
පසුගිය ඔක්තෝබර් 4 හා 5 යන දින දෙක තුළ සිදු වී ඇති මාරක රිය අනතුරු 7කින් පුද්ගලයන් 10 දෙනකු මරුමුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. පසුගිය වසර පහ තුළ සිදුව ඇති රිය අනතුරු අනුව සෑම පැය 4කට වරක් ම ආසන්න වශයෙන් මාරක රිය අනතුරක් හේතුවෙන් ජීවිතයක් අහිමි වේ.
ශ්‍රී ලංකා පොලීසිය විසින් පසුගිය වසර කිහිපයේ සිදුව ඇති රිය අනතුරු සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවක ඇති දත්ත විශ්ලේෂණයේදී ඉහත කරුණ අනාවරණය වන අතර, එම දත්තවලට අනුව දිනකට රිය අනතුරු 64ක් පමණ සිදුවේ.
රිය අනතුරු පිළිබඳ දත්ත විමසා බැලීමේදී වසරකට සිදුවන රිය අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි අනතුරු වන අතර, සිදුවන මරණ සංඛ්‍යාවෙන් ද වැඩි අගයක් ගන්නේ එම අනතුරුවලින් මිය ගිය යතුරුපැදිකරුවන් සහ පසුපදිකරුවන් ය.
ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව ප්‍රවාහන මාධ්‍ය ලෙස යොදාගනු ලබන්නේ බස් රථයි.
බස් රථ අනතුරු ද සැලකිය යුතු ප්‍රමාණයක් වසරකට සිදුවන අතර, ආසන්න වසර 3 තුළ එවැනි බස් රථ අනතුරු 2,000 ඉක්මවා වාර්තා වී තිබේ.
පසුගිය 2024 වසරේ මුල සිට නොවැම්බර් 30 දක්වා කල පරිච්ඡේදය තුළ බස් රථ සම්බන්ධ අනතුරු 2,029ක් සිදුවී ඇති අතර, ඒවායින් 222ක් මාරක රිය අනතුරු විය.
