මේ ගෝසාව කොහේ තියෙන නිදහස් අධ්‍යාපනයක් ගැන ද? – කුසල් පෙරේරා

ඉකුත් මැයි 03 වන සිකුරාදා දින සවස “නිදහස් අධ්‍යාපනය” බේරා ගැනීමේ සටනකට “වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව” නමින් කැඳවීමක් තිබිණ.

ඒ විරෝධය පොලිස් ප්‍රහාර සමගින් විසුරුවා හැරින. විරෝධතා මර්දනය කිරීම මේ ආණ්ඩුවේ දෛනික කටයුත්තක්ව ඇත. ඊට විරුද්ධ වන්නට සියලු ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන හා දේශපාලන පක්ෂ පෙරමුණ ගැනීම අත්‍යාවශ්‍ය වූවත් සිදු වන්නේ එය නොවේ. නිතර අහන්න දකින්න ලැබෙන්නේ ඉලක්කයක් නැති ඉල්ලීම් වෙනුවෙන් පාරට බැසීමය. මේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතාවත් එවැනිය. ඊට පාදක වන්නේ

(1) කොතලාවල ආරක්ෂක ඇකඩමිය හරහා වෙද උපාධි මුදලට විකිණීම

(2) රාජ්‍ය වෛද්‍ය පීඨ වනසමින් NSBM හරහා වෙද උපාධි කඩ ගෙන ඒම සහ

(3) නිදහස් අධ්‍යාපනයට වැට බඳින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ගෙන ඒමට විරුද්ධ වීමය.

මෙම කාරණා එකිනෙක ගතහොත් පළවැන්න හා දෙවැන්න අතර මූලික වෙනසක් නැත. කොතලාවල ආරක්ෂක ඇකඩමිය ගැන කිවහොත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් එය විශ්ව විද්‍යාලයක් ලෙස පිළිගනු ලබන්නේ 2007 ඔක්තෝම්බරයේදීය. වෛද්‍ය උපාධි පාඨමාලාව ආරම්භ කෙරෙන්නේ 2009 දී ය.ඉංජිනේරු උපාධි ආරම්භ කෙරෙන්නේ 2011 දී ය. සාමාන්‍ය දෛනික සිසු සිසුවියන් සඳහා මුදල් අය කෙරෙන උපාධි පාඨමාලා පටන් ගන්නේ 2012 වසරේදීය. මේ වන විට වසර 11 ක් පුරා එවැනි උපාධි පාඨමාලා ගණනාවක් කොතලාවල ආරක්ෂක ඇකඩමිය විසින් මුදල් අයකර පවත්වා ගෙන යන්නේය.

ඒ අතරතුර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛව ඇද ගෙන ගිය “සයිටම් විරෝධය” මීට වසර 06 ට පෙර 2018 වසරේ ජුනි 20 වන දින, අවසන් කෙරුණේ සයිටම් ආයතනයෙහි වෛද්‍ය උපාධිලාභී සිසු සිසුවියන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි මුදල් අය කෙරෙන වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමේ තීන්දුව සමගින්ය. ඒ වෙනුවෙන් “ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත” සංශෝධනය කරනු ලැබූ විට, නිදහස් අධ්‍යාපනය බේරා ගැනීමට පාරට පැමිණි සයිටම් විරෝධීන් සැවොම ඊට අත්පොළසන් ගසමින් ඔවුන්ගේ විරෝධතා අවසන් කළහ.

අවුරුදු 40 ක පමණ කාලයක සිට රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධිය සඳහා නොතේරුණු සිය ගණන් සිසු සිසුවියන් අවුරුදු පතා විදේශ වෛද්‍ය පීඨ වෙතින් මුදලට වෛද්‍ය උපාධි ලබා ගෙන නැවත පැමිණෙති. ඒ වෙනුවෙන් ඔවුන් වැය කරන්නේ රුපියල් නොව අපේ විදේශ විනිමය වන ඩොලර් ය. එළෙස ඩොලර් වැය කර ලබා ගත් විදේශ වෛද්‍ය උපාධියක් ඇතිව පැමිණෙන ඔවුන් සැවොම 1965 අංක 16 නම් වෛද්‍ය පනත යටතේ වෛද්‍යවරයෙකු ලෙස මෙරට ලියාපදිංචි වීමේ විභාගයට පෙනී සිට රජයේ වෛද්‍ය සේවයෙහි පත්වීම් ලබති. මෙතෙක් ඊට කිසිදු විරෝධයක් නැත. විරුද්ධ වන්නේ රුපියල් වලින් මෙරටදී වෛද්‍ය උපාධි ලබා ගැනීමට පමණි.

දෙවැනි කාරණාව රජයේ වෛද්‍ය පීඨ වනසමින් NSBM හරහා වෙද උපාධි කඩ ගෙන ඒම නිදහස් අධ්‍යාපනය වැනසීමක් යැයි කීමය. පළමුවෙන්ම කිව යුත්තේ රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ කිසිවක වැනසීමට තරම් කිසිවක් නොමැති බවය. අපගේ වෛද්‍ය පීඨ 12 න් එකක්වත් ලෝකයේ නොව, ආසියාවේ පළමු 300 අතර හෝ නැත. ඉකුත් පෙබරවාරි 29 වන දින “එඩියුරෑන්ක්” ආයතනය විසින් ප්‍රකාශයට පත් කළ තත්ත්ව ස්ථානගත කිරීම් අනුව, කොළඹ වෛද්‍ය පීඨය ඇත්තේ ආසියාවේ 365 වන ස්ථානයෙහිය. පේරාදෙනිය ඇත්තේ 399 වන ස්ථානයෙහිය. එතැන් සිට කැළණිය 611, ශ්‍රී ජයවර්ධන පුර 630, රුහුණ 982, යාපනය 1220, මොරටුව 1271, රජරට 1361, වයඹ 1935, ඌව වෙල්ලස්ස 2064, සබරගමුව 2107 සහ අග්නිදිග වෛද්‍ය පීඨය 2354 වන ස්ථානයන්හිය.

ඒවා එළෙස බාල්දු වී ඇත්තේ වෙද උපාධි කඩ නිසා නොවේ. රජයේ වෛද්‍ය පීඨ එළෙස වැනසී ඇත්තේ පීඨ කලමනාකාරිත්වය හා විශ්ව විද්‍යාල අධිකාරීන්ගේ නොසැළකිල්ලට අමතරව, ජාවාරම්කාර වෙළඳපල වෙනුවෙන් හැම ආණ්ඩුවක්ම තම සමාජ වගකීම් අත හැර දැමීම නිසාවෙන් ය. එනිසා උපාධි කඩ නිසා රජයේ වෛද්‍ය පීඨ වැනසෙන්නේ යැයි කීමට පෙර මේ විරෝධතාකරුවන් ඉල්ලා සිටිය යුත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය විසින් දශක දෙකකට වැඩි කාලයක් පුරා සිදුකර නොමැති වාර්ෂික වෛද්‍ය පීඨ ඇගයුම් වහා කළ යුතු යැයි කියා ය. ඒවායේ තත්ත්ව වාර්තා මත රජයේ වෛද්‍ය පීඨ අවම තරමින් ආසියාවේ පළමු 200 ට ඇතුළු කරගත හැකි දැයි බැලීම, කොටුව දුම්රිය පළ ඉදිරිපස සටන් පාඨ කීමට වඩා වැදගත් ය.

ඒ සම්බන්ධව මෙයද කිව යුතුය. පසුගිය වසරේ මැයි 02 වන දින, විදේශ වෛද්‍ය පීඨ මගින් ලබා දෙන වෛද්‍ය උපාධි පිළිගැනීම සම්බන්ධ නිර්ණායක ඇතුලුවන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අගමැතිගේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ඇමති මණ්ඩලය තීන්දු කළේය. එහි වූ නිර්දේශයක් මත ලෝක තත්ත්ව ඇගයුමට අනුව පළමු දහසට ඇතුලුවන වෛද්‍ය පීඨ වෙතින් ලබා ගන්නා උපාධි පිළිගැනීම සඳහා වෛද්‍ය පනත සංශෝධනය කළ යුතු යැයි ඉකුත් ඔක්තෝම්බරයේදී ජනාධිපති වික්‍රමසිංහගේ සහ හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ අත්සනින් කැබිනට් පත්‍රිකාවක් සම්මත කෙරිණ.

එකී තීන්දුවෙන් කියවෙන්නේ අපගේ කිසිදු වෛද්‍ය පීඨයක නොමැති ඉහළ තත්ත්වයක, දියුණු වෛද්‍ය පීඨ වෙතින් වඩා උගත් වෛද්‍යවරුන් අපගේ වෛද්‍ය සේවාවට එකතු කර ගැනීමේ ඉඩ හැදීම ය. දැනට අපේ රටේ පළමු ස්ථානයෙහි ඇති කොළඹ වෛද්‍ය පීඨය ලෝකයේ ඇත්තේ 1,182 වන ස්ථානයෙහි ය. කරාපිටිය යැයි හඳුන්වන රුහුණු වෛද්‍ය පීඨය ලෝකයේ 2,575 වන වෛද්‍ය පීඨය ය. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ආරක්ෂා කරන්නට යැයි ඔවුන් කියන්නේ මෙවැනි වෛද්‍ය පීඨ ය.

මේ විරෝධතාකරුවන්ගේ තෙවැනි කාරණාව අනෙක් කාරණා දෙකටම වඩා අඳබාල කතාවකි. ආණ්ඩුවකට සිය අභිමතය අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා සැකසීමේ ස්වාධීන අයිතියක් හෝ බලයක් නොතිබිය යුතුය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පාදනය, විවෘත සමාජ ක්‍රියාවලියක් තුල සිදුවිය යුතුය. එය වෙනත් කතාවකි. නිදහස් අධ්‍යාපනයට වැට බඳින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ගෙන ඒමට විරුද්ධ වන්නට නම්, නිදහස් අධ්‍යාපනයක් තිබිය යුතුය.

මේ රටේ කිසි දිනෙක නිදහස් යැයි නොමිලේ අධ්‍යාපනයක් නොතිබුණි. 1943 සැසි වාර පත්‍ර අංක 24 ලෙසින් රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහි සම්මත කෙරුණු “අධ්‍යාපනය සඳහා වන විශේෂ කමිටු වාර්තාව” (ජනප්‍රිය වහරේ කන්නන්ගර වාර්තාව), නිදහස් අධ්‍යාපනය ගැන කරන සඳහන් කිරීම්වල ඇත්තේ විවෘත පරස්පරයකි. එහි “මූලික නිගමන හා නිර්දේශ සම්බන්ධ සම්පිණ්ඩය” යැයි වන 20 වන පරිච්ඡේදයෙහි 372 වන වගන්තිය වන්නේ “බාලාංශයේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයක් විය යුතු යැයි අපි නිර්දේශ කරන්නෙමු” යන්නය. එසේ සඳහන් කිරීමෙන් පසු 377 වන වගන්තියෙන් කියන්නේ “ද්විතියික හා ජ්‍යෙෂ්ඨ පාසල්වල උපකරණ ගාස්තු අය කිරීමේ අභිමතය ඔවුන්ට ඇත. එවැනි අය කිරීමේ උපරිමය විය යුත්තේ ජ්‍යෙෂ්ඨ පාසල්වල මාසයකට එක් ළමයෙකු සඳහා රුපියල් 02 ක් සහ ද්විතියික පාසල්වල මාසයකට උපරිම රුපියල් 03 ක් ලෙසින් ය” යනුවෙනි. ඒ 1943 මිල ගණන් අනුව ය.

පාරට බැස අනුන් කියන්නන් වාලේ කෑගසන අය මතක් කරගත යුතු කාරණාව නම්, ඔවුන්ගේ පාසල් කාලයේ ඔවුන්ගේ පාසලේද ගාස්තු අය කළ බවය. මුදල කීයක් වූවත් ගමේ පාසලෙත් පහසුකම් ගාස්තු වශයෙන් කීයක් හෝ සමග පාසල් සංවර්ධන සමිතියේ වාර්ෂික සාමාජික මුදල වශයෙන් තවත් දාහක් හමාරක් අය කරන බවය. ග්‍රාම සේවා නිලධාරිගේ නිර්දේශය මත ඉන් නිදහස් කෙරෙන අතර, විදුහල්පතිවරුන් බහුතරයක් කෙසේ හෝ පාසල් සංවර්ධන සමිති සාමාජික මුදල එකතු කර ගැනීමට පුදුමාකාර උත්සාහයක් දරති. රජයේ විගණනයට සංවර්ධන සමිති අරමුදල් යටත් නොකෙරෙන හෙයිනි. එවගේම, ජනප්‍රිය හා නාගරික පාසල්වල පළමු වසරට ළමුන් ඇතුළත්කර ගැනීමේ සිට වසරක් පාසා ක්‍රීඩා වලට, ගොඩනැගිලි අලුත් වැඩියාවට, විවිධාකාර බාහිර කටයුතු වලට රුපියල් දහස් ගණන් අය කරන බව විවෘත කතාවකි. එවැනි අධ්‍යාපනයක් නිදහස් වන්නේ කෙසේදැයි කවරෙකු හෝ අලුත් පැහැදිලි කිරීමක් කළ යුතුය.

දේශපාලන වුවමනාවන් අනුව පාරට බැස ආරක්ෂා කරන්න යැයි මොර දෙන මේ ව්‍යාජ “නිදහස් අධ්‍යාපනය” අහෝසි කර වැදගත් දියුණු ජාතික අධ්‍යාපනයක් තහවුරු කළ යුතු වන්නේ මේ නිදහස් අධ්‍යාපනයෙහි සැවොම එක හා සමාන ලෙස නොසැළකෙන නිසා ය. මෙය බරපතල විෂමතා සහිත අධ්‍යාපනයක් වන නිසා ය. පාසල් යා යුතු වයසේ ළමුන්ගෙන් සියයට 96 ට වැඩි ප්‍රතිශතයක් පාසල් යන හෙයින් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු අතර අධ්‍යාපන අරමුණු අප සාක්ෂාත් කරගෙන ඇතැයි එක්සත් ජාතීන් කීවත් ඒ පාසල් බොහෝමයක් හිස් විවෘත ශාලා පමණ ය.

පාසල් පද්ධතියෙහි පහසුකම් හා සම්පත් අතර ඇති විෂමතා ගැන කතා කොතැනකවත් නැත. නගරවල ප්‍රධාන පාසල්වල ඇති කිසිදු පහසුකමක් ගමේ පාසල්වල නැත. ඇතැම් ගමේ පාසල් වල සිසු සිසුවියන් හා ගුරුවර ගුරුවරියන් දිනපතා කිලෝ මීටර හත අට පාසලට පයින් යා යුතුය. පාසල් දහස් ගණනක පානීය ජලය නැත. වැසිකිළි නැත. බොහෝ පළාත්වල සාමාන්‍ය පෙළ සමත් ළමුන්ට උසස් පෙළ සඳහා තෝරා ගැනීමට සිදුවන්නේ ඒ පළාතේ උසස් පෙළ පංති පැවැත්වෙන පාසලක උගන්වන විෂය ධාරවක් ය. කොළඹ ළමුන්ට ඇති තේරීම් කිසිවක් ඔවුන්ට නැත. පහසුකම් හා ඇතැම් විෂයන් සඳහා ගුරුවරුන්ද නැත.

නිදහස් අධ්‍යාපනය බේරා ගැනීමට යැයි මේ උද්ඝෝෂණ කෙරෙන්නේ බාල්දු වුනු වෛද්‍ය පීඨ දියුණු කර ගැනීමට නොවේ. මෙරටදී රුපියල් වැය කර වෛද්‍ය උපාධිය ලබා ගැනීමට එරෙහිව ය. නිදහස් අධ්‍යාපනය බේරා ගැනීමට කියා උද්ඝෝෂණ කෙරෙන්නේ මේ ගරා වැටුණු ගුරු සේවාව සමග ඌණ පහසුකම් සහිත පාසල් පද්ධතිය දියුණුකර ගැනීමට නොවේ. රජයේ විශ්ව විද්‍යාලවල වැදගැම්මකට නැති උපාධි සහතික බෙදීම වෙනුවට දියුණු විශ්ව දැනුමක් ඇසුරු කළ හැකි, නිදහස් විශ්ව විද්‍යාල සංස්කෘතියක් ඇසුරෙන් උපාධි ලබා ගැනීමට නොවේ. කෙටියෙන් කිවහොත් වඩා දියුණු නවීන ජාතික අධ්‍යාපනයක් වෙනුවෙන් ප්‍රතිසංස්කරණ ඉල්ලා නොවේ. එවැනි ඉදිරිගාමී නවීන දැක්මක් ඔවුන්ට නැත.

ඔවුන්ගේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ කතාව “ලෙල්ල ගඳ උනාට ලෙලි ගසා දූරියන් කන්න දෙන්නෙ නැහැ” වැනි කතාවකි.

උපුටා ගැනීම – කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන්

 

Social Sharing
අවකාශය නවතම විශේෂාංග