ආකෘතික සෙල්ලම සහ සරසවි ශිෂ්‍යාගේ මරණය…!

සහන් කසීර කියන්නෙ ෆේස්බුක් අවකාශයේ සිංහල ලිපි සම්පාදකයන් අතරින් ඉන්න විචිත්‍රවත් ලේඛකයෙක්. මට මතක විදිහට ෆේස්බුක් වෙනුවෙන් රචනාකරපු ලිපි පෙළක් මුද්‍රිත පොතක් වශයෙන් ප්‍රථම වතාවට ප්‍රකාශයට පත්වූවානම් ඒ ඔහු විසින් රචිත “ආච්චිගේ කොලම’. සහන්ගෙ ප්‍රථම කෙටි කතා පොත “සරසවි ශිෂ්‍යාගේ මරණය සහ තවත් කතා” නමින් මුද්‍රණද්වාරයෙන් එලියට එන්න ප්‍රථම එහි අඩංගු සමහර කතා අපි ඔහුගේ ෆේස්බුක් බිත්තියේ කියවා තිබුණා. කන-බොන, යන-එන අතර ෆේස්බුක් බිත්තියේ සාහිත්‍ය රසවිඳීම හරියට TV එකේ ටෙලිනාට්‍ය රසවිඳිනවා වගේ වැඩක්. එම කතා ම මුද්‍රිත පොතක් විදිහට කියවද්දි දැනෙන්නෙ සිනමා ශාලාවක චිත්‍රපටයක් රසවිඳිනවා වැනි හැඟීමක්. කෙටිකතා කිවුවට මින් බහුතරය කෙටිම කෙටි වෙන්නෙ සමහරවිට ෆේස්බුක් වෙනුවෙන් රචනාවූ නිසා වෙන්නත් පුළුවන්. කවදාහරි අනාගත දිනයක යම් අයෙක් ඒ පිළිබඳව පර්‍යේෂණයක් කලහොත් ඒ කාරණාව සනාථ කරාවි.

කෙටිකතා විදිහට ගත්තොත් සහන් ගොඩාක් ශිල්ප දාන්න යන්නෙ නැහැ. සහන් කරන්නෙ සරළ භාෂාවකින් කතාවක් කියන එක. ඒවායේ තානය සහ ස්වරය එකම විදිහට තමයි කියවන්නගෙ හිතේ අනුනාද නගන්නෙ. බොහෝවිට එයා මේවා හුදකලා නිර්මාණ විදිහට කරද්දී මේවා කළඹක් විදිහට කවදාහරි කවුරුහරි කියවයි කියලා හිතන්නෙ නැතුව ඇති. නමුත් ඒ හැම කතාවකදීම එයා කියවන්නාව කම්පනය කරන්න සමත් තැන් වෙනත් විදිහකට කිවුවොත් මනුෂ්‍ය ජීවිතවල සංවේදී මොහොතක් එයාගෙ කතාන්දර වලට විෂය කරගන්නවා. ඊට අමතරව කතාව ඉදිරිපත් කිරීමේ ආකෘතික රටාවන් එක්ක සෙල්ලමක් කරනවා.

පොතට නම් දීපු “සරසවි ශිෂ්‍යාගේ මරණය” නැමති කතාවෙදි එයා කරන්නෙ සියදිවි නසාගත් සරසවි සිසුවකුගේ මරණ පරීක්ෂණයට අදාළව ලබාගත් කට උත්තර කිහිපයක් වාර්තා කිරීම. ඒ තුළින් ලේඛකයා අපි යථාර්ථය කියා විශ්වාස කරන ප්‍රබන්ධය එලියට ගන්නවා. ඊළඟට අපි කල්පනා කරන්න ගන්නෙ ඇයි ප්‍රබන්ධයක් නඩත්තු කරන්න සිද්ධවුනේ කියන එක. කෙටිම කෙටි කතා වුණත් ගිරෙන් ගිරට පැන ගිය හනුමා වගේ මේ කතා කියවගෙන කියවගෙන යන්න අමාරු අන්න ඒ සංවාදයට පොතත් හිතත් පැමිණෙන නිසයි.

ආකෘතික සෙල්ලම ඊළඟට දකින්නෙ “රේල්ලුව” කියන කතාවෙදි. ඒකෙ කෝච්චියේ ගමන්කරන තරුණ කාන්තාවට පසුකරන සෑම ස්ටේෂන් එකක් එක්කම ස්මරණයන් පවතිනවා, ඒ සියල්ල කෙටිකතාවක් ඇතුලෙ තියෙන තවත් කෙටිකතා වගෙයි. ඇගේ කියැවීමට අනුව අනෙක් අය පිළිබඳව විවේචනාත්මක ඇහැක් තියෙනවා. හරියට අපි වගේමයි. එතකොට අපිට හිතෙන්න ගන්නවා මෙයා සිරිත් මල්දමක් ද කියලා. ඒත් කතාව ඉවර වෙන්නෙ එයා බහින්න ඕන ස්ටේෂන් එකත් පහු කරගෙන මග වරද්දාගෙන ආපහු යන්න ඕන තත්ත්වයක් හෙළිදරව් කරමින්. එයාගෙ ගමනාන්තය බන්ධනාගාරය කිවුවම ඒ මග වැරදීම රූපකයක් විදිහටත් කදිමට ගැලපෙනවා. පොතේ තිබුණු කතා 8න් මම වැඩියෙන්ම කැමති වුණේ “රේල්ලුව” කතාවට.

“ඔබට හිතැති” කියන්නෙ The Last Leaf කියන කෙටි කතාව, The fault in our stars සහ Walk to remember චිත්‍රපට පිළිබඳව මතකයන් කැඳවපු කතාවක්. මේ මතකයන් ඇසුරෙන් කෙනෙකුට කතාවෙ ප්‍රස්තුතය පිළිබඳව ඉඟියක් ලැබෙන්න ඇති ඒ නිසා ඒ ගැන මොකුත් නොලියා ඉන්නම්. ඒත් ඒ කතාවෙ අවසානය විශේෂයි, හරියට මතකයන් වල ස්වභාවය වගෙයි.

“බයගුලු ඇස්” සහ “Babushka lady” කියන්නෙ මට හිතෙන්න්නෙ සහන්ගෙ පුවත්පත් ලිපි සම්පාදනයේ සහ විදෙස් පුවත් ගවේෂණයෙහි ප්‍රතිඵල. ඒ පදනම් දෙකම ප්‍රසිද්ධ කාරණාවක් විෂයකොට ප්‍රබන්ධයක් ගොඩනැගීමේ හැකියාව පෙන්නපු අවස්තා. කතා දෙකේම අඩු වැඩි වශයෙන් විවාහය ඇතුලෙ ස්ත්‍රිය මුහුණදෙන දෙවැනි තැන පිළිබඳව සාකච්ඡාවක් මතු කරනවා.

“සිනාසිසී මා එන මග” කතාව කියවද්දි ඉස්සර අපි ITN එකේ බලපු සත්සර රංගන ඒකාංගික ටෙලිනාට්‍ය මතක් වුනා. ළමා ගීතයක් විදිහට ජාතික රූපවාහිනියෙන් “මිදුලේ වැලි මාලිගාවෙ” ප්‍රචාරය වෙද්දී අපි හිටියෙ පැටි වයසෙ. ඊළඟට ඉස්කෝලෙ යද්දී ඒක සාහිත්‍යය සමිතියට ඉදිරිපත් කරපු ආදර්ශමත් ගීත නිදර්ශකයක්. හැමදාමත් ඒ ගීතය වෙනුවෙන් තිබ්බෙ සෞන්දර්ය සහ චිත්තධෛර්‍ය මුසු මනෝරූප පෙළගැස්මක්. සහන් ඒකට වෙනස්ම අර්ථකතනක් ප්‍රබන්ධ කරලා තියෙනවා.

“කල්ලඩි පාලම පාමුල” පර්‍යේණාත්මකයි. ඒක කියෙවුවම ඒ පිළිබඳව තව කියවන්න ලාලසාවක් උපන්නා.

ක්‍රීඩා සහ කලා විෂයන් පිළිබඳව මතකපීඩියාවක් වන සහන් මේක ආරම්භයක් කරගෙන මුද්‍රිත පොත් ඉලක්කකොට ලිවීම කරනවා නම්, ඒ මතක ගබඩාවේ විසිතුරු බවත් විශ්මයත් අතරට පාඨකයා රැගෙනයාවි. ඒ විශ්වාසය මේ පොත ඇතුලෙ තහවුරු කර තියෙනවා.

උපුටාගැනීම – ෆේස්බුක්

 

Social Sharing
අවකාශය නවතම