පොලිස්පතිතුමෝ අපි බය නෑ..!

(සීඅයිඩියෙදි පැය හයක්පුරා වෙච්ච දේ කෙටියෙන්…)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීම මත එහි ගොස් පැය හයක පමණ කාලයක් එහි රැඳී සිට පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අද සවස 3.30ට පමණ එම දෙපාර්තමේන්තුවෙන් පිටවී පැමිණියෙමි.

මා අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන විමර්ශනයකට අදාලව ප්‍රකාශ ලබාදීම සඳහා ගියේ මාගේ මතකයේ හැටියට හයවැනි වරටය. මීට පෙර වෙනත් කටයුතු සඳහා 20 වතාවකට වඩා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇති අතර විමර්ශනවලට අදාලව ප්‍රකාශ ලබාදීමට පස් වතාවක් පමණ ගොස් තිබේ. ඒ සියලුම විමර්ශන එක්කෝ මම පුවත්පත හරහා කළ හෙළිකිරීමක් හෝ වාර්තා කිරීමක් පාදකර කරගෙන කරන විමර්ශනයකට අදාලව හෝ මා විසින් කරන ලද පැමිණිල්ලකට අදාලව ප්‍රකාශ ලබාදීමට වන අතර මට එරෙහිව පැවැත්වෙන විමර්ශනයකට ප්‍රකාශ ලබා දීම සඳහා ගියේ පළමුවැනි අවස්ථාවටය.

2012 වසරේදී ශිෂ්‍යයත්ව ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් මවිසින් පළ කරන ලද ප්‍රවෘත්තියකට අදාලව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට මුල්වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මා කැඳවූ අතර ඉන් අනතුරුව රතුපස්වල නිරායුධ පුරවැසියන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීම, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයන් දෙදෙනකු වන ජනක සහ සිසිතගේ මරණය ඇතුළු සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ මුල් අවස්ථාවේදී මෙන්ම අද දිනද මම එම දෙපාර්තමේන්තුවට ගියේ තරමක තැතිගැනීමකින් යුක්තවය. ඊට හේතුව පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිසියේ නිලධාරීන් කිහිප දෙනකු මා පසුගිය කාලයේ ලියන ලද, කියන ලද සහ කරන ලද ඇතැම් දෑ සම්බන්ධයෙන් අමනාපයෙන් පසුවු නිසාය.

අද උදෑසන 9.15 පමණ වන විට මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට ගියෙමි. නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ, නීතිඥ ප්‍රබෝධ රත්නායක සහ නීතිඥ සුරේන් ඩී පෙරේරා ද, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් එම් එෆ් එම් ෆසීර්, තරිඳු උඩුවරගෙදර, රේඛා නිලුක්ෂි හේරත්, ඩී ඩී නිරෝෂ් කුමාර්, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ශාන්ත විජේසූරිය, රෙබෙකා ඩේවිඩ් ඇතුළු පිරිසක් සහ මාධ්‍යවේදීහු කිහිප දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට පැමිණ සිටියහ.

නීතිඥවරුන් තිදෙනා සමඟ පෙරවර 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළුවන කැරකෙන ගේට්ටුව අසලට ගිය අතර නීතිඥවරුන්ට ඉහළ මහළට යෑමට නොහැකි බවත්, ඔවුන්ට අවශ්‍ය නම් ලොබියේ සිටිය හැකි බවත් එම ස්ථානයේ සිටි නිලධාරීහු දැනුම් දුන්හ. නීතිය අනුව ප්‍රකාශ සටහන් කර ගැනීම පෙනෙන දුරින් සිටීමට නීතිඥවරුන්ට අයිතියක් ඇති බව පහදා දීමෙන් පසු නීතිඥ සුරේන් ඩී පෙරේරාට සහ නීතිඥ ප්‍රබෝධ රත්නායකට ඇතුළට යෑමට අවස්ථාව ලැබිණි. නීතිඥවරුන් දෙදෙනාට ඇතුළට පැමිණ බිම් මහලේ ලොබියේ සිටින ලෙස දැනුම් දුන් අතර අපි අපේ ස්ථාවරය පැහැදිලි කිරීමෙන් පසු ඒ ගැන සාකච්ඡා කිරීමට සයිබර් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (සීසීඅයිඩී) අධ්‍යක්ෂවරයා හමුවීමට එක් නීතිඥවරයකු සමග මට යෑමට දැනුම්දීමක් ලැබිණි. නීතියට අනුව නීතිඥවරයකුට ප්‍රකාශය සටහන් කර ගන්නා ස්ථානය පෙනෙන දුර සිටීමට හැකියාව ඇති බැවින් අපටද එසේ අවශ්‍ය බව ප්‍රකාශ කළෙමු.

එම අදාල අංශයේ ඉඩකඩ සීමිත බවත්, නීතිඥවරයාට සිටීමට සිදුවන්නේ අදාල අංශයට ඇතුළුවන දොරටුව අසල කොරිඩෝවේ බවත්, එයින් නීතිඥවරයා අපහසුතාවට පත්විය හැකි බවත්, මාගේ ප්‍රකාශය සටහන් කර ගන්නා අවස්ථාවේදී අවශ්‍ය වුවහොත් නීතිඥ සහාය ලබා ගැනීමට අවස්ථාව දිය හැකි බැවින් නීතිඥවරයා බිම්මහලේ ලොබියේ සිටීම සුදුසු බවත් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය. මාගේ ප්‍රකාශය සටහන් කර ගැනීම පෙනෙන දුරින් තමාට සිටීමට අවශ්‍ය බවත්, කොරිඩෝවේ සිටින්නට සිදුවන්නේ නම් එය තමන්ට ගැටලුවක් නැති බවත් නීතිඥ ප්‍රබෝධ රත්නායක මහතා ප්‍රකාශ කළේය. ඕනෑම පුරවැසියකුට හිමි එම අයිතිවාසිකම අපි ප්‍රායෝගිකව අත්හදා නොබැලුවහොත් ඉදිරියේදී පැමිණෙන අහිංසක සාමාන්‍ය පුරවැසියන්ට ද එම අවස්ථාවට අහිමිවී යනු ඇත. ඒ අනුව නීතිඥවරයාට පෙනෙන දුරක සිටීමට අවස්ථාව ලැබිණි.

ඉන් අනතුරුව 10.15ට පමණ මාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීම ඇරුඹිණි. ඊට පෙර ප්‍රකාශය සටහන් කර ගන්නේ ඇයිද යන්න ගැන පැහැදිලි කර දුන් අතර එම විමර්ශන ගොනුවේ පැමිණිලිකරු යන්න ඉදිරිපිටින් සටහන් කර තිබුනේ ‘පොලිස්පතිතුමා’ යනුවෙනි. ඒ අනුව මෙය පොලිස්පති විසින්ම කළ පැමිණිල්ලක් ද එසේ නැතිනම් වෙනත් කෙනකු කරන ලද පැමිණිල්ලක් පොලිස්පති විසින් යොමු කරනු ලැබීම පමණක් කළාද යන්න ගැන මම සොයා බැලූ අතර විමර්ශකයන් ප්‍රකාශ කළේ එය පොලිස්පති විසින්ම කරන ලද පැමිණිල්ලක් බවයි. ඔක්තෝබර 09 වැනිදා නීති විරෝධීව හැසිරුණු පොලිසියේ අට දෙනකු හඳුනා ගැනීම සඳහා මහජන සහාය පතමින් ඔක්තෝබර 17 වැනිදා මවිසින් සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සකස් කර පළකරන ලද පෝස්ටුව සම්බන්ධයෙන් මෙම විමර්ශනය පැවැත්වෙන බව ඔවුහු කීහ.

උප පොලිස් පරීක්ෂකවරයකු ප්‍රශ්න කිරීම කළ අතර කාන්තා නිලධාරිනියක් පරිගණකයෙන් යතුරුලියනය කළාය. උප පොලිස් පරීක්ෂකවරයාට මගෙන් විමසන ප්‍රශ්න සකස් කර දී තිබුණේ වෙනත් නිලධාරියකු විසින් වන අතර එම ප්‍රශ්න ඒ ෆෝ කොලයක දෙපැත්තේ මුද්‍රණය කර තිබිණි. ඊට අමතරව අතින් ලියන ලද ප්‍රශ්න කිහිපයක්ද විය. උපන් ස්ථානය ඇතුළු උපන්දා සිට මේ වන තෙක් මාගේ පෞද්ගලික විස්තර මුලින්ම සටහන් කර ගැණිනි. ඉන් පසු ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ ආකාරය ගැනත්, දැනට ජනමාධ්‍යවේදියකු ලෙස වාර්තා කිරීම් කරන ක්ෂේත්‍ර ගැනත්, අපගේ වෙබ් අඩවිය වන මීඩියාඑල්කේ (medialk.com) වෙබ්අඩවියේ ලියාපදිංචිය ආදී තොරතුරු ගැනත් සටහන් කර ගැනීම සිදු විය.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ආරම්භය, මා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට සම්බන්ධ වූ ආකාරය, එහි ක්‍රියාකාරකම්, මා දරා ඇති තනතුරු ඇතුළු විස්තර, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයන් ගණන, එහි ව්‍යූහය, එහි තනතුරුවලට තෝරා ගන්නා ආකාරය ඇතුළු කරුණු කාරණා රාශියක් විමසන ලදී.

විශේෂත්වය තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ෆේස්බුක් පිටුවට කොපමණ පිරිසකට (ඇඩ්මින් හෝ එඩිටර් ලෙස) ප්‍රවේශය තිබේද සහ ඒ කවුරුන්ද යන ප්‍රශ්නයයි. එම ප්‍රශ්නයට නිශ්චිතවම පස් දෙනකුට පමණ ප්‍රවේශවීමේ හැකියාව තිබුණත් ඔවුන් කවුරුන්ද යන්න ප්‍රකාශ කිරීමට හැකියාවක් නැති බවට මම පිළිතුරු සැපයීමි.

සංගමය සහ මා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අදාල නිශ්චිත කාරණය වන පෝස්ටුව පළ කිරීම ගැන ප්‍රශ්න කිරීම ආරම්භ විය. මෙම පෝස්ටුව සකස් කරන ලද්දේ කවුරුන් විසින්, එය සකස් කර පලකරන ලද හේතුව කුමක්ද, එහි වගකීම ගන්නේ කවුරුන්ද ආදී වශයෙන් ප්‍රශ්න වැලක් ඇසීය. මා සහ අප වැඩ කරන්නේ නිශ්චිතව වගකීම් සහගතව බව ඇතැම් විට පොලිස්පතිවරයා නොදන්නවා ඇත. මෙම නිශ්චිත පෝස්ටුව සකස් කර පළ කිරීම පිළිබඳ සම්පූර්ණ වගකීම මවිසින් ගන්නා බවත්, සෙසු සියලු දෙනා එම පෝස්සුටව පළ කරන්නට හෝ ෂෙයාර් කරන්නට ඇත්තේ මාගේ සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ෆේස්බුක් පිටුවේ පළ කිරීමෙන් පසුව බවත්, පෝස්ටුව සම්බන්ධයෙනුත්, එය සකස් කිරීම සම්බන්ධයෙනුත් සම්පූර්ණ වගකීම මා බාර ගන්නා බවත් මම ප්‍රකාශ කළෙමි.

පෝස්ටුව සකස් කිරීමට හේතුව ලෙස මම අදාල කරුණු පැහැදිලි කළෙමි. ඔක්තෝබර නව වැනිදා පැවැති සාමකාමී සැමරුමට කඩා වැදුණු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්, සහකාර පොලිස් අධිකාරී නලින්ද දිල්රුක් සහ කොටුව පොලිස් ස්ථානාධිපති මහින්ද සාගර විලේගොඩ ලියනගේ ඇතුළු පිරිසක් නීතිය උල්ලංඝනය කරමින් මානව හිමිකම් කඩමින් හැසිරුණු ආකාරය ගැනත්, එම අවස්ථාවේදී පොලිසියේ නිලඇඳුමින් සිටි පරිසක් සිදු කළ අපරාධ සම්බන්ධයෙනුත් මම පැහැදිලි කළෙමි. එම නීති විරෝධී සහ අපකීර්තිදායක හැසිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ, වධහිංසා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි ගැන අපරාධ විමර්ශනයක් සිදු කරන ලෙස සහ විනය පරීක්ෂණ සිදු කරන ලෙස ඉල්ලමින් ඔක්තෝබර 10 වැනිදා පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් යොමු කළ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වූ බවක් දැනුම් දුන්නේ නැත. එම සිදුවීමේදී පොලිස් නිලඇඳුමින් සිටි පිරිස් මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිල්ලක් කළෙමු.

පොලිසිය නිසි විමර්ශනයක් සිදු නොකරන නිසා මානව හිමිකම් කොමිෂන් සභා පැමිණිල්ලට අමතරව එම නිලධාරීන්ට එරෙහිව පෞද්ගලික නඩු දැමීමටත්, දිසා අධිකරණයේ වන්දි නඩු දැමීමටත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීමටත්, එලෙස නීතිමය ක්‍රියාමර්ග ගනිද්දී අපරාධ සිදු කළ පොලිස් නිලධාරීන් පුද්ගලිකව වගඋත්තරකරුවන් හෝ චූදිතයන් කිරීමටත් තීරණය කළ බව ප්‍රකාශය ලබා දෙමින් සඳහන් කළෙමි. ඒ සඳහා වැරදි කළ නිලධාරීන්ගේ නම්, ලිපිනයන් සහ ඔවුන්ගේ තනතුරු ඇතුළු විස්තර සොයා ගැනීම අවශ්‍ය විය. මේ අතරතුර ඔක්තෝබර 18 වැනිදා උදෑසන 9.30ට මේ සිදුවීම සම්බන්ධයෙන් වන විමර්ශනය පැවැත්වෙන බවත්, ඒ සඳහා සියලුම සාක්කි සමඟ පැමිණෙන ලෙසත් එම කොමිසම මාහට දැනුම් දුන්නේය. ඒ අනුව එම විමර්ශනයට අදාලව ද තොරතුරු ලබාදිය යුතු බැවින්, අපරාධ වැරදි සහ මානව හිමිකම් කඩ කිරීම් සිදු කළ මෙතෙක් හඳුනා නොගත් නිලධාරීන් හඳුනා ගැනීමට අවශ්‍ය වූ බැවින් අදාල නිලධාරීන් ගැන තොරතුරු අපගේ ඊමේල් ලිපිනයට ලබා දෙන ලෙස ඉල්ලමින් පෝස්ටුවක් සකස් කළ සමාජමාධ්‍යවල පළ කළ බව මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැහැදිලි කළෙමි.

එලෙස පෝස්ටුව පළ කිරීමෙන් පසු එහි සිටි නිලධාරීන් දෙදෙනකු ගැන තොරතුරු ලැබිණි. එහි අංක ලෙස සඳහන් පුද්ගලයා නලීන්ද සිල්රුක්ම බවත්, දෙවැනි පුද්ගලයා කොම්පඤ්ඤවීදිය ස්ථානාධිපති බවටත් තොරතුරු ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් 18 වැනිදා පැවැති මානව හිමිකම් කොමිෂන් සභා විමර්ශනයේදී ඉදිරිපත් කළෙමි. 18 වැනිදා මා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී එච්ආර්සී 3521/22 අදාලව දිවුරුම්පිට සාක්කි ලබා දෙමින් මේ සියලු තොරතුරු ඉදිරිපත් කළ අතර ඡායාරූපවල සඳහන් නිලධාරීන් 08 දෙනා මානව හිමිකම් පැමිණිල්ලේ වගඋත්තරකරුවන් කරන ලෙස ද ඉල්ලා සිටියෙමි. ඊට අමතරව මෙම නිලධාරීන්ට එරෙහිව පෞද්ගලික නඩු, මූලික අයිතිවාසිකම් නඩු සහ වන්දි නඩු ගොඩු කිරීමට මේ වන විට නීතිඥවරුන් අදාල ලියැකියැවිලි සකස්කරමින් සිටින බවත් පැහැදිලි කළෙමි.

පෝස්ටුවේ පින්තූර ඇති නිලධාරීන් කළ වරදවල් ඒ ඒ නිලධාරියා සම්බන්ධයෙන් වෙන් වශයෙන් මාගෙන් ප්‍රශ්න කළ අතර ඊට මම පිළිතුරු ලබා දෙමින් එම අට දෙනා කළ වරදවල් වෙන් වශයෙන් සඳහන් කළෙමි.

මෙම දීර්ඝ ප්‍රශ්න කිරීම අතරතුර වූ තවත් විශේෂ ප්‍රශ්නයක් සහ මෙම සමස්ත විමර්ශනයටම අදාල වූ ප්‍රශ්නය වූයේ මෙම නිලධාරීන්ගේ ඡායාරූප පළ කිරීම තුලින් මහජනතාව තුල වෛරයක් ඇති කර ජනතාව කුපිත කරන නොසන්සුන්තාවක් ඇති කර නිලධාරීන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල කිරීම් අරමුණෙන් මෙය සකස් කර පළකරනු ලැබුවාද යන්නයි. එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් මම මෙසේ පැවසුවෙමි. “නැත. මෙම ස්ථානය ප්‍රසිද්ධ පොදු ස්ථානයක්. මෙම සිදුවීම ආවරණය කිරීමට දෙස් විදෙස් මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් රැසක් ඇවිත් තිබුණා. මෙම සිදුවීමේ විඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍යවල සහ දෙස් විදෙස් මාධ්‍යවල පළවුණා. නිලධාරීන් අපකීර්තිදායක හැසිරීමට රටම දැක්කා. මහජනතාව තුල වෛරයක් ඇති වෙනවා නම් හෝ ජනතාව කුපිත වෙනවා නම් වෙන්නේ අපේ පොස්ට් නිසා නෙමෙයි. එහෙම වෙනවා නම් වෙන්නේ මේ නිලධාරීන්ගේ අපකීර්තිදායක හැසිරීම සහ ඔවුන් කරන වැරදි දැකලයි. නිලධාරීන් හරියට හැසිරුණා නම් එහෙම වෙන්නෙත් නෑ, අපට පොස්ට් දාන්න ඕන වෙන්නෙත් නෑ. අපිට මේ අයගේ ජීවිතයට තර්ජනයක් ඇති කරන්න කිසිම උවමනාවක් නෑ. අනික නිලධාරියෙක් වරදක් කරනවා නම් මහජනතාව තුල වෛරයක් ඇති වුණත් නැතත් ඒ වරද ගැන අනාවරණය කරන්න ඕනා.”

මා පොලිසිය සමඟ වෛරයකින් සිටින්නේද සහ මෙම නිලධාරීන් සමඟ වෛරයක් හෝ අමනාපයක් තිබේද යන්න ගැනත් විමසීමක් කළ අතර ඊට පහත පරිදි පිළිතුරු දුන්නෙමි. “මෙම නිලධාරීන් සමඟ කිසිම පෞද්ගලික තරහක් හෝ වෛරයක් නෑ. අපි වෛරීසහගත දේවල් පළ කළෙත් නෑ. ඔවුන් වැරදි කර තිබෙන නිසා ඔවුන් හඳුනාගන්න උදව් කරන්න කියලා විතරයි කිව්වේ. තොරතුරු කොමිෂන් සභාව පොලිස් දෙපාර්තමේන්තුවට පුහුණුවක් කළා. පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දක්වා සියලුම උසස් පොලිස් නිලධාරීන්ට සැසි කිහිපයක් යටතේ එම පුහුණුවීම කළා. ඒක සම්බන්ධීකරණය කළේ සහ එය මොඩරේට් කළේ මමයි. පොලිසිය එක්ක තරහක් තියෙනවා නම් එහෙම කරන්නේ නෑ. මම මාධ්‍යවේදියෙක් විදිහට පොලිසිය කළ වැටලීම් සම්බන්ධයෙන් ඕනෑ තරම් වාර්තා කර තිබෙනවා. පොලිසිය කරන හොඳ වැඩ වාර්තා කරලා තියෙනවා. ඒවගේම පොලිසියේ සමහරුන්ට අසාධාරණ ලෙස ප්‍රශ්න වෙච්ච සහ ඔවුන්ගේ මානව හිමිකම් කඩවෙච්ච අවස්ථාවල මැදිහත්වෙලා තියෙනවා. විශේෂයෙන් මේ පළකරපු ඡායාරූප වල අංක එකට සිටින නිලධාරියා ලෙස හඳුනා ගත් නලින්ද දිල්රුක්ට 2022 අප්‍රේල් මාසෙදි ඔහු තලංගම ස්ථානාධිපති ලෙස ඉන්දි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දුන් අවස්ථාවෙදි ඒ ගැන මානව හිමිකම් කොමිෂන් සභාව දැනුම්වත් කළේ අපි. අපිට කිසිම කෙනෙක් එක්ක පෞද්ගලික තරහක් කෝ වෛරයක් නෑ.’

මෙම නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු පනත යටතේ තොරතුරු ලබා ගත හැකිව තිබියදී එසේ නොකර සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු එකතු කළේ ඇයිද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළේය. මාගෙන් විමසූ විහළු සහගතම ප්‍රශ්නය එය බව මම විශ්වාස කරමි. ඊට හේතුව ශ්‍රී ලංකා පොලිසිය තොරතුරු පනතට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ දැඩි විවේචනයට ලක්ව තිබියදී මෙවැනි ප්‍රශ්නයක් විමසීමයි. අප විසින් පොලිසියට තොරතුරු ඉල්ලීම් 100කට ආසන්න ගණනක් යොමු කර ඇති බවත්, ඉන් බහුතරයකට පොලිසිය කිසිම ප්‍රතිචාරයක් දක්වා නැති බවත්, ප්‍රතිචාර දැක්වූ කිහිපයෙන් වැඩි ගණනකට පොලිසිය පස්වැනි වගන්තියේ සඳහන් ව්‍යතිරේක පෙන්වමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත් උදාහරණ සහිතව පෙන්වා දුන්නෙමි. විශේෂයෙන්ම තොරතුරු පනතේ 25.3 යටතේ පැය 48ක් තුළ ප්‍රතිචාර දැක්විය යුතු තොරතුරු ඉල්ලීම් 08ක් පමණ පොලිසියට යොමු කර ඇතත් පොලිසිය ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා කොමිසමට අභියාචනා කිරීමට සිදුවූ බවත්, එම අභියාචනාවලදී පොලිසියේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක්වූ බවත්, ශානි අබේසේකර මහතාට ආරක්ෂාව නොදීම ගැන කළ තොරතුරු ඉල්ලීමට අදාල අභියාචනය විභාග කළ කොමිසම පොලිසියට දැඩි ලෙස අවවාද කර ඇති බවත් මම අදලා අභියාචනා අංකද ලබා දෙමින් විස්තර කළෙමි. අනෙක් අතට තොරතුරු පනත යනු තොරතුරු ලබා ගැනීමට ඇති එක් මෙවලකම් පමණක් බවත්, නීතියට එකඟ වෙනත් ආකාරයට තොරතුරු සෙවීමෙන් සහ තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිම අධෛර්ය කිරීමක් හෝ බාධාවක් තොරතුරු පනතෙන් නොකරන බව පනතේ 36 වැනි වගන්තියේ සඳහන්ව ඇති බවත් මම කීවෙමි. තොරතුරු පනත යටතේ පොලිස් නිලධාරීන්ගේ තොරතුරු ඉල්ලීමක් කළේ නම් පොලිසිය පනතේ පස්වැනි වගන්තියේ ව්‍යතිරේක උපුටා දක්වමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට හෝ ප්‍රතිචාර නොදක්වා සිටීමට ඉඩ තිබූ බවත්, එලෙස විනම් එම තොරතුරු ලබා ගැනීම සඳහා කොමිෂන් සභාව දක්වා අභියාචනා කිරීමට සිදුවන බවත්, අභියාචනය විභාගයෙන් පසු තොරතුරු ලබා ගැනීමේදී මාස ගණනක් යන බවත් පැහැදිළි කළ මම මෙම පොලිස් නිලධාරීන් සම්බන්ධ තොරතුරු කෙටි කාලයක් ඇතුළත අවශ්‍යව තිබූ බව පැහැදිලි කළෙමි.

මේ ආකාරයට දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු මම තවත් කරුණු කිහිපයක් සඳහන් කළෙමි. ඒ මෙසේය. ‘පොලිස්පති චන්දන වික්‍රමරත්න නමිම්න වගඋත්තරකරුවකු කරමින් අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ එස්සී එෆ්ආර් 270/22 දරණ මූලික අයිතිවාසිකම් නඩුව පවරලා තියෙනවා. ඒ වගේම පොලිස්පතිට එරෙහිව තොරතුරු කොමිසමට අභියාචනා ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙනවා. උසස් පොලිස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෞද්ගලික නඩුවක් ගොනු කර තිබෙනවා. මේ හේතූන් නිසා පොලිස්පතිවරයා මා සමඟ වෛරයෙන් පසුවෙනවා. මම ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කරද්දි මුහුණ දුන් තර්ජනය සහ බාධාකිරීම් සම්බන්ධයෙන් පොලිස්පතිට සහ විවිධ පොලිසිවලට පැමිණිලි ගණනාවක් කර තිබෙනවා. ඒ පැමිණිලි පොලිස්පති විමර්ශනයට යොමු කළේ නෑ. ඒ වගේම පොලිසිවලින් පැමිණිලි විමර්ශනය නොකිරීම ගැන ක්‍රියාමාර්ග ගත්තෙත් නෑ. චන්දන වික්‍රමරත්න මහතා මා සමඟ තරහකින් වෛරයකින් සිටින නිසයි මෙවැනි පැමිණිල්ලක් යොමු කර තිබෙන්නේ. කොටුව උසාවියේ තිබ්බ මගේ පෞද්ගලික නඩුවේ පාර්ශ්වකරුවන් නොවන පොලිස් ස්ථානාධිපතිවරුන් සහ උසස් පොලිස් නිලධාරීන් රැසක් රාජකාරි වෙලාවේ, නිල ඇඳුමෙන්, රජයේ වාහනවල මාව බය කරන්න උසාවියට එවලා තිබුණා. මෙම නිශ්චිත සිදුවීම එනම් ඔක්තෝබර 09 සිදුවීම ගැන අපි කරපු පැමිණිල්ලට මානව හිමිකම් කොමිසම විමර්ශන පටං අරං දිවුරුම්පිට මගෙන් සාක්කිත් අරං තියෙද්දි, සහ මේ නිලධාරීන් ගැන පොලිස්පතිට අපි පැමිණිලි කරලා තියෙද්දි පොලිස්පති ඒ ගැන විමර්ශනය නොකර චේතනාන්විතවම මාව අපහසුතාවට පත් කරන්න, මගෙන් පලිගන්න, මා පීඩාවට ලක් කරන්න තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ල එවලා තියෙන්නේ. පොලිස්පති කියන්නේ නීතියට ඉහලින් ඉන්න කෙනෙක් නෙමෙයි. අනුර බණ්ඩාරනායක එදිරිව පොලිස්පති රාජගුරු නඩුව ඇතුළු නඩු ගණනාවකදි පොලිස්පතිවරුන්ට පවා පුද්ගලික මුදලින් වන්දි ගෙවන්න සිදුවෙච්ච අවස්ථා තිබෙනවා. පොලිස්පති මා පීඩාවට පත් කිරීම 2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දිමේ සහ ආරක්ෂා කිරීමේ පනත යටතේත්, එම පනතේ 05 සහ 08 යටතේත් දඬුවම් ලැබිය හැකි වරදක්. ඊට අමතරව වෙනත් නීති යටතේත් වරදක්. යම් විමර්ශනයක් අතරතුරදී වෙනත් වරදක් හෝ අපරාධයක් ගැන තොරතුරක් හෝ කරුණු අනාවරණය වුණොත් ඒ ගැන විමර්ශනය කරන්න අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව විමර්ශන නිලධාරීන්ට හෝ පත් කරන ලද පරීක්ෂකයකුට හැකියාව තිබෙනවා. ඒ අනුව පොලිස්පති චන්දන වික්‍රමරත්න සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් කර ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්, මෙම නිශ්චිත සිද්ධියේදි අපරාධ වැරදි කළ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා.’

එලෙස පැය හතර හමාරක් පුරා ටයිප් පිටු 09ක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් පසු පස්වරු 3.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටවීමි. මා එනතුරු නීතිඥ සුරේන් ඩී පෙරේරා සහ නීතිඥ ප්‍රබෝධ රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළත්, ශාන්ත විජේසූරිය, එම් එෆ් එම් ෆසීර්, තරිඳු උඩුවරගෙදර, රේඛා නිලුක්ෂි හේරත් ඇතුළු පිරිසක් සහ මාධ්‍ය සගයක් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත් බලා සිටියහ.

මා වෙනුවෙන් පෙනී සිටි, කතා කළ, පැමිණි, ඇමතුම් ලබා දුන්, විස්තර විමසූ, පෝස්ට් පළ කළ, කමෙන්ට් කළ සියලුම දෙනාට බොහොම ස්තුතියි.

අර පෝස්ට් එක ස්ක්‍රීන් ෂොට් ගහලා දුන්නු අය මේකත් අයිජීට ස්ක්‍රින්ෂෙට් ගහලා ගිහින් දෙන්න. දෙද්දි මේකත් අනිවාර්යෙන් කියන්න. ඒ තමයි අපිව බය කරලා නවත්වන්න හැදුවට නවත්වන්න බෑ. නීතිය කඩන, නීතිය නමන, මානව හිමිකම් කඩන නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරියෙදිත් අනාවරණය කරනවා, ඉදිරියෙදිත් ලියනවා, කතා කරනවා, ඔවුන් එරෙහිව ක්‍රියාමර්ග ගන්නවා විතරක් නෙමෙයි ඔවුන්ව හඳුනන්නේ නැත්නම් ඔවුන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කර ඔවුන් හඳුනා ගන්න මහජන සහායත් පතනවා. ඒවයෙන් බේරෙන්න ඕන නම් නිලධාරීන් කරන වැරදි නවත්ව ගන්න.

විශේෂෙයෙන් සඳහන් කරන්න ඕන පොලිස්පති අපිව අපහසුතාවට පත් කරන්න මේ පැමිණිල්ල යොමු කළාට පැමිණිල්ල විමර්ශකයන් මගෙන් ප්‍රශ්න අහද්දි කිසිම බලපෑමක් කළෙත් නෑ, ඔවුන්ගේ ප්‍රශ්නවලට අදාලව මගේ පිළිතුර දෙද්දි ඒවා වෙනස් කරන්න බාධා කළෙත් නෑ. එහෙම නොකිරීම ගැන ඔවුන්ට ස්තුතියි. මෙහෙම බොරු පැමිණිල්ලක් එවලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ රාජකාරි කාලය නාස්ති කළ පොලිස්පතිට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලකුත් කරනවා.

සියලු දෙනාටම ස්තුතියි

– තරිඳු ජයවර්ධන –

Social Sharing
නවතම විශේෂාංග