වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ‘සුජාත භාවය’ වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මහලේකම්වරිය පෙනී සිටීම

-ගාමිණී වියන්ගොඩ-

රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරයේ තවදුරටත් රැඳී සිටීමට අයිතියක් නැති බවටත්, එසේ හෙයින් වහාම ජනාධිපතිවරණයක් කැඳවිය යුතු බවටත් විපක්ෂ නායකවරයා කළා යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මහලේකම් ප්‍රියානී විජේසේකර මහත්මිය සිය අදහස් දක්වා තිබේ. විපක්ෂ නායකවරයාගේ එම ප්‍රකාශය, සාවද්‍ය මතයක් මත පදනම් වූවක් බව ඇගේ අදහසයි. ඒ සඳහා ඈ ඉදිරිපත් කරන කරුණු කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න වන්නේ, වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තියයි.

එම වගන්තිය මෙසේ ය: “ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර ජනාධිපති ධුරය හිස් වුවහොත්, පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයන් අතුරෙන් ජනාධිපති ධුරයට පත්කරගනු ලැබීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයෙකු ජනාධිපතිවරයා ලෙස පත්කරගත යුත්තේය. ජනාධිපති ධුරයට එසේ අනුප්‍රාප්ත වන යම් තැනැත්තෙකු, ධුරය හිස් කරන ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ධුරය දැරිය යුත්තේය.”

මේ කරුණ පූර්වාදර්ශයකින් සනාථ කිරීම සඳහා, ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වූ අවස්ථාවේ ඊළඟ ජනාධිපති වශයෙන් ඩී. බී. විජේතුංග පත්කරගත් බවත්, ඒ ගැන එදා විපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක කිසි විරෝධයක් නොදැක්වූවා පමණක් නොව, ඊට පූර්ණ සහයෝගයද ප්‍රකාශ කොට සිටි බවත්, හිටපු පාර්ලිමේන්තු මහලේකම්වරිය පෙන්වා දෙයි.

ඈ දක්වා සිටින දෙවැනි කාරණය, ඉස්සර අපට තිබූ 1947 සෝල්බරි ව්‍යවස්ථාවට සම්බන්ධයි. එම ව්‍යවස්ථාවට අනුව, බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු, ඒ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්වත් නොවූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සෙනේට් සභාව හරහා අගමැති තනතුරට පත්කරගත් බව හිටපු පාර්ලිමේන්තු මහලේකම්වරිය පෙන්වා දෙයි. ඒ පූර්වාදර්ශයෙන්ද පෙන්නුම් කරන්නේ, ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් (සෝල්බරි ව්‍යවස්ථාව යටතේ නම් අගමැති ධුරයටද, 1978 ව්‍යවස්ථාව යටතේ නම් ජනාධිපති ධුරයටද) පත්කරගන්නා තැනැත්තා හෝ තැනැත්තිය, අනුප්‍රාප්තික පදවියට පත්කරගැනීම සඳහා, සෘජු මහජන ඡන්දයෙන් තේරී පත්වීම අනිවාර්ය කොන්දේසියක් වශයෙන් සලකා නැති බවයි.

ඈ ගෙනහැර දක්වන තුන්වැනි කාරණය වන්නේ, ගෝඨාභය රාජපක්ෂගෙන් හිස් වූ ජනාධිපති ධුරය සඳහා විපක්ෂය විසින්ම එදා ඩලස් අලහප්පෙරුමව නම් කළ බවයි. එයින් ඈ අඟවන්නේ, කෙලින්ම මහජන ඡන්දයක් නොමැතිව, පාර්ලිමේන්තුවේ ඡන්දයකින් පමණක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත්කරගැනීමේ ක්‍රියාවලියේ වලංගු භාවය එදා මේ විපක්ෂ නායකවරයා විසින්ම පිළිගනු ලැබ ඇති බවයි. ඒ නිසා, අවසාන රනිල් වික්‍රමසිංහ ජනාධිපති පදවියට පත්වීම ව්‍යවස්ථානුකූල බවත්, කල් ඉකුත් වීමට කලින් ඔහුට ඉල්ලා අස්වීම සඳහා බල කිරීමට ව්‍යවස්ථානුකූල අයිතියක් විපක්ෂයට නැති බවත් ඈ කියා සිටී.

පුරවැසියන් වශයෙන් සිතීම

අපේ මේ පිළිතුර, විපක්ෂය වෙනුවෙන් නොව, මේ රටේ වෙසෙන පුරවැසියන් වශයෙන් අපගේ අවබෝධය පිණිස, ප්‍රියානි විජේසේකර මහත්මියගේ කරුණු දැක්වීම ගැන අපේ පැත්තෙන් යම් පැහැදිලි කිරීමක් වෙනුවෙනි.

1. වර්තමාන ව්‍යවස්ථාවට අනුව ප්‍රියානි විජේසේකර මහත්මිය ඉදිරිපත් කරන ඉහත තර්කයේ අදාළත්වය ඇත්තේ, හිටපු නායකයා (ආර්. ප්‍රේමදාස) අභාවයට පත් වූ තත්වයක් තුළ ය. කෙසේ වෙතත්, සෝල්බරි ව්‍යවස්ථාවේ මෙන්ම වර්තමාන ව්‍යවස්ථාවේද, කෙනෙකුගේ අභාවය නිසා පමණක් නොව, ඉල්ලා අස්වීම වැනි වෙනත් කරුණු නිසාත්, මේ කියන ක්‍රමය, එනම්, හිටපු නායකයාගේ ඉතිරි කාලය සඳහා, සෘජු ඡන්දයකට නොගොස් පාර්ලිමේන්තුවේ ඡන්දයකින් කෙනෙකු තෝරා පත්කර ගැනීමක් කළ හැකිය. ඒ නිසා, ඒ කියන පුද්ගලයා (සිරිමා බණ්ඩාරනායක හෝ ඩී. බී. විජේතුංග) රටේ නායකත්වයට පත් වුණේ සෘජු ඡන්දයකින් නොවේය යන්න, එම පත්වීම නොපිළිගැනීමට හේතුවක් නොවන බව ඇත්ත. කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහගේ පත්වීම ගැන ඉදිරිපත් වන කිසි විවේචනයක, ඒ කියන ව්‍යවස්ථානුකූලත්වය ප්‍රශ්න කරන බවක් අප දැක නැත. ඒ සම්බන්ධයෙන් වන සෑම විවේචනයක්ම පදනම් වුණේ, ඊට වෙනස් පදනමක් මත ය.

එය අප හඳුන්වන්නේ, ‘සුජාත භාවය’ යනුවෙනි. සුජාත භාවය යැයි කී විට, දේශපාලන භූමියේ එම යෙදුම නිතර වහරන ජනප්‍රිය පුරුද්ද අනුව, ඕනෑම කෙනෙකු හෝ ක්‍රියාවක්, සුජාත නොවේ යැයි කියන පුරුද්දක් දක්නට ලැබේ. එහෙත්, අප මේ මොහොතේ කතා කරන්නේ, එවැනි දියාරු, අවස්ථාවාදී සහ පක්ෂ දේශපාලනික උවමනාවන් නිසාම, තමා මිස අනෙකා සුජාත නැතැයි කියන, පටු අර්ථයෙන් නොවේ.

(අ) නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක ආත්මය ජනතාවයි. ජනතා නියෝජිතයා (මන්ත්‍රීවරයා) උත්තරීතර වන්නේ, ජනතාව නිසා ය. ජනතා නියෝජනයකින් තොරව, ජනතා ආයතනයකට පත්වීම, ප්‍රජාතන්ත්‍රවාදයට තරමක් ඈත ය. උදාහරණයක් වශයෙන්, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීම, එසේ ප්‍රජාතන්ත්‍රවාදයට තරමක් ඈත දෙයක් වශයෙන් සැලකිය හැකිය. එහෙත්, ඒ ජාතික ලැයිස්තුව පිළිබඳ සංකල්පය, ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව තුළම අනුමත කරගෙන ඇත්තේ, විශේෂ ජනතා රාජකාරියක් සඳහා වන බැවින්, සෘජු ඡන්දයකින් පත්නොවන ජාතික ලැයිස්තුව වුව කැමැත්තෙන් භාරගැනීමට ජනතාවට පිළිවන. එය, ප්‍රජාතන්ත්‍රවාදයට තරමක් ඈත වූවත්, ඊට ජනතා අනුමැතිය තිබේ. එහෙත්, ජනතා කැමැත්තට පටහැනිව ජනතා ආයතනයකට පත්වීම, එහෙමපිටින්ම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ය.

(ආ) ජනතා කැමැත්තට පටහැනිව යනු, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම යන්නයි. රනිල් වික්‍රමසිංහ පමණක් නොව, ඔහුගේ පක්ෂය පවා පසුගිය ආසන්නතම මහ මැතිවරණයේදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව කවුරුත් දනිති. කොටින්ම, රනිල් වික්‍රමසිංහට තමන්ගේ ඇපය පවා නැති විය. එසේ තිබියදී, ජාතික ලැයිස්තුවෙන් ඔහු පාර්ලිමේන්තුවට පත්වීමම, ප්‍රජාතන්ත්‍ර-විරෝධී ය.

ව්‍යවස්ථානුකූලයි. ඒත්…

දැන්, මීට ප්‍රතිපක්ෂ තර්ක දෙකක් ඉදිරිපත් විය හැකිය. පළමුවැන්න, එසේ ප්‍රතික්ෂේප වූ පුද්ගලයෙකු ජාතික ලැයිස්තුවෙන් පත්කර ගැනීමට අපේ ව්‍යවස්ථාවෙන් කිසි බාධාවක් නැති බවයි. එනම්, එවැන්නක් නොකළ යුතු යැයි ව්‍යවස්ථාවේ කොහේවත් කියා නැති බවයි. දෙවැන්න වන්නේ, මීට පෙරත් මර්වින් සිල්වා සහ සුනිල් හඳුන්නෙත්ති වැනි, ආසන්නතම මැතිවරණයෙන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයන් මේ කියන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ඇති බවයි. පළමුවැන්න ගැන කිව යුත්තේ, ව්‍යවස්ථාව තුළ වාච්‍යාර්ථයෙන් සඳහන් නොවන මුත්, ව්‍යවස්ථාවේ ආත්මීය අර්ථයෙන් සහ ඇස්පනාපිට පෙනෙන ආකාරයෙන්ම ඊට පටහැනි වන කිසි ක්‍රියාවක්, ව්‍යවස්ථාව විසින් වචනයෙන් තහනම් කොට නැති වූ පමණින්, ‘සුජාත’ වන්නේ නැති බව ය. දෙවැන්න සම්බන්ධයෙන් කිව යුත්තේ, කලින් කළ වරදක් (මර්වින් සිල්වා හෝ සුනිල් හඳුන්නෙත්ති) නිසා දැන් කරන වරදක් නිවැරදි වන්නේ නැති බව ය.

(ඇ) හිටපු පාර්ලිමේන්තු මහලේකම්වරිය පෙන්වා දෙන අතීත උදාහරණ දෙකටම අදාළ පුද්ගලයන් (සිරිමා බණ්ඩාරනායක සහ ඩී. බී. විජේතුංග), පිටස්තරයන් නොවේ. ආණ්ඩු කිරීම සඳහා ජනතා වරමකින් එකී මැතිවරණයෙන්/ජනාධිපතිවරණයෙන් තේරී පත් වූ පක්ෂයක අනුප්‍රාප්තිකයන් හෝ නියෝජිතයන් ය. ඒ නිසා, ඒ තේරීම් දෙකම, ව්‍යවස්ථාවේ පැනවෙන වචනවලට සේම, ව්‍යවස්ථාවට පිටුදෙන ප්‍රජාතන්ත්‍රවාදී සාරයටද අනුකූල ය. එහෙත්, රනිල් වික්‍රමසිංහගේ පත්වීම, පැහැදිලිවම ඒ ප්‍රභේදයට අයත් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

(ඈ) ඉහත කී ලෙස රනිල් වික්‍රමසිංහ පරාජයට පත්කෙරුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ පැවති මහ මැතිවරණයකිනි. එනම්, රනිල් වික්‍රමසිංහව එම මැතිවරණයේදී ඡන්දදායක ජනතාව සැලකිල්ලට ගත්තේ, (සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක වැනි) වෙනත් නායකයන්ට ප්‍රතිපක්ෂ නායකයා වීමට අමතරව, ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ පක්ෂයට ප්‍රතිපක්ෂ නායකයාද වශයෙනි. එනිසා, ඔහුව එම මැතිවරණයේදී ප්‍රතික්ෂේප වීම යනු, සියල්ලන් විසින්ම ඒකමතිකව ප්‍රතික්ෂේප කරනු ලැබීමකි. එය, ඊට කලින් මර්වින් සිල්වා සහ සුනිල් හඳුන්නෙත්තිව ආසනයකින් පරාජයට පත්කිරීමට වඩා වෙනස් ය. ඒවාට වඩා මෙය බරපතල ය. වෙනත් විදිහකින් කිවහොත්, ජනතාව විසින් රනිල් වික්‍රමසිංහව පරාජය කරනු ලබන්නේ, ජාතික නායකයෙකු වශයෙනි.

දැන්, එක පැත්තකින් ප්‍රශ්නය මතුවන්නේ මෙයාකාරයෙනි: එසේ සියල්ලන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ කෙනෙකු ජනාධිපති තනතුරට තියා පාර්ලිමේන්තුවටවත් ‘සුජාත’ සුදුස්සෙකු වන්නේ කෙසේද යන්නයි. අනිත් පැත්තෙන්, ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ පක්ෂයට ඒ අවස්ථා දෙකේදී (ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී) ඡන්දය පාවිච්චි කළ ජනතාවගේ ප්‍රකාශිත අභිලාෂය මේ අවස්ථාවේදී ඉඳුරාම කනපිට හැරවීමක් බවට පත්වන බව ය. එම තනතුර ඔහුට දුන්නේ, ජනතාව විසින්ම තෝරා පත්කරගත්, ජනාධිපතිවරයෙකු සහ පාර්ලිමේන්තුවක් විසින් ය යන්න, ඔහුගේ පත්වීම වලංගු කරනවා නොව, තවත් හොඳින් එය අවලංගු කිරීමකට තල්ලු කරන බැවිනි. මන්ද යත්, ජනතාවගේ ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයෙකු සහ පාර්ලිමේන්තුවක් (පොහොට්ටුව) එකට එක් වී, එම ජනතාවගේ අභිලාෂයට පටහැනිව කටයුතු කොට ඇති බැවිනි. එය ජනතා ද්‍රෝහී ක්‍රියාවකි. එක පක්ෂයකින් බලයට පත් වී වෙනත් පක්ෂයකට මාරු වීමටවත් වඩා මෙය අවලස්සන ය.

මරණයක් හේතුවෙන් හිස් වීම සහ පන්නනු ලැබීම නිසා හිස් වීම

2. ප්‍රියානී විජේසේකර මහත්මිය ගෙනහැර දක්වන අතීත අත්දැකීම් දෙකම, නොවැළැක්විය හැකි තත්වයන් යටතේ ඇති වූ අහම්බයන් ය. එනම්, කෙනෙකුගේ මරණයක් හේතුකොටගෙන ඇති වූ තත්වයන් ය. එහෙත් ඉල්ලා අස්වීමක් යනු, එවැනි නොවැළැක්විය හැකි තත්වයක් නොවේ. ඒ නිසා, මරණයකදී අනුගමනය කරන හදිසි පටිපාටියට වඩා සුජාත භාවයක්, ඉල්ලා අස්වීමකදී අනුගමනය කරන පටිපාටියක් තුළ තිබිය යුතුය. එය, ව්‍යවස්ථාවේ වචනවලින් එපිටට යන බරක් සහ වගවීමක් දැරිය යුතු අවස්ථාවකි. හොඳම උදාහරණය ගෝඨාභය රාජපක්ෂට රටින් පලායන්නට සිදු වූ අවස්ථාවයි. එනම්, ඔහු වනාහී ජනතාව විසින්, ඡන්දයකින් නොව, මහජන නැඟිටීමකින් පන්නා දමන ලද නායකයෙකු වූ බවයි. රනිල් වික්‍රමසිංහව අගමැති තනතුරට පත්කරන්නේ ඔහු ය. ඊළඟට, රනිල් වික්‍රමසිංහව ජනාධිපති තනතුරට පත්කරන්නේ ඔහුගේ පොහොට්ටු පක්ෂය ය. අර කියන ජනතා නැඟිටීමෙන් (අරගලයෙන්) මේ දෙකම එක විට සිය සුජාත භාවයන් අහිමි කරගෙන ඇති නිසා, ඔවුන් විසින් පත්කරන ලද අගමැති රනිල් වික්‍රමසිංහටත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහටත් මොනම සුජාත භාවයක්වත් තිබිය නොහැක.

3. ප්‍රියානී විජේසේකර මහත්මියගේ ඊළඟ තර්කය වන්නේ, අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත්කරගැනීමේ පටිපාටිය විපක්ෂය විසින් පිළිගත් බව ය. එය ඔප්පු වන්නේ, ඔවුන් විසින් සිය අපේක්ෂකයා වශයෙන් ඩලස් අලහප්පෙරුම එම තරගයට ඉදිරිපත් කිරීමයි. ඇය අඟවන පාර්ලිමේන්තු පටිපාටිය යන පටු අර්ථයෙන් එහාට ගොස්, මේ කාරණයේදී ඈ සමග දේශපාලනික අර්ථයකින් එකඟ වීමට මේ ලියුම්කරු කැමතියි. එනම්, අද රනිල් වික්‍රමසිංහගේ සුජාත භාවය ඉල්ලා සිටින සජිත් ප්‍රේමදාසගේ විපක්ෂය එදා රනිල් වික්‍රමසිංහගේ සුජාත භාවය ප්‍රශ්න කිරීමට ඉදිරිපත් කෙළේද, අර කියන ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ පොහොට්ටුව යටතේ ස්වකීය සුජාත භාවය අහිමි කරගෙන සිටි සහ අවසාන මොහොත දක්වාම එම නායකත්වයට සහ එම පක්ෂයට පක්ෂපාතීව සිටි ඩලස් අලහප්පෙරුම ය. එම තරගය සඳහා ඔහුව තෝරනු ලැබුවේ පොහොට්ටු පක්ෂය විසින් නම්, සිරිමා බණ්ඩාරනායකට හෝ ඩී. බී. විජේතුංගට ලැබුණු ආකාරයේ, ව්‍යවස්ථාවේ අකුරුවලට සේම සාරයටද අනුකූල තේරීමක් වශයෙන් එය භාරගැනීමට කෙනෙකුට ඉඩ තිබුණි. එහෙත්, ප්‍රධාන විපක්ෂය විසින් ඩලස් අලහප්පෙරුම ජනාධිපති තනතුර සඳහා එදා නම් කිරීම මගින්ම, රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් අද විපක්ෂය විවේචනය කරන (සුජාත භාවයක් නැතැ යි යන) වරදම එදා ඔවුන් විසින්ද සිදු කර තිබෙන බව පෙනේ. ඒ අනුව බලන විට, රනිල් වික්‍රමසිංහගේ ‘සුජාත භාවයක්’ ගැන අද විපක්ෂය නඟන චෝදනාව තුළ එක්තරා බොල් ගතියක් ඇතැයි අපට පෙනේ. ඒ නිසා, ඒ කාරණය සම්බන්ධයෙන් නම් හිටපු පාර්ලිමේන්තු ලේකම්වරිය සමග අපට එකඟ විය හැකිය.

ව්‍යවස්ථාව ඉක්මවා ගියොත්?

අවසාන වශයෙන් සඳහන් කළ යුතු ඉතා වැදගත් කාරණයක් තිබේ. එනම්, මහජන පෙරළියකින් බලහත්කාරයෙන් රාජ්‍ය නායකත්වයක් පන්නා දමනු ලබන අවස්ථාවකදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් ගැන සඳහනක් ලෝකයේ කිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක සඳහන් කොට නැත. එවැනි අවස්ථාවකදී ගත හැකි මාර්ග දෙකක් තිබේ. එකක්, බලහත්කාර පෙරළිය ඇති කළ පාර්ශ්වය විසින් ආණ්ඩුබලය අත්පත් කරගැනීමයි. ලංකාවේ හටගත් අරගලයේ ස්වභාවය අනුව, එවැනි ක්‍රියාමාර්ගයකට පිළිපන්නේ නම් ඇති විය හැකිව තිබූ අනිවාර්ය ප්‍රතිඵලය, ප්‍රචණ්ඩ අරාජිකත්වයයි. හුස්ම හිර කරවන නාඩගමක් සහ භයානක ඛේදවාචකයක් යන දෙකම එක විට ප්‍රාදුර්භූත වීමයි. ඒ නිසා, එදා රටට ගත හැකිව තිබූ එකම මාර්ගය වුණේ, තිබෙන ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමයි. එවකට සිටි අගමැතිවරයා ඊළඟ ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත්කරගැනීම, සැබෑ මහජන අභිලාෂයට අනුකූලව සුජාත වූවත් නැතත් කෙනෙකු එය පිළිගත යුතුව ඇත්තේ එබැවිනි. හේතුව, ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදය මත කටයුතු කිරීම හැර, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමේ වෙනත් මඟක් නැති බැවිනි.

Social Sharing
නවතම විශේෂාංග