වෙළඳ දැන්වීම්, සුළුතර අයිතිවාසිකම් සහ නීති ප්‍රතිසංස්කරණ: සමාජ වගකීමට එරෙහි වෙළඳ වර්ජන

වටවල

මෑතකදී වටවල සමාගම විසින් එළිදැක්වූ වීඩියෝ දැන්වීමක් මුල් කර ගනිමින් ඇති වූ පුළුල් සමාජ ආන්දෝලනය, ශ්‍රී ලංකාවේ LGBTIQ (ලිංගික සුළුතර) ප්‍රජාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින සංකීර්ණ තත්ත්වය යළි මතු කර තිබේ. මෙම විවේචනවල මූලික විරෝධය වී ඇත්තේ දැන්වීම තුළින් ‘ජෙන්ඩර්’ හෝ LGBTIQ ප්‍රවර්ධනය වන බවයි.

මානව හිමිකම් ආයතනයක් ලෙස අපගේ ස්ථාවරය වන්නේ, LGBTIQ යනු පිටතින් ආනයනය කළ හෝ ප්‍රවර්ධනය කළ යුතු ‘සමාජ ව්‍යාපෘතියක්’ නොව, ශ්‍රී ලාංකේය සමාජය තුළ සෑම විටම පැවති සත්‍ය ප්‍රජාවක් බව පිළිගැනීමයි. ඔවුන්ට අනෙකුත් පුරවැසියන්ට මෙන් නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාවක් සහ අයිතියක් ලැබීමේ මානව අයිතිය ඇත. කිසිදු පුරවැසියෙකුට ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වෙනස්කම් කිරීම මානව හිමිකම් මූලධර්මවලට පටහැනිය.

නීති ප්‍රතිසංස්කරණය අත්‍යවශ්‍යයි

මෙම කතිකාව මගින් අවධාරණය කරන තීරණාත්මකම කරුණ වන්නේ යල්පැනගිය නීති ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවයි. වර්තමානයේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වැනි වගන්ති තවමත් ක්‍රියාත්මක වන අතර, මේවා ලිංගික සුළුතර ප්‍රජාවන් අපරාධකරණයට ලක් කිරීමට යොදා ගත හැකි බව පැහැදිලිය. මෙම ප්‍රතිපාදන ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රගතිශීලී තීන්දු තීරණවලට සහ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතිවලට පටහැනිය. එබැවින්, රජය වහාම ක්‍රියාත්මක වී මෙම වගන්ති සංශෝධනය කරමින් හෝ ඉවත් කරමින්, සියලු පුරවැසියන්ගේ පුද්ගල නිදහස සහ අභිමානය තහවුරු කළ යුතුය.

නිදහස් වෙළඳපොළට එරෙහි තර්ජන

මෙම දැන්වීම හේතුවෙන්, සමාගමේ නිෂ්පාදන වර්ජනය කර එය විනාශ කළ යුතු බවට හඬ නැගීම බැරෑරුම් තත්ත්වයකි. ආයතනික සමාජ වගකීමක් (CSR) ලෙස සමාගමක් සමාජ සංවේදී කරුණකට මැදිහත් වීම ඔවුන්ගේ ප්‍රකාශනයේ නිදහස යටතට වැටේ. එමෙන්ම, මෙවැනි වර්ජන ව්‍යාපාර හරහා සමාගම්වල සමාජ වගකීම් අධෛර්යමත් කිරීම, නිදහස් වෙළඳපොළ මූලධර්මවලට සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට හානිකරයි.

අප අවධාරණය කරන්නේ, ජාතිය, ආගම, හෝ කුලය මෙන් නොව ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ලිංගික දිශානතිය වැනි සංකල්ප ප්‍රතික්ෂේප කිරීමෙන් සමාජයට අහිමි වන්නේ විවිධත්වයේ ශක්තිය බවයි. සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සමාජයේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය බව අයිතිය (aithiya.lk) හි ස්ථාවරයයි.

  • අජිත් පැරකුම් ජයසිංහ 

Social Sharing
අවකාශය නවතම