වරදක් පිලි නොගන්නා ජාතියකට නිදහසක් තියේවිද?

පහුගිය දවසක ජිනීවා උසස් අධ්‍යාපන ආයතනයක සමාජ විද්‍යා අංශයේ දේශණයක් පවත්වන්න නගර සභාවේ දේශපාලන නියෝජිතයෙකුට ආරාධනාවක් ලැබෙනව. දේශපාලකයෙක් කිව්වට ඒ පුද්ගලයා උගත් දැනුම තියන වැදගත් මහත්මයෙක්.

ඒ දේශණය අතර තුරදි ඉතාලි ජාතික ශිෂ්‍යයෙක් ප්‍රශ්ණයක් අහනව.

“ස්විට්සර්ලන්තය අද ලෝකයේ තියන දියුණුම ධනවත්ම රටක්. නමුත් මේ රටේ මහා මාර්ග, පාලම් , මහා උස ගොඩනැගිලි හැදුවෙ ඉතාලි ජාතිකයො, උමං මාර්ග වල වැඩ කලේ ස්පාඥ්ඥ පෘතුගීසි කම්කරුවො, මුදල් ආයෝජන කලේ යුදෙව්වන්. ඔබ කවදාවත් පිලි ගන්න්වද මේ රට ගොඩ නගන්න අව්ව වැස්ස.. හිම කුණාටු මැද්දෙ වැඩ කලේ ඉතාලි හා ස්පාඥ්ඥ ජාතිකයන් කියල.?”

දේශකයා ටිකක් වෙලා කල්පනා කරල ප්‍රශ්ණයක් අහනව.

“ඔබ ඉපදුනේ ජිනීවා නගරයේද..?”

“ඔව්.. මගේ පියා ඉතාලි ජාතිකයෙක්… මව පෘතුගීසි .”

“නමුත් ඔබ ස්විස් ජාතිකයෙක්.. ඔබේ මව හා පියා දෙදෙනාම ස්විස් ජාතිකයන්.?”

සිසුවා උත්තර දෙනව.. “ඔව් අපි හැමෝම පදිංචි ජිනීවා නගරයේ.”

දේශකයා කියනව… ” ඔබේ ප්‍රකාශය තුලම තියනව ඔබේ ප්‍රශ්ණයට පිළිතුර. ඔබේ මව හා පියා වගේම ඔබත් මා දකින්නේ ස්විස් ජාතිකයන් ලෙස මිස ඉතාලි හෝ ස්පාඥ්ඥ ජාතිකයන් විදිහට නෙවෙයි. අනිවාර්‍යයෙන්ම අපි සියළු දෙනාම පිලිගන්නව මේ රට ගොඩ නගන්න ඉතාලි, ප්‍රංශ, ස්පාඥ්ඥ, පෘතුගීසි, ජර්මන් වගේ සෑම ජාතියක්ම මහන්සි වෙලා වැඩ කරපු බව. කඳු කලාප, තණ බිම් හා එළදෙනුන් හැර අපේ රටට කිසිවක් තිබුනෙ නැහැ. නමුත් ඔබ අපි සියළු දෙනාම එකතු වෙලා මේ රට ගොඩ නැගුව. ඔබගේ දෙමව්පියන් වගේම අනෙකුත් ජාතීන් මේ රට වෙනුවෙන් කරපු මෙහෙය අපි කිසිම දවසක අමතක කරන්නෙ නෑ. නමුත් මේ හැමදෙනාම අද ස්විස් ජාතිකයන් මිස විදේශිකයන් නොවෙයි. අපේ වැරදි හා අතපසුවීම් අපි පිලිගන්නා නිසයි අපි නිදහස් ජාතියක් වෙන්නෙ.”

“අවුරුදු ගණනාවක් තිස්සෙ අපේ පාලකයන් බැංකු පද්දතිය හා බැංකු රහස් ආරක්ශා කලා. ඒක වරදක්. අපි ඒ වරද පිලිගන්නව… ඒ වරද නිවැරදි කරමින් ඉන්නව.”

අතීතය අමතක කරල… අතීතයේ වුනු අතපසු වීම් අමතක කරල අපිට වර්ථමානය ගොඩ නගන්න බැහැ. ඒ වගේම අතීතයේ සිදුවූ වැරදි පිලිගන්නෙ නැතුව අපිට අනාගතයක් නිර්මාණය කරන්න බැහැ, දේශකයා උත්තර දෙනව.

තවත් ප්‍රශ්ණ කීපයකට පස්සෙ එක් ශිෂ්‍යාවක් අහනව…

” ජිනීවා කියන්නෙ සියළුම ජාතීන්ගේ එකතුවක්… ඒ හැම ජාතියකටම සමානව සලකනව කියල ඔබ කියනව.. නමුත් එහෙම නම් ඇයි ඔබ ආර්මේනියානු ජාතිකයන්ට අවසර දෙන්නෙ ආර්මේනියානු සංහාරය සිහි ගැන්වීම සඳහා උද්‍යානයක් ඉදි කරන්න.? පැහැදිලි නිගමනයක් නැති සිද්ධියක් හරහා මේ කරන්නෙ තුර්කි ජාතිකයන්ට මහ විශාල අසාධාරණයක්. ”

ආර්මේනියානු පහන් කණු

ත්‍රම්බ්ලි උද්‍යානය පිහිටල තියෙන්නෙ එක්සත් ජාතීන්ගේ කාර්‍යාල සංකීර්ණය පේන දුරකින්. නගර අධිකාරියට අයිති මේ උද්‍යානයේ ආර්මේනියානු ජන සංහාරය සැමරීම සඳහා බොහොම ලස්සන පහන් කණු විශාල සංඛ්‍යාවක් විවෘත්ත කරන්නෙ දැනට වසර පහකට වගේ කලින්. ඒ වෙද්දි ආර්මේනියානු තානාපති වරයා වූ චාර්ල් අස්නවූර් අතින් මේ උද්‍යානය විවෘත්ත වෙන්නෙ විශාල ආන්දෝලනයක් ඇති කරමින්. කඳුළු බින්දු හැඩයට බිමට වැටෙන විදිහට නිර්මාණය කරල තියන විදුලි බුබුළු වගේම පහන් කණුවල ලියල තියන නිසදැස් හා නම් බොහොම සංවේදීයි.

ත්‍රම්බ්ලි උද්‍යානය – ජිනීවා

දේශකයා කියනව ” බොහෝ විට ඔබේ මව හෝ පියා තුර්කි ජාතිකයෙක් විය හැකියි. නමුත් මම ඔබව දකින්නෙ ස්විස් ජාතිකයෙක් විදිහට. අඩුම තරමෙ ඔබගේ මවගේ හෝ පියාගේ විදේශ ගමන් බලපත්‍රයේවත් , හැඳුනුම්පතේ වත් සඳහන් වෙන්නෙ නෑ ඔවුන් උපන් ස්ථානය හෝ මුල් රට. ඔබ සියළු දෙනාම අපිට ස්විස් ජාතිකයන්. ඒ රෙගුලාසිය ආර්මේනියානු ජාතිකයන්ටත් එක හා සමානයි.

හිතන්න ඔබේ මව ආර්මේනියානු කාන්තාවක් කියල. එහෙම නම් ඔබ මේ ප්‍රශ්ණය අහනවද.?

ඔබට මතකද මා කලින් දුන් පිළිතුර ඉතාලි ජාතිකයන් ස්විට්සර්ලන්තය ගොඩ නගපු බවට කල ප්‍රකාශය සම්භන්ධව. ඒ පිළිතුර ඔබේ ප්‍රශ්ණයටත් අදාලයි. මට මතක විදිහට ආර්මේනියානු ජන සංහාරය සිදුවෙන්නෙ 1915- 1917 කාලය තුල.

නමුත් අද වෙනකල් ඒ මියගිය මිනිස්සුන්ගෙ… ඝාතනය වුනු මිනිස්සුන්ගෙ හඬට ඉඩක් නෑ. ඒ සිද්ධිය සිදුවෙලා අදට අවුරුදු එකසිය පහක්. ඒ කියන්නෙ ඒ විනාශයට වගකිව යුතු කිසිම කෙනෙක් අද ජීවතුන් අතර නෑ. ඒ විතරක් නෙවේ බොහෝ විට ඔවුන්ගෙ දරුවන්වත් අද ජීවත් වෙලා ඉන්නවද සැකයි. නමුත් ඇයි අතීතයේ වුනු වැරදි අපිට පිලිගන්න බැරි.?

ඇයි අපි අතර මේ තරම් ආඩම්භරයක්… මහන්තත්ව කමක්.?

ආර්මේනියානු ජන සංහාරය සිදුවෙලා අවුරුදු සීයකට පස්සෙ ත්‍රම්බ්ලි උද්‍යානයේ ඔවුන්ට ඉඩක් වෙන් වෙනව. නමුත් තවමත් බොහෝ ජාතීන්ට හැකියාවක් නෑ ඒ සිදුවීම පිලිගන්න…
කවදද අපි පාඩමක් ඉගෙන ගන්නෙ..?

දේශකයා ප්‍රශ්ණ කරද්දි මුළු ශාලාවම නිහඬයි.

දේශකයා කියනව…. ” ඔබ හිතනව ඇති මම ආඩම්භරකාර ස්විස් ජාතිකයෙක් කියල. ඔව් මම ස්විස් ජාතිකයෙක්. මම ඉපදුනේ දකුණු අප්‍රිකාවෙ… මගේ පියා ඇල්ජීරියානු ජාතිකයෙක්… මම මේ රට ආවෙ සරණාගතයෙක් විදිහට. නමුත් මම අද කල්පනා කරන්නෙ ස්විස් ජාතිකයෙක් විදිහට. අපි අතීතය අමතක කල යුතු නෑ…ඒ වගේම අතීතයේ සිදුවුණු වැරදි පිලිගන්න පසුබට විය යුතු නෑ.”

ඒ කතාව බොහොම ආකර්ශණීයයි.

ආර්මේනියානු ජන සංහාරය සිද්ධ වෙන්නෙ 1915- 1917 අතර කාලය තුල. ඕටමන් වරුන්ගේ පරාජය සටහන් වෙන මේ කාලය තුල මිලියන හතරකට ආසන්න ආර්මේනියානු ජාතිකයන් තුර්කියේ වාසය කරනව. ඒ අය පරම් පරා ගනනාවක ඉඳල තුර්කියේ ජීවත් වෙන මිනිස්සු. තුර්කි ජාතිකයන් භහුතරය ඉස්ලාම් ආගම අදහද්දි ආර්මේනියන් ජාතිකයන් අදහන්නෙ ක්‍රිස්තියානි ඕතඩොක්ස් ආගම. තුර්කියේ ප්‍රධාන නගර වල ඉඳල දුම්‍රිය මාර්ගයෙන් කාන්තාර දෙසට අරගෙන යන මිලියනයකට අධික ආර්මේනියානු ජාතිකයන් කාන්තාරයේදී ඝාතනය වෙනව.

1915 ඉස්තාන්බුල් වීදියක් හරහා ආර්මේනියානු ජාතිකයන් රැගෙන යාම

මේ කාන්තාර ප්‍රදේශය නැගෙනහිර තුර්කියේ පාළු ප්‍රදේශයක් වූ හාර්පුට් කලාපය විදිහට පසුකාලීනව හඳුනා ගන්නව. (Harput Vilayet) මෙහෙම අරගෙන යන පිරිසෙන් වැඩිදෙනෙක් කාන්තාරයේ නිරාහාරව මිය යන්න ඉඩ හරිනව. මේ පිරිස ලක්ශ හයත් මිලියන එක හමාරත් අතර පිරිසක් විය හැකි බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නෙ.

නමුත් අද වෙනතුරු මේ සිද්ධිය පිලිගන්න තුර්කිය සූදානම් නැහැ. සමාව ගත යුතු නැහැ. නමුත් එදා සිටි පාලකයන් නිසා මේ අවාසනාවන්ත සිදුවීම සිදුවුනා කියන්න වත් තුර්කි පාලකයන්ට හැකියාවක් නැහැ. මේ පුහු ආඩම්භරය නිසා තුර්කියට ගෙවන්න සිදුවෙන මිළ සුළු පටු නැහැ. අවුරුදු ගණනාවක ඉඳල තුර්කිය කැමැත්තෙන් ඉන්නව යුරෝපා සංගමය හා එකතු වෙන්න. යුරෝපානු පාර්ලිමේන්තුව කිහිප විටක්ම කියනව ආර්මේනියානු සංහාරය තුර්කිය විසින් පිලිගත යුතුයි කියල. නමුත් තුර්කි පාලනය එය සෘජුවම ප්‍රථික්ශේප කරනව. රුසියානු පාලනය හා ජනතාව ගතානු ගතික ඕතඩොක්ස් ක්‍රිස්තියානුවන්.
තුර්කිය හා රුසියාව අතර ඇති මත ගැටුම් වලට එක හේතුවක් මේ ආර්මේනියානු සංහාරය. අවුරුදු සීයකට කලින් සිදුවුනු සිද්ධියක් තවමත් රටකට බලපාන ආකාරය පුදුමාකාරයි.

මේ වගේ සිදුවීම් මාලාවක් වෙනව ඇමරිකානු මහද්වීපයේ. ඇමරිකානු කලාපයේ මුල් පදිංචිකරුවන් වූ රතු ඉන්දියානුවන් මිලියන පනහකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කෙරෙනව හෝ ලෙඩ රෝග වලින් මිය යන්න සලස්වනව දැනට අවුරුදු පන්සීයකට විතර කලින්. නමුත් අද වන තුරු ඇමරිකානු නායකයන් ප්‍රසිද්ධියේ මේ බව පිලිගන්න සූදානම් නැහැ.
ඇමරිකානු දේශකයන් දේශන වලට පැමිණෙන හැම අවස්ථාකම සිසු සිසුවියන් ඔවුන්ගෙන් මේ ප්‍රශ්ණය අහනව.

දේශකයන් හැම විටම කියන්නෙ ” සම්පූර්ණ ඇත්ත… ඔබ මේ ප්‍රශ්ණය අහන හැම විටම මම ඉතාම අපහසුතාවට පත් වෙනව. අනිවාර්‍යයෙන්ම මම ඒක පිලිගන්නව… මගේ මුතුන් මිත්තන් කරපු වරදට මම ලැජ්ජා වෙනව නමුත් ඒ ගැන පිලිගන්න මගේ දේශපාලන නායකයන් හෝ ආගමික නායකයන් සූදානම් නැහැ.”

මේ වගේම ජන සංහාරයක් සිදුවෙනව දෙවන ලෝක යුද්ධ කාලය තුල නාසි ජර්මනියේදී. 1942 -1945 අතර කාලයේදී නාසීන් විසින් මිලියන පහකට අධික යුදෙව්වන් ඝාතනය කෙරෙනව. මේ සිද්ධිය හැඳින්වෙන්නෙ හොලොකෝස්ට් විදිහට. (The Holocaust). නමුත් අද ජර්මන් ජාතික දේශකයන් හෝ ගුරුවරුන් සිසුන් ඉදිරියේ අසරණ වෙන්නෙ නැහැ. හේතුව ජර්මන් ජාතිකයන් වගේම ජර්මානු පාලකයන්ම ප්‍රසිද්ධියේ පිලි ගන්නව ඒ අයගෙ කලින් පරපුර කරපු වැරැද්ද. ජර්මන් ජාතිකයන්ට වගේම පාලකයන්ටත් හෘද සාක්ශියක්. කොන්දක් තියනව කරපු වරද පිලිගන්න.

ශ්‍රී ලංකාවේ කළු ජූලිය සිද්ධ වෙලා අදට අවුරුදු හතලිහක්. උතුරු නැගෙනහිර යුද්ධය පොඩ්ඩක් පැත්තකින් තියල කළු ජූලිය දිහා බැලුවොත් අපට තේරුම් ගන්න පුළුවන් එතන තියෙන්නෙ තනිකරම ජාතිවාදය හා ඊර්ශ්‍යාව කියල.
1983 ජූලි මාසයේදී 5000 කට අධික දෙමළ සිවිල් වැසියන් ඝාතනය වෙද්දි තවත් විශාල පිරිසක් අතුරුදන් වෙනව. මේ සිද්ධියට වගකිව යුතු බොහෝ පිරිසක් අද ජීවතුන් අතර නැහැ. තවත් පිරිසක් මහළු වියට ලඟා වෙමින් ඉන්නව.
ලංකාවේ දේශපාලකයන් කොහොමත් විශ්වාසයක් නැති අන්තනෝමතික ආත්මාර්ථකාමී පිරිසක්.
ඒ නිසා ඔවුන්ගෙන් කිසිදු සාධාරණ ප්‍රකාශයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

නමුත් අඩුම තරමේ අද අළුත් පරපුරවත් පිලිගත යුතුයි මේ සිදුකරන ලද විනාශය. එයින් වන අගතියක් නැහැ… නමුත් ලැබිය හැකි පිලිගැනීම හා වාසි දායක තත්වයන් බොහොමයි. දෙමළ ජාතිකයන් යනු ශ්‍රී ලාංකිකයන් බව පිලිගන්න ලාංකිකයන් සූදානම් විය යුතුයි. අද ලංකාව ඉන්දියානු රුපියල භාවිතයට ගන්න සූදානම් වෙනව… ඉන්දියාවෙන් බැගෑපත්ව ඉල්ලනව පාලමක් ඉදිකරන්න කියල. අපි හිතුවොත් ඉන්දියානුවන් කළු ජූලිය අමතක කරයි කියල ඒක ලොකු විහිළුවක්.

අපි කාලයක් පිලිගත්තා ඉතිහාසය ලියන්නෙ ජයග්‍රාහී කණ්ඩායම විසින් පමණක් බව. නමුත් ඒ කතාව අතීතයට අයිති පුරසාරමක් විතරයි. අද අපි ඉන්නෙ ඩිජිටල් යුගයක. ඒ නිසා ඉතිහාසය ලියවෙනව ජයග්‍රාහී කන්ඩායමෙන් වගේම පරාජිත කන්ඩායමෙනුත්. නමුත් ලෝකය පිලිගන්නෙ මේ කන්ඩායම් දෙකටම අයිති නැති මැදිහත් කන්ඩායම් මගින් දක්වන.. ලියවෙන ඉතිහාසය පමණයි. උදාහරණයක් විදිහට Black July ගැන විකිපීඩියා සටහන ලොව පුරා මිලියනයක් දෙනා කියවනව. ආර්මේනියානු ජන සංහාරය , හෝලොකෝස්ට් ගැන අන්තර්ජාලය පුරාම මිලියන ගණනක ඉතිහාස සටහන් හොයා ගන්න පුළුවන්.

ඉතිහාසය ලියන්නෙ ජයග්‍රාහකයන් පමණක් නොවෙයි. පාලකයන් හා ආඩම්භරකාරී ජයග්‍රාහකයන් මේ බව තරයේ මතක තියා ගත යුතුයි. අතීතයේ සිදුවූ වැරදි පිලිගන්න ශක්තිමත් හිතක් තිබිය යුතුයි. සෘජු කශේරුකාවක් තිබිය යුතුයි.

පුරාජේරු කතා තුල… ආඩම්භරය සාඩම්භරය තුල ඇත්තේ හිස් මෝඩ කමක් පමණයි. නමුත් සිදුවූ වැරැද්දක් පිලිගැනීම තුල වටිනාකමක් ගෞරවයක් මෙන්ම වටිනාකමක්ද නිර්මාණය වෙනව. ඊට මිළක් නැහැ.

අපි මේ කතාව පටන් ගත්තේ දේශණයක් තුල අසන ලද ප්‍රශ්ණ කීපයක් එක්ක. මේ දේශණය අවසානයේ මෙන්න මේ වාක්‍ය ප්‍රදර්ශණය වෙනව විශාල තිරයක.

Arguments and fights drag out .. because one is too stubborn to forgive and the other is too proud to apologize.

ගැටුම් හා වාද දිගින් දිගටම ඇදී යන්නෙ එක් අයෙකු සමාව දීමට තරම් නිහතමානී නොවන නිසාත් අනෙකා සමාව ඉල්ලා නොසිටීමට තරම් ආඩම්භරකාරීත් වන නිසාය.

-මැල්කම් සැන්ග්-

Social Sharing
අවකාශය නවතම පුවත් විශේෂාංග