ශ්‍රී ලංකාව යනු අරගල භූමියකි. අරගලයක් නොමැතිව ගෙවී ගිය වසරක් පිළිබදව මතකයට නගා ගැනීමට පවා අපට අපහසුය. උද්ඝෝෂණ, පිකටින්, පෙළපාලි, සත්‍යග්‍රහ, උපවාස සිට මාරාන්තික උපවාස දක්වාත්, සංකේත වැඩ වර්ජන, වැඩ වර්ජන හා අඛන්ඩ වැඩ වර්ජනයේ සිට සමස්ත මහා වැඩ වර්ජන දක්වාත්, විවිධාකාරයේ අරගල අපට නොඅඩුව තිබුනි.
දේශපාලන පක්ෂ, කැරලිකරුවන්, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, සිවිල් සංවිධාන හෝ වෙනත් විවිධාකාරයේ කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලැබූ අරගලවලින් අපි ස්වයංපෝෂිත වූවාය. මේ අතරින් අපට කිසිදා අමතක කළ නොහැකි ආකාරයේ අරගලයන් මතකයේ තිබේ. ඒ අතරින් 1971 ඇරඹි දකුණේ තරුණයන්ගේ සන්නද්ධ අරගලය, 1980 මහා වැඩවර්ජනය, 1988/89 කාලයේ පැවති දකුණේ තරුණයන්ගේ දෙවැනි සන්නද්ධ අරගලය, 1980 සිට 2009 දක්වා උතුරු නැගෙනහිරින් ආරම්භ වී පසුව මුළු රට වෙලාගත් තිස් අවුරුදු සිවිල් යුද්ධයන් හේතුවෙන් ශ්‍රී ලංකාව යනු අරගලකරුවන්ගේම භූමියක් බවට ලොකප්ප්‍රකට විය.
මෙම බොහෝ අරගලයන් අපේ දේශපාලන ක්‍රමයේත්, රාජ්‍ය යන්ත්‍රයේ පවතින බරපතල දුර්වලතා හේතුවෙන් ඇති වූ ෛඑන්ද්‍රීය සාධක මත ඇරඹී තිබුනි. නමුත්, මින් බොහොමයක් විවිධ දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රයන් හා ඔවුන්ගේ විවිධ ඔනෑ එපාකම් මත සිදු වූ ඒවා විය. මෙම අරගලයන් සදහා ජන ප්‍රසාදයක් ලබා ගැනීමට නොහැකි වූ නිසා පැවති රජයන් විසින් ඒවා ඉතා කෲර ලෙස මර්දනය කරනු ලැබුහ. නමුත් උතුරේ පැවති අරගලය සදහා සැලකිය යුතු ජන ප්‍රසාදයක් ඒ ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබීම නිසා එය මර්ධනය කිරීම එතරම් පහසු නොවීය. ඒ නිසාම එය තිස් අවුරුදු යුද්ධයක් දක්වා වර්ධනය විය. දකුණේ ජීවත් වූ සියළුම ජාතීන්ගේ බහුතර සහායත්, ජාත්‍යන්තර සහායත් නොලැබෙන්නට එම අරගලය තවමත් පැවතීමට බොහෝ ඉඩ තිබුනි.
මේ සියළු අරගලයන් හි අත්දැකීම්වලින් එහා ගිය අරගලයක් පසුගිය අප්‍රේල් 09 වන දා ආරම්භ විය. එය පැරණි අරගලයන්ගේ අත්දැකීම් මතින් ඇරඹි අලුත් පන්නයේ ම අරගලයක් විය. GOTAGOHOME, යන ඉංග්‍රීසි පාඨය යටතේ ඇරඹි මෙම අරගලය සදහා මධ්‍යම පාන්තික තරුණ තරුණියන්, ව්‍යාපාරිකයින් හා වෘත්තිකයින් හා ලිබරල්වාදීන්ගේ මූලිකත්වය ගෙන ආරම්භ කළ මෙම අරගලයට ආදරයේ අරගලය ලෙස නම වැටුනි.
එතෙක් පැවති සම්ප්‍රදායික වෘත්තීය සමිති හෝ පක්ෂ දේශපාලන සංස්කෘතියෙන් එහා ගිය හා එම පක්ෂ හෝ වෘත්තීය සමිති දේශපාලන ආධිපත්‍යයෙන් තොරව ආරම්භ වූ මෙම ආදරයේ අරගලයට මූල් අවස්ථාවේ කිසිදු දේශපාලන පක්ෂකයක් හෝ වෘත්තීය සමිතියක් සෘජුව දායක නොවීය. ඒ අතර සමහර පක්ෂ හා වෘත්තීය සමිති නියෝජිතයින් තමුන්ගේ න්‍යාය පත්‍රයන් හා බෝඩ් ලෑලි පසෙක තබා ආදරයේ අරගලයට පැමිණ සිටියාය.
පක්ෂ හා වෘත්තිය සමිති නායකයින්ට මේ ආදරයේ අරගලය පිළිබදව මුලදී නිවැරදි තක්සේරුවක් නොමැති වූ නිසා, ඔවුන් මෙම අරගලය තඹේකට මායිම් නොකලේය. සමහර පක්ෂ නායකයින් එය කොල්ලො කුරුට්ටන්ගේ ආතල් වැඩක් කියමින් ඊට සරදම් කළේය. නමුත් එය දවසේ පැය 24 පුරාවට ක්‍රියාත්මක අඛන්ඩ අරගලයක් බවට පත්වීමත්, ක්‍රමයෙන් එහි ජනසහභාගීත්වය වැඩීමත්, ගොල්ෆේස් අරගලයට සහාය පලකරමින් එවැනි තවත් අරගලය භූමි අනෙකුත් ප්‍රදේශවලින් බිහිවීමත් නිසා, සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයන්ට එය බරපතල අභියෝගයක් විය. මෙම අලුත් සංස්කෘතිය රට පුරාම ව්‍යාප්තවීමත් සමගම එතෙක් හොර ගල් අහුලමින් සිටි පක්ෂ හා වෘත්තීය සමිති මීට ඇතුලත් වීම සදහා සැලසුම් කෙළ්ය. එ සදහා තමුන්ගේ පාක්ෂික සමාජිකයින් අති සූක්ෂවම මෙම අරගල භූමින් හි ස්ථානගත කළාය.
මෙම ආදරයේ අරගලය කොපමණ සමාජ ගත වී සාමාන්‍ය මිනිසුන්ගේ හදවතට කිදාබැස තිබුනේ දැයි දැන ගැනීමට හැකි වුයේ පසුගිය මැයි 09 වන දින ඊට එල්ල වූ ප්‍රහාරයත් සමගිනි. රට පුරා පමණක් නොව ලොව පුරා සිටි ශ්‍රී ලංකිකයින් ද ඊට එරෙහිව නැගී සිටියාය. නමුත් මේ තුළට රිංගා සිටි සංවිධානාත්මක පිරිසක් මෙම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කළේ මෙතෙක් අසාර්ථක වූ පැරණි අරගල සංස්කෘතියෙනි. ඒ හේතුවෙන් පුද්ගල ඝාතණ කිහිපයක් සිදු වූ අතර දේශපාලඥයින්ගේ, ව්‍යාපාරිකයින්ගේ මෙන්ම රජයේ දේපල ද රාශියක් ගිනිබත් විය. නමුත් එවැනි ප්‍රතිචාරයක් ආදරයේ අරගලකරුවන් කිසිදා අපේක්ෂා නොකලාය.
මේ ලැබුන නිමේශය, අදාල ඉහත දේශපාලන පක්ෂ විසින් මීට පෙර අරගල භුමිය තුළ ස්ථානගත කර සිටි පක්ෂ ක්‍රියාකාරීන්ගේ ග්‍රහණයට හසුකර ගැනීම සදහා මුලපුරුවාය. එතෙක් පසුබැස සිටි දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති තම දේශපාලන ව්‍යාපෘති ආදරයේ අරගලය තුළට බලහත්කාරයෙන් ඇතුල් කිරීමට අවස්ථාවක් කර ගත්තාය. ඒ හරහා ආදරයේ අරගලය වෙනුවට මෙතෙක් අසාර්ථක වූ අරගල සංස්කෘතිය ආදරයේ අරගලයට ආරෝපනය කළාය.
මේ හේතුවෙන් ආදරයේ අරගලකරුවන්ට පිටතින් එන ගැටළු මෙන්ම, අභ්‍යන්තරයෙන් එන ගැටළු සදහා ද මුහුණ දීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය. මේ ප්‍රශ්ණය නිසා ආදරයේ අරගලකරුවන් අරගල භූමියෙන් ඉවත් වූ අවස්ථාවන් ද විය. ඒ හේතුවෙන් ප්‍රධාන පක්ෂ දෙකක ග්‍රහණයට කොටු වූ මෙම ආදරයේ අරගලය එම පක්ෂ දෙකේ දේශපාලන න්‍යාය පත්‍රයන් ක්‍රමයෙන් ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තාය. මේ අතර අරගලයට සහාය පල කිරීමට පැමිණි අනෙකුත් දේපාලඥයින් පන්නා දැමීමටත්, කෲර ලෙස ප්‍රසිද්ධියේ පහර දීමටත්, පසුව එම පක්ෂයන්ට ඇති ශක්තිය පෙන්වීම සදහා විවිධ මන්දිර අත්පත් කර ගැනීමත් දක්වාත් වර්ධනය විය.
නමුත්, මේ සියළු භාදක හා අවහිරතා මධ්‍යයේ ලංකාවේ එතෙක් පැවති පරාජිත අරගල සංස්කෘතිය අවසන් කරමින් GOTAGOHOME ආදරයේ අරගලය ජයග්‍රාහීව අවසන් කිරීමට හැකි විය. එය ලංකාවේ පමණක් නොව ලොව පුරා සිටින අරගලකරුවන්ට අලුත් අත්දැකීමක් ලබා දෙමින් ආදරය මුල්කරගත් අරගලයක් ජයග්‍රහණයකින් කෙලවර කළ හැකි බවට පෙන්වා දුන්නාය.
පිලිප් දිසානායක