෙන් හා ගුවනින් අවහිර කරනු ලැබූ ගාසා තීරය පෙර නොවූ විරූ මානුෂීය සහ සෞඛ්‍ය අර්බුදයකට මුහුණදෙමින් සිටී. The Global Sumud Flotilla ගාසා තීරයේ ඊශ්‍රායල අවහිරකිරීම් බිඳ දැමීමට දියත් කරන ලද ජාත්‍යන්තර සිවිල් සමාජය විසින් මෙහෙයවන සමුද්‍රීය මෙහෙයුමකි. පසුගිය අප්‍රේල් 12වනදා මෙහි පළමු කණ්ඩායම ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයෙන් යාත්‍රා කීරීම ඇරඹීය.
අරාබි භාෂාවෙන් Sumud යනු, ස්ථාවරත්වය හෝ ප්‍රතිරෝධීතාවය යන අරුත් ගෙනදෙයි. වසර 17කට අධික කාලයක් ඊශ්‍රාලය විසින් ගාසා තීරයට පනවා ඇති නීතිවිරෝධී සහ අමානුෂික අවහිරකිරීම් බිදදැමීම මෙම ව්‍යාපාරයේ මූලික අරමුණකි. 2006 වසරේදී ලෙබනනයට එරෙහි ඊශ්‍රායල යුද්ධය අතරතුර ආරම්භ කෙරුණු මෙම ව්‍යාපාරයේ මානුෂීය ආධාර රැගත් බෝට්ටු දෙකක් 2008 වසරේදී ගාසා වෙරළ තීරයට ළඟාවිය. 2010 වසරේදී දියත් කෙරුණු පළමු ගාසා නිදහස් බලඇණිය අවසාන වූයේ දසදෙනෙකුට ජීවිත අහිමිකරමිනි. එතැන්සිට 2011, 2015, 2016, 2018 හා 2025 යන වසරවලදී ගත් උත්සහයන් සියල්ලම ඊශ්‍රායල හමුදා විසින් ව්‍යර්ථ කරනලදී. 2025 ඔක්තෝම්බර් මාසයේදී ගාසා තීරයට ආධාර රැගෙන යමින් තිබියදී වටලනු ලැබූ බෝට්ටු 40ක් සහ ක්‍රියාධරයින් ඊශ්‍රායල හමුදා විසින් අත් අඩංගුවට ගෙන පිටුවහල් කරනලදී. මෙම පිරිස අතරට දකුණූ අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලාගේ මුණුපුරා, ස්වීඩන ක්‍රියාකාරිනි ග්‍රේට තුන්බර්ග් හා යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී රීමා හසන්ද ඇතුළත් විය.

මෙවර 2026 වසරේ The Global Sumud Flotilla මෙහෙයුම වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමීරා මෙහ්බුබ්දීන් එක්වූවාය. රටවල් 100කට වැඩි ගණනක නියෝජිතයින්, වෛද්‍යවරුන් සහ ක්‍රියාධරයින් පිරිසක් මෙවර එක්වී සිටින අතර මෙය ඉතිහාසයේ විශාලතම මානුෂීය නෞකාව ලෙස විචාරකයින් හඳුන්වයි. මානුෂීය ආධාරවලට අමතරව බිඳවැටුණු සෞඛ්‍ය අංශය ගොඩනැගීම සඳහා හෙදියන් සහ වෛද්‍යවරුන් 1000කට අධික පිරිසකින් සමන්විත වෛද්‍යාධාර නෞකාවක් එක්ව තිබේ.
කෙසේවෙතත්, පසුගිය අප්‍රේල් 30 වනදා ආධාර රැගත් බෝට්ටු 22ක් හා ක්‍රියාධරයින් 180ක් ක්‍රීට් දූපත ආසන්න අන්තර්ජාතික මුහුදේදී ඊශ්‍රායල හමුදා විසින් අත් අඩංගුවට ගන්නාලදී. ෆ්ලෝටිලා සංවිධානය ප්‍රකාශ කර සිටින්නේ මෙම වටලෑම නීතිවිරෝධී වන බවයි. අන්තරජාතික මුහුදේදී නිරායුධ සිවිල් බෝට්ටුවලට ඇතුල්වීමට හෝ අවි පෙන්වා තර්ජනය කිරීමට හෝ ඊශ්‍රාලයට බලයක් නොමැති බව ඔවුන් පෙන්වා දෙයි. ෆ්ලෝටිලා සංවිධායකයින් මෙය අත් අඩංගුවට ගැනීමකට වඩා පැහැරගැනීමක් බවට චෝදනා එල්ලකරයි.
මේ අතර අත්අඩංගුවට පත් ක්‍රියාධරයින් 180 දෙනා අතරින් ස්පාඤ්ඤ ජාතික සයිෆ් අබු කෙෂෙක් සහ බ්‍රසීලියානු ජාතික තියාගෝ අවිලා පමණක් තවමත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් වලට ලක්කරමින් සිටී. ඊශ්‍රාල මානව හිමිකම් සංවිධානය සහ නීති මධ්‍යස්ථානය විසින් ෂික්මා බන්ධනාගාරයේ රඳවාසිටින ක්‍රියාධරයින් නිරීක්ෂණයට එක්වෙමින් සඳහන් කර ඇත්තේ, ක්‍රියාධරයින් දෙදෙනා ඊශ්‍රායල හමුදා විසින් ශාරීරික හිංසනයන්ට සහ ආතති සහගත ඉරියව්වලින් දීර්ඝ කාලයක් රඳවා තබාගැනීමටත් භාජනය වී ඇති බවයි.
පසුගිය මැයි පළමුවනදා ඇමරිකා එක්සත් ජනපදයේ නිල වෙබ්පිටුව තුළ ෆ්ලෝටිලා ව්‍යාපාරය “හමාස් හිතවාදී ක්‍රියාකාරකමක්” ලෙස හංවඩු ගැසීම, ඊශ්‍රායල යුධ අපරාධ සාධාරණීකරණය කිරීමට ගත් උත්සහයක් බව දෝෂදර්ෂණයට ලක්විය. කෙසේවෙතත්, ෆ්ලෝටිලා ව්‍යාපාරය පෙන්වාදෙන්නේ ඊශ්‍රාලයේ නීතිවිරෝධී ආක්‍රමණ අවසන් කිරීමට සහ පලස්තීන ජනතාවගේ නිදහස සඳහා ඇති මූලික අයිතිය දිනාගැනීමට ඔවුන් කැපවී සිටින බවයි.
