මම ඉන්ද්‍රජාලිකයෙකු නොවෙයි – මංජුල සේනාරත්න

ඔහු සිය ලේඛන දිවිය අරඹන්නේ නව යොවුන් වියේදීමය. ලේඛන කලාවටත්, නිර්මාණශීලීත්වයටත් අමුතු නුපුරුදු තැනක් නුවූ ඔහුගේ මහ ගෙදර බොහෝ ඉක්මනින් ඔහුට ඒ අපූර්ව හැකියාව කාන්දු කළා විය යුතුය. තාත්තාගේ ඒ යෝධ ප්‍රතිරූපය හා සමානවම, නොඑසේව ඊටත් වඩා වැඩියෙන් පාඨක ආකර්ෂණීයත්, ආදරයත් දිනූ ඔහු මංජුල සේනාරත්න ය. ඔහුගේ ” දෙවැනි ගැහැනිය ” නවකතාව ස්වර්ණ පුස්තක අවසන් කෘති 12 ට ද නිර්දේශ විය. 12.12.12, බියුරෝ හා දෙවැනි ගැහැනිය ආදී නිර්මාණ හරහා දස දහස් ගණනක් පාඨකයන් ඇද බැඳ ගත් ඔහු අතින් ලියැවුණු ” D ” මේ සාහිත්‍ය මාසයේදී එළිදැක්වෙයි.

දැන් දැන් ඔබ වටා අලුත් පාඨකයින් දහස් ගණනක් එකතුවෙලා ඉන්න නිසා මා ආපහු මුලට ගිහින් පටන් ගන්නම්. දැන් මොකද ඔබට හිතෙන්නේ නිර්මාණ ජීවිතයේ අර අනපේක්ෂිත u-turn එක ගැන…

ඒ අනපේක්ෂිත U – TURN එක සොඳුරු අත්දැකීමක්. හීනෙකින්වත් බලාපොරොත්තු නොවුණු දෙයක්. 2019 අවුරුද්දේ කොළඹ පොත් ප්‍රදර්ශනයේදී 12.12.12 පොත දහස් ගණනින් අලෙවි වෙනකොට මට හිතා ගන්න බැරි වුණා සතුටු විය යුත්තේ කෙසේද කියා . මම තේරුම් ගත්තා දුක වගේ නොවෙයි සතුට කියන දේ බෙදා ගැනීමේ විවිධ වූ සීමාවන් තියනවා කියලා. කොහොමවුනත් මේ හදිසි සාර්ථකත්වයෙන් පසුව මෙතෙක් නොතිබුණු අගයක් ලැබුණා . කතා බහට ලක් වුණා . විශාල පිරිසක් මා වටා එකතු වුණා . ඒ වගේම ක්ෂේත්‍රය පිළිබඳ නොයෙක් දේ මා වටහා ගත්තා. මේ කියන U – TURN එක ඇති වුණේ ජීවිතයේ මැදි වයසට ලඟා වෙමින් තිබියදී නිසා මම ඒ ගැන වඩාත් සතුටු වෙනවා. මේ සාර්ථකත්වය මා තරුණ වියේදී ලැබුවා නම් එය දරා ගන්නට නොහැකි වේවි. පොත් හය හතක් ලියලා , පොත් ලිවිම ජීවිතයට වැදගත් නැතැයි සිතුනු මොහොතක තමයි සාර්ථකත්වය ලැබුණේ . ඒ වගේම මා විශ්වාස කරනවා අයෙකුට යම් ස්ථාවරත්වයකට පැමිණෙන්න හැකි වුණත් , වඩා අපහසු වන්නේ ඒ ස්ථාවරත්වයේ වසර කීපයක් රැඳී සිටීමයි. පහුගිය වසර තුන ඇතුළත අලෙවිය අතින් අති සාර්ථක පොත් තුනක් එළි දක්වන්න මට හැකියාව ලැබුණා එය සතුටක්.

මේ දවස් වල සමාජ ජාල පුරාම වාගේ D අකුරක් ගැන කතා වෙනවා ඇහෙනවා. ඒ D අකුර ගැන රස – රහස් එහෙමම තිබියදී යමක් කියන්නට හැකිනම් අගෙයි …

ඩයනා කුමරියට ඇගේ මිතුරියන් කතා කෙරුවේ D කියලා. ඩයනා කුමරියගේ මරණය ගැන නවකතාවක් ලිවීමේ අදහස ඉතා දිගු කළෙක පටන් මගේ හිතේ තිබුණා . එය පහළොස් වසරකට වැඩි කාලයක් පුරා දිව යන්නක්. ඇගේ ජීවිතය හෝ මරණය අලලා ලෝකයේ සාහිත්‍යයේ නවකතාවක් බිහිව නැහැ. ඔබට මතක ඇති බියුරෝ පොත සමග පාඨකයාට ලියුමක් ලබා දීමෙන් පොතේ අවසන් කෙරුවා. ඉන් පසුව දෙවැනි ගැහැනිය පොතේ අවසානය තියෙන්නේ පසුපිටේ ඇති වයින් බෝතලයේ. පොතක් තුළට එකතු කළ මේ සංකල්ප දෙක ලොවේ කොතැනකවත් සිදුව නැහැ. ඒ වගේම තමයි ඩයනා කුමරියගේ මරණය සහ සමග බැඳුනු අභිරහසේ කතාව කිසි තැනක නවකතාවක් බවට පත්ව නැහැ.

සාහිත්‍යකරණයට අද වන විට වාණිජ හරඹයක් එක්ක අත්වැල් බැඳගෙන බැඳගෙන යන්නටම සිදුවෙලා තියෙනවා ඒ ගැන යම් නිදහසට කරුණක් කියන්නට තියෙනවද …

මම හිතන්නේ නැහැ කිසිම නිදහසට කරුණක් කිව යුතුයි කියලා. පොතක් කියන්නේ නිෂ්පාදිත භාණ්ඩයක්. එහි නිෂ්පාදකයින් වන ප්‍රකාශකයා සහ ලේඛකයා උත්සාහ කළ යුතුයි පොත අලෙවි කර ගන්න. මේ දෙදෙනාගේම ස්ථාවරය රැදී තියෙන්නේ අලෙවිය මත. හැම ලේඛකයාම කැමතියි තමන්ගේ පොත් වලින් මුදලක් උපයා ගන්න. සාහිත්‍යය කියන්නේ ව්‍යපාරයක්. ඒ ව්‍යාපාරය නිසා දිවි රැක ගන්න අති විශාල පිරිසක් ඉන්නවා. මේ නිසා පොත් කියන භාණ්ඩය අලෙවි කර ගන්න වාණිජ හරඹයත් එක්ක අත්වැල් බැඳ ගන්න සිදුවීම පුදුමයට පත් විය යුතු දෙයක් නෙමෙයි. පොත් සදහා කෙරෙන ප්‍රචාරණය , වෙළඳ ප්‍රවර්ධන ක්‍රම සාහිත්‍යය නැමති ව්‍යාපාරයට අති වැදගත්. ගැටලුව විදිහට මම දකින්නේ ලංකාවේ පාඨකයා මේ කරුණ කෙරෙහි තවම බලන්නේ වෙනස් ඇහැකින් වීමයි. ඇතමුන් සිතනවා පොතක් වෙනුවෙන් ප්‍රචාරයක් ලබා දුන්නාම එය බාල වර්ගයේ පොතක් බවට පත් වෙනවා කියලා . අනෙක් කාරණය තමයි පොත් අද දවසේ වාණිජකරණයට ලක් වෙලා තියෙන්නේ සමාජ ජාල වල විතරයි. අපේ රටේ ප්‍රකාශකයෝ තමන්ගේ පොත් වලට ප්‍රචාරණය ලබා දෙන්නේ වැඩි වශයෙන්ම මුහුණු පොත තුළින් . ලංකාවේ ප්‍රකාශකයෝ හැමෝම වගේ ගන්න මිසක් දෙන්න දන්නේ නැහැ. අලෙවි වන පොත් වලින් එන හැම සතයක්ම ඔවුන් සාක්කුවට දමා ගන්නවා හැරෙන්න පොත් වලට වියදම් කරන්න ඔවුන් කැමති නැහැ. මම ජීවත් වන ප්‍රංශය වගේ රටක පොත් කියන්නේ තවත් එක් අලෙවි භාණ්ඩයක්. එහි ප්‍රචාරණය වෙනුවෙන් නොයෙක් උපක්‍රම ප්‍රකාශකයින් භාවිතා කරනවා. අපේ රටේ තියෙන්නේ කුඩා වෙළඳ පොළක් නිසා මේ කාර්යය තරමක් සංකීර්ණ විය හැකියි. කොහොම වුණත් මම හිතනවා අද තියන තත්වයටත් වඩා පොත් කියන දේ වානිජකරණයට ලක් විය යුතුයි කියලා..

බොහෝ දෙනා ම හඳුන්වන්නට පටන් ගෙන ඇත්තේ ” ඉන්ද්‍රජාලිකයෙකු” ලෙස. මේ ඉන්ද්‍රජාලික අදහස් ඉබේම මතු වෙනවද එහෙම නැත්නම් ඔබ ආයාසයෙන් ඒවා ගොඩනඟා ගන්නවාද ?

මම ඉන්ද්‍රජාලිකයෙකු නොවෙයි. සාහිත්‍යයේ ඉන්ද්‍රජාලිකයින් මම දැක තියනවා. ඇතැම් ලේඛකයින් ලියන ආකාරය දැක්කාම ඔවුන් සාමාන්‍ය මිනිසුන් විය නොහැකි යැයි හිතෙන තරමට ඔවුන්ගේ වචන ඉන්ද්‍රජාලිකයි. ප්‍රංශ ජාතික මහා ගත්කරු එමිල් සෝලා මියගොස් සැප්තැම්බර් 29 වැනිදාට වසර 120 ක් පිරෙනවා. පැරිසියේ ඔහුගේ නිවස අසළට ගොස් මල් කළඹක් තියන්න මම හිතාගෙන ඉන්නේ ඔහු ඉන්ද්‍රජාලිකයෙක් ලෙස මම දකින නිසයි. ඔහු මලක් ගැන විස්තර කරන කොට මලේ සුවඳ අපිට දැනෙනවා. පැරිසියේ මුඩුක්කු ගැන විස්තර කරද්දී මුත්‍රා ගඳ අපිට දැනෙනවා. ඒ තමයි ඉන්ද්‍රජාලික ලේඛකයින්ගේ වැඩ. රුෂ්ඩි , පමුක්, මැක් එවෙන්, කිංග් වැනි අය තමයි සැබෑ ඉන්ද්‍රජාලිකයින් වන්නේ. කොහොමවුනත් වාසනාවකට වගේ කොහේදෝ සිට මගේ මනසට නොයෙක් අදහස් එනවා. ලියන්න වාඩි ගත්තාම ඒ අදහස් නොකඩවා සුදු කඩදාසිය මත පතිත වෙනවා. අදහසක් මනසට එන්නේ කොහොමද , එය සුදු කඩදාසියක් මතට පත් වෙලා කාලයාගේ අවෑමෙන් නවකතාවක් වන්නේ කොහොමද කියන සාහිත්‍යමය ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේදැයි මම දන්නේ නැහැ. කිසිම ලේඛකයෙක් දැනගෙන ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. සත්‍ය වශයෙන්ම එය තමා සාහිත්‍යය කියන මේ කලාවේ තියන අරුමය. අභිරහස . හැම පොතක් පසුපසම තියෙනවා එහි ලේඛකයා නොදන්නා අභිරහසක්. මගේ පොත් වලට එසේත් නැතිනම් කෙටිකතා වලට මුල් අදහස ආවේ කොහෙන්ද කියා මම දන්නේ නැහැ. බොහෝ වෙලාවට මා නිදා ගන්නේ පැය පහක් හෝ හයක්. එයත් බොහොම කරදරකාරී නින්දක්. සිහින දැකීම මගේ දෛනික ජීවිතයේ එක් අංගයක් වගේ. මේ දකින සිහින බොහෝ විට පොත් වල ජවනිකා වලට පෙරළෙනවා .”බියුරෝ ” කියන්නේ නපුරු සිහිනයක් මතින් ලියපු නවකතාවක්. අදහස් කියන දේ නොයෙක් ආකාරයෙන් , බලාපොරොත්තු නැති අවස්ථාවල දී මනසට ඇතුල් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක ලේඛකයෙක් දැන ගත යුතුයි වැදගත් දේ සහ නොවැදගත් දේ තෝරා බේරා සටහන් කර ගන්න.

සැහැල්ලු ප්‍රශ්නයකින් මේ කතාබහ ඉවර කරන්නම්. බොහෝ දෙනා කැමතියි තමන් ප්‍රිය කරන ලේඛකයාගේ ලේඛන චරියාව, ලේඛන හුරුපුරුදු ගැන දැනගන්නට. මොකක් හෝ නමුත් අපූරු වෙනසක් තියෙනවාද එහි…

ලේඛකයෙක් වැඩියෙන්ම කළ යුත්තේ ලිවිම නොව කියවම යැයි කියලා කතාවක් තියනවා. මේ නිසා මම වැඩියෙන් කරන්නේ කියවන එක. පොත් හෝ වෙනයමක් ලියන දේ මම දමන්නේ දෙවැනි තැනට. කොහොමවුනත් මම දවසට පිටුවක් ලියනවා. ඒ කියන්නේ ලියමින් සිටින පොතේ පිටුවක්. සතියට දවස් පහක් පමණයි. මේ පිටුව ඇතැම් අවස්ථා වල විනාඩි 20 න් ලියන්න පුළුවන්. තවත් විටක මේ පිටුව ලියන්න පැයක පය එකහමාරක කාලයක් ගත වෙන්න පුළුවන්. මම ලියන්නේ අතින්. ඉන් පසුව අතින් ලියූ දේ පරිගණකයට එක කරනවා. ඩිකන්ස් කියා තියනවා අතින් ලියන කොට ලේඛකයා ගේ රුධිරය පෑනේ තීන්ත බවට පත් වෙලා කඩදාසිය මතට පතිත වෙනවා කියලා. පෑන සහ සුදු කඩදාසිය කියන මේ අජීවී වස්තු දෙක මගේ ජීවිතයට සතුට ගෙන එන නිසා පසුගිය වසර හය පුරාම ලියන්නට මා උපයෝගී කර ගත් එකදු කඩදාසියක් හෝ පෑනක් මම කුණු කූඩයට දමා නැහැ. කඩදාසි දහස් ගණනක් සහ පෑන් සිය ගණනක් මා ගබඩා කාමරයේ ගොඩ ගසා තියෙනවා. අනෙක් අතට අතින් ලියන කොට මගේ භාෂාවේ ලස්සන අකුරු එක්ක කල් ගත කරන්න අවස්ථාව මට ලැබෙනවා. ලේඛනකරණය කියන්නේ හුදෙකලා රාජකාරියක්. ඔබේ ප්‍රධානියා ඔබමයි. කිසිවෙකුත් ඔබව පාලනය කරන්න නැති නිසා ඔබ විසින්ම ඔබේ ලිවීම සම්බන්ධයෙන් රීති පද්ධතියක් සූදානම් කර ගත යුතුයි. මා සතුව ඇති , මා අනුගමනය කරන එකම රීතිය තමයි දිනකට එක පිටුවක් ලිවීමේ පුරුද්ද. දිනකට එක පිටුවක් කියන්නේ මසකට පිටු 25 ක් . මාස හයකට පිටු 150. ටයිප් කරපු පිටු 150 ක් කියන්නේ පිටු 300 ක තරම් වන නවකතාවක්.

සංවාදය : පාලිත ජයකොඩ
උපුටාගැනීම : the colombo post

 

Social Sharing
අවකාශය නවතම