සොක්කන් ලොක්කන් වූ වගයි – පළමු කොටස

පහතින් ආරම්භ වන්නේ කුමාරි ජයවර්ධනගේ ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ කෘතිය පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට සාරාංශගත කිරීමේ ව්‍යාපෘතියකි. මෙය සම්බන්ධ වන්නේ අප විසින් ගොඩනගන්නට උත්සාහ කරන පොදු න්‍යායික ස්ථාවරයක් සමගයි. ඒ සඳහා අපේ රටේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනක් කිරීමේ අවශ්‍යතාව වෙත අපව යොමු කර තිබේ. බොහෝ දෙනා අපව තේරුම් ගන්නේ ‘දර්ශනය’ ඉගෙන ගන්නා පිරිසක් ලෙසයි. නමුත් සත්‍ය වශයෙන්ම අපට විෂයානුබද්ධ අර්ථයකින් ‘දර්ශනය’ පිළිබඳව විශේෂ උනන්දුවක් නැත. ඒ වෙනුවට ‘දර්ශනය’ යනු අපට අපේ රටේ පොදු සමාජ සංවාදය ඉගෙන ගනිමින්, එහි සීමාවන් හඳුනා ගනිමින්, එහි ගැටලු හඳුනා ගනිමින්, එය ඉදිරියට ගෙන යාම ගැන සිතන්න උත්සාහ කළ විට හමු වූ ‘වස්තුවකි’ (‘වස්තුව’ යන වචනයට ඇති තේරුම් දෙක මගින් ඇති කරන උභයාර්ථය මෙහිදී අපට ප්‍රයෝජනවත් ය).

අපගේ පුළුල් ඉලක්කය වන්නේ අපේ පුද්ගලික ජීවිතය මෙන්ම අපේ සාමූහික පැවැත්ම දිශානත කළ හැකි ‘විශාල’ අදහසක් වටා සමාජය සංවිධානය කරන්නේ කෙසේද කියා අත්හදාබැලීම් කිරීමටයි. අපේ වර්තමානය ගොඩනැගී හැටි ඓතිහාසිකත්වය තේරුම් ගැනීම ප්‍රමුඛ ගැටලුවක් වන්නේ මෙම නිසාය. කුමාරි ජයවර්ධනගේ පොත අපේ කියවීම් ලැයිස්තුවට එකතු වන පසුබිම් කතාව මෙයයි. මෙම සාරාංශය තුළ අප ජයවර්ධනගේ අදහස් සාරාංශ කිරීමට පමණක් සීමා වන බව ද මෙහිලා කිව යුතුය. ඒවාට අප එකඟ වන්නේ ද නැති ද යන්න මේ මගින් ඉඟි නොවේ. අපට අවශ්‍ය වන්නේ මේ ඉතිහාස කතාව විවිධ දෘෂ්ඨිකෝණවලින් කරලියට ගැනීමට පමණි.

විමල් වීරවංශ දුක් මහන්සි වී රැක ගන්න හදන රාජ්‍යයේ පාලකයන් ගේ ඉතිහාසය කතාව ගැන අපේ රටේ කෘතහස්ත ශාස්ත්‍රඥවරියකගේ සම්භාව්‍ය කියවීමක් මෙහි තිබේ. ඉතිහාසයේ දේවල් සිදුවන ආකාරය ගැන කරුණු සොයා බලා අදහස් පල කිරීම සහ විමල් වීරවංශගේ ‘කුමන්ත්‍රණ තිසීස’ අතර වෙනස හෝ මේ මගින් ඉගෙන ගැනීමට අවස්ථාව විවර වනු ඇත.

කෘතියෙහි පළමු පරිච්ඡේදයට පෙර දීර්ඝ හැඳින්වීමක් තිබේ. එහි අඩංගු වන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ආරම්භයේ සිට මෙරට පාලන තන්ත්‍රය සකස් වීම පිළිබඳ කෙටි වුවත් හිඩැස් රහිත සාරාංශයකි. එම කොටසෙන් කෘතියේ මූලික අරමුණු මනාව සංගෘහිත කර තිබේ. අප මෙම මනාව ලියැවී තිබෙන හැඳින්වීම යළි සාරාංශ ගත කිරීමට උත්සාහ කරමු. මෙහිදී පසු සටහන් හෝ පාද සටහන් නොයදන අතර අප නිශ්චිත වශයෙන් මෙම ලිපියෙහි සාකච්ඡා කරන්නේ කෘතියේ හැඳින්වීමේ කොටස බැවින් ඍජු උපුටා ගැනීම් සඳහා පිටු අංක පමණක් සඳහන් කර ඇත. අප මතක් කළ යුතු අනෙක් කරුණ වන්නේ මෙම කෘතිය මූලික වශයෙන් සම්භාව්‍ය මාක්ස්වාදී දෘෂ්ටිකෝණයකින් ලියවී ඇති නිසා අද වන විට එම සිතා බැලීම් තරමක් ‘යල්පැන‘ ගියා යැයි කෙනෙකුට සිතීමේ හැකියාවයි. එහෙත් මෙම කෘතිය මගින් අපට පෙන්වා දෙන ගවේෂණාත්මක හෙළිදරව්ව එවැනි න්‍යායික ලක්ෂ්‍යක තබා අර්ථකථනය කිරීම ඉක්මවා යන වටිනාකමක් ගෙන දෙන බැවින් කුමන ආකාරයක දෘෂ්ටිකෝණයක් මත මෙය ලිය වී තිබීම එම අදහස් බෙදා ගැනීමට බාධාවක් නොවුණු ඇතැයි සිතමු.

කුමාරි ජයවර්ධනට අනුව ඇය මෙරට පාලන තන්ත්‍රයේ විකාශනය නැතිනම් ‘සොක්කන් ලොක්කන් වූ වගයි‘ යන්න මූලික වශයෙන් සංකල්ප ගත කරන්නේ ‘බුලත් මඩිස්සලගේ සිට කෝපි ඉස්ටෝරුවට මාරු වීමේ කතන්දරය‘ ලෙසයි. ඕනෑම ජනවර්ගයක හෝ කුලයකට අයත් වන ‘ලොක්කන්‘ සහ ‘සොක්කන්‘ මෙරට යටත් විජිත සමය තුළ නව ධනේෂ්වර පංතියක් ලෙස සකස් වීමේ කතන්දරය මෙම කෘතියේ අඩංගු වේ. ධනේෂ්වර පංතිමය අදහස් මෙහිදී ප්‍රමුඛතාව ලබා ගැනීම සිදු වුවද සිංහල ජාතිය නිශ්චිත වටපිටාවක් තුළ තම ජාතිකවාදී අදහස් ඉදිරියට ගෙන ඒමට පසුබට වූයේ නැත. එනම් නව ධනේෂ්වර පංතිය බිහිවීමෙන් පසුව ජාතිය හෝ කුලය පිළිබඳ අදහස වියැකී නොගොස් එම නව ධනේෂ්වර පංතියේ ඉතිහාස කතන්දරය ඔවුන් විසින් ගොඩනගා ගැනීම තුළ ජාතිය පිළිබඳ අධිපත්‍යධාරී අදහස යළි සකස් විය. එහි ප්‍රතිඵලයක් ලෙස සුළු ජාතීන්ද මහා ජාතියට ප්‍රතිරෝධයක් දැක්වීමට යාමේදී ඔවුන් තුළද එම ජාතිකවාදය වර්ධනය විය.

යුරෝපයට සාපේක්ෂව මෙරට ධනවාදය ගොඩනැංවූයේ යටත් විජිත කොල්ලකෑම, වෙළඳාම, ඉන්පසුව කාර්මීකරණය වැනි ප්‍රවේශ තුළින් නොවේ. මූලික වශයෙන් සිල්ලර අරක්කු වෙළඳාම, වැවිලි කර්මාන්තය, ඉඩම් අයිතිය ආදී ප්‍රවේශ තුළින් ආරම්භ වී පසුව විවිධ ව්‍යවසායක (පතල්, කම්කරු කොන්ත්‍රාත්තු, ඉහළ පෙලේ රැකියා) ක්‍රියාවලි වෙත නැඹුරු වීමෙන්ය. පසුව වෙළඳාමේ අවශ්‍යතා සහ ඉංග්‍රීසී පාලකයන් අනුකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම නව ධනපති පංතිය නගරය තුළට – ප්‍රධාන වශයෙන් කොළඹට – කේන්ද්‍ර විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම කාර්යාල සහ විවිධ ආකාරයෙන් ආර්ථිකට සම්බන්ධ අංශවල කටයුතු කළ පුහුණු, නොපුහුණු කම්කරු පංතියක්ද නිර්මාණය විය. තවද යුරෝපීය ධනවාදී රාජ්‍යයන්හි ධනවාදී විකාශයේ පියවර හමු නොවනු මෙරට ධනවාදය යටත් විජිත ක්‍රමයේම ප්‍රතිඵලයක් වීම නිසා යුරෝපීය රාජ්‍යයන් තුළ පැවති ස්වාධීනත්වය සහ පරිණතභාවය ලගා කර ගැනීමට නොහැකි විය. එම නිසා මෙරට ධනපති පංතිය යටත් විජිත ආණ්ඩුවෙන් විශාල නිදහසක් බලාපොරොත්තු නොවූ අතර සීමිත ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවලින් සෑහීමකට පත් විය.

ධනපති පංතියක් නිර්මාණය වීමත් සමග ඉඩම් විශාල ප්‍රමාණයක් අයිති වී තිබීම ධනවත් බවේ සහ සමාජ තත්ත්වයන්ගේ නිරූපණයක් විය. එහෙත් මෙම බොහෝ ඉඩම් හිමියන් සහ ධනපතියන් තම ව්‍යාපාරික ස්ථාන සහ වාසස්ථාන බවට පත් කරගත්තේ කොළඹ අවටය. සීමිත වෙළදුන් කිහිප පළක් ජාතික ආර්ථිකයක් සංවර්ධනය කිරීම හෝ වෙළඳපල තරගකාරීත්වයක් ඇති කිරීමට හෝ උනන්දු නොවී බ්‍රිතාන්‍ය පාලකයන් මත ර‍‍ඳා පැවැතෙමින් කටයුතු කළහ. එනම් මෙහිදී සිදු වූයේ අරක්කු රේන්දයෙන් ලබා ගත් අධික ලාබය වැවිල කර්මාන්තය සඳහා ආයෝජනය කරමින් සුඛෝපභෝගී ජීවිත ගත කිරීමයි. කෙසේ වෙතත් මෙම සම්බන්ධතා හා වර්ධනයන් හමු වේ පෞරාණිකත්වය සහ නවීනත්වය එක ලෙස මිශ්‍ර වූ සමාජ සංස්කෘතියක් නිර්මාණය වීම සිදු විය.

යන්ත්‍ර සූත්‍ර එතරම් භාවිතා නොවූ වැවිලි කර්මාන්තය තුළ අර්ධ වැඩසවසම් ව්‍යවසායක් ක්‍රියාත්මක වූ අතර කේ. එම්. ද සිල්වාට අනුව එහි නවෝත්පාදන නැමියාවක් දක්නට තිබුණේ නැත. උඩරට රාජ්‍ය පැවති සමයේ රජුගෙන් ඉඩම් ලැබ සිටි ඉඩම් හිමි රදල පන්තිය 1818 කැරැල්ල තුළ දී බොහෝ සෙයින් විනාශ වී ගිය නමුත් රදලයන් නොවන ‘ලොක්කන්‘ ගේ නව කණ්ඩායමක් ඇති විය. මෙම නව නැගී ආ වැඩවසම් රදල කණ්ඩායම ඊට පෙර සිටි මුදලි කණ්ඩායම විසින් හැඳින්වූයේ ‘සොක්කන්‘ ලෙසය. ඉතාම කෙටියෙන් ‘සොක්කන්‘ ‘ලොක්කන්‘ වීමේ කතාන්දරය මෙයයි. වෙළඳ ප්‍රාග්ධනය නියෝජනය කළ මෙම පංතිය අතිශය පාරිභෝජනවාදී, පූර්ව ධනවාදී, සම්ප්‍රදායික ලක්ෂණවලින් හෙබි පංතියක් ලෙස හැසුරුණි.

‘යටත් විජිතවාදය, නව වර්ගවල රැකියා නිර්මාණය කරමින් කුල සමාජයේ පදනම් සෙල වූ අතර, අලුතින් බිහි වූ ධනපතිවාදයේ ස්වරූපය මගින් සමාජය තුළ ‘උසස්‘ හා ‘පහත්‘ අය වන්නේ කවුද යන්නට අලුත් අර්ථකථනයක් දුන්නේය‘. (ජයවර්ධන, පිටු. XV, 2018) 1833 රාජකාරිය ක්‍රමය නම් අනිවාර්ය ශ්‍රම ක්‍රමය අහෝසි වුවද එය යළි සංශෝධනය වෙමින් නව ආර්ථික ක්‍රමය තුළ සකස් විය. ප්‍රාග්ධනය සහ රැකියාව ඕනෑම කුලයකට විවෘත වූ අතර ඒ ඒ කුලවල දුප්පත් සහ පොහොසත් භේදය පැහැදිලිව පෙනෙන්නට තිබුණි. අවසානයේ කුලය රැකියා ස්ථාන හෝ වෙනත් වෙළඳ, ව්‍යාපාරික ස්ථානවල යහපත් පරිදි ස්ථානගත කිරීමට තිබූ අපහසුව හේතුවෙන් ඒවා නිවැස්වල නැතිනම් පවුල තුළ පමණක් ශක්තිමත් විය. එනම් අද වන විටත් කුලය සැලකිල්ලට ලක්වන්නේ ස්ත්‍රියට පමණක් බොහෝදුරකට සීමා වන විවාහ ගිවිස ගැනීම්වලදීය.

අධිරාජ්‍යය සමග කේවල් කිරීමේ යුගය ඇරඹෙන්නේ 20 වන සියවසේ මුල් භාගයේ සිටය. ඊට අවශ්‍ය සමාජ – සංස්කෘතික වෙනස් කම් සිදු කිරීමට විවිධ කුලවල ධනපතීන්ට දැඩි අවශ්‍යතාවක් විය. එහිදී ප්‍රමුඛ වූයේ තම ආගම සහ ස්ත්‍රිය පිළිබඳ අදහස ඉහළ තත්ත්වයකට ගෙන ඒමටයි. මූලික වශයෙන් ක්‍රිස්තියානි ආගමට වඩා සුවිශේෂ සහ සාඩම්බර ඉතිහාසයක් බුදු දහමට හිමි ව තිබූ බවට ආඛ්‍යාන නිර්මාණය වීම සහ ඒවා විධිමත්ව ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට පරිසරයක් අවශ්‍ය විය. තවද ඔවුන්ට අවශ්‍ය වූයේ ස්ත්‍රිය යනු තවදුරටත් නූගත් චරිතයක් ලෙස නොව අධ්‍යාපනය ලබන තමන් සම්බන්ධයෙන් දියුණු අදහසක් ප්‍රකාශ කළ හැකි පුද්ගල පෞරුෂයක් දක්වා වර්ධනය කිරීම යි. මේ සියල්ල ඉංග්‍රීසි සංස්කෘතියට සාපේක්ෂව වර්ධනය කිරීමට ඔවුන්ට අවශ්‍ය විය. මේ අතර ඉතාම සුවිශේෂ ලෙස මෙරට ධනේෂ්වරයේ නැග ඒම හුදු පීතෘ මූලික හෝ පුරුෂ මූලික සමාජ නිර්මිතයක නියෝජනයක් පමණක් නොව එහි සැලකිය යුතු කාන්තා නියෝජනයක්ද දක්නට තිබේ.

‘1830 ගණන්වලින් පසුව දුප්පතුන්ගේ දූවරු වතුවල හා නාගරික පැක්ටරිවල අඩු වැටුප් ලබන කම්කමරුවන් ලෙස නව ආර්ථික ක්‍රියාකාරීත්වයන්ට ඇතුළත් වූ අතර ධනේශ්වර පිරිමින්ගේ භාර්යාවන් සමන්විත වූ නව ගැහැනු පැළැන්තියක් විශාල දායාද මෙන් ම නවීන අධ්‍යාපනය, ජීවන ශෛලීන් හා ඇඳුම් පැළඳුම් හා විලාසිතාවන් ද ඇසුරෙන් ඒ සමගම දර්ශන පථයට පැමිණියහ.‘ (ජයවර්ධන, පිටු. XVIII, 2018)

මීට අමතරව මෙහි තවත් මානයක් වූයේ ධනපති නිවෙස්, සැරසිලි සහ ඔවුන් භාවිතා කරන ඇඳුම් පැළදුම්වල සිට සියලු බඩු භාණ්ඩ ඔවුන්ගේ තත්ත්වය නියෝජනය කරනා දේවල් දක්වා මාරුවීමයි. එමගින් බලාපොරොත්තු වූ සුන්දරත්වය ධනේෂ්වර සෞන්දර්යවාදය ලෙස හැඳින්විය හැකිය. පොදුවේ මෙම පංතිය උද්ඝෝෂණ වැනි බ්‍රිතාන්‍ය රජයට හිසරදයක් වන කටයුතුවල නියැලුණේ නොමැති වුවත් තම පංතියේ අවශ්‍යතා සහ රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු වෙනුවෙන් කේවල් කිරීම් කළේය.

කුමාරි ජයවර්ධන මෙම කෘතියෙහි පෙන්වා දෙන ආකාරයකට 1833 සිට 1911 දක්වා පැවති කොල්බෘක්- කැමරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ විවිධ ජනවර්ගවලට නියෝජනයන් ලබා දීම තුළින් මෙම වාර්ගික බෙදීම යටත් විජිත පාලනය විසින් යුක්ති යුක්ත කරන ලදී. එහෙත් සිංහල නියෝජනය වෙනුවෙන් බොහෝ විට බණ්ඩාරණායක සහ ඕබේසේකර පවුල්වලින් පමණක් නියෝජිතයින් පත් කිරීම සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස එකල හැඳින්වූ ගොවි – කරා මත භේදයක් එය වර්ධනය විය. එහෙත් පසුව අවසානයේදී මෙම කුල සහ පංති අතර සැලකියයුතු මත ගැටුමක් වර්ධනය නොවූ අතර ඔවුන් එකම පංතියක් සේ තම කටයුතු ඉදිරියට ගෙන ගියහ. එහෙත් කරාව කුලයේ ධනවතුන් ඡන්ද බලය ලබා ගැනීම වෙනුවෙන් තම නියෝජන ඉදිරිපත් කරන විට, සර්ව ජන ඡන්දබලය ලබා ගැනීමට පෙර ඡන්ද බලය ලබා තිබූ අය අතුරින් ඔවුන්ට ලැබුණේ ඉතා සුළු ඡන්ද ප්‍රමාණයකි. ඉන්පසුව සර්ව ජන ඡන්ද බලය ලැබීමත් සමග ඔවුන්ගේ දේශපාලන නියෝජනය තව දුරටත් පහත වැටී, 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ එක් ඉන්දියානු මන්ත්‍රීවරයෙකු සහ එක් මුස්ලිම් මන්ත්‍රීවරයෙකු හැරුණු විට අනෙක් සියළුම මන්ත්‍රීවරු ගොවිගම සිංහල, බෞද්ධ මන්ත්‍රීවරු විය. මෙම ගැටලුව අනෙක් සුළු ජාතික නියෝජනයන්ටද අත්විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස එනම් සර්ව ජන ඡන්ද බලය ලැබීමෙන් අනතුරුව මහජන නියෝජිතයින් යනු කිසි ලෙසකින් හෝ සමස්ත මහජනතාව නියෝජනය කිරීමක් සිදු වූයේ නැත. ඒ වෙනුවට තම නියෝජනය මන්ත්‍රී මණ්ඩලය තුළ ප්‍රකාශ නොවීම මත විවිධ සුළුතර කණ්ඩායම් අතර අනාරක්ෂිත හැගීමක් ඇතිවිය. මේ අනුව 1948 වන මන්ත්‍රී මණ්ඩලය වන විට කරාව කුලයේ කිසිදු මහජන නියෝජිතයෙක් තේරී පත් වූයේ නැත.

මෙම තත්ත්වය මෙසේ පැවතියද 1950 ආසන්න වන විට පවතින සමාජ දේශපාලන ගැටලු කිසි ලෙසකින්වත් කුලය මත පදනම් නොවන බව පැහැදිලිව පෙනුණු අතර එය පංති ගැටලුවක් දක්වා වර්ධනය විය. එහි ප්‍රතිඵලයක් ලෙස විසිවන සියවසේ මුල් භාගයේ සිටම ජාතිය සහ කුලය ඉක්මවා යන ආකාරයේ කම්කරු පංතියක් නිර්මාණය වී තිබුණි. 1947 මැතිවරණයේදී මෙරට වාමාංශික පක්ෂද සෑහීමකට පත් විය හැකි ජයග්‍රහණයක් ලබාගන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. කෙසේ වෙතත් මෙම විකාශනයේ අවසානයේ ඉහත ‘ලොක්කන්‘ ලෙස නම් කළ පැරණි ධනවතුන් සහ පසුව ධනවතුන් බවට පත් වූ ‘සොක්කන්‘ අතර ආතතිය තුනී වී ගොස් මේ සියලු ලොක්කන්ගේ සහ සොක්කන්ගේ පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය ඉස්මතු විය.

‘මෙය පංතියක නැගීමේ කතාවයි: මෙම ‘සොක්කන්‘ ‘ලොක්කන්‘ බවට පත් වී ඊළඟ දශකවලදී තම බලය තහවුරු කරගත් ආකාරයත් කල්තියා ම ‘ලොක්කන්‘ බවට පත් වී සිටි කොටස් මේ සියලූම අභියෝගයන්වලට ප්‍රතික්‍රියා කරමින් ආරක්ෂා වීමට, සමාජය තුළ සිදු වූ වෙනස්කම්වලට දේශපාලන වශයෙන් අනුගතවීමට හා දේශපාලන පෙළපත් නිර්මාණය කරමින් නායකත්වය දීමට පටන් ගැනීමත් පිළිබඳ කථාවයි. මේ ක්‍රියාදාමය වඩා විචිත්‍ර ලෙස මෙසේ පැහැදිලි කළ හැකිය: 1948 නිදහස් ශ්‍රී ලංකාවේ අගමැතිවරයා වූයේ 1915 දී සිරගත කළා වූත් ‘සොක්කෙක්‘ ලෙස උපත ලැබූවා වූත් ඩී. එස්. සේනානායක යි. 1956 දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ගයක් මත ලංකාවේ අගමැතිවරායා වූයේ ඔබේසේකරගේ දුවගේ පුතා වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකයි, ඔබේසේකරගේ මුණුපුරාගේ දුව වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, තම සීයා වූ සොලමන් ඩයස් බණ්ඩාරනායක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාගේ ප්‍රධාන දේශීය උපදේශකයා බවට පත් වීමෙන් අවුරුදු සියයකට පසුව වාමාංශික පක්ෂ සමග හවුල්ව 1994 දී ද නැවත 1999 දී ද ජනාධිපතිවරිය ලෙස ඡන්දයෙන් පත් වූවාය. මෙය අපට පෙන්වන්නේ ‘ලොක්කන්‘ කාලයට අනුකූලව ගමන් කරමින් ‘ලොක්කන්‘ වශයෙන්ම සිටින බවයි.‘ (ජයවර්ධන, පිටු. XXVII, 2018)’

-බටහිර ඉවුරේ දර්ශනය-

 

Social Sharing
අවකාශය නවතම