මධ්‍යම රාත්‍රියේ ගෝල්ෆේස් ආ රාජ්‍ය ත්‍රස්තවාදියෝ..!

-කේ. සංජීව-

අද (22) හවස ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට පිහිටි විරෝධතා ස්ථානය ඉවත්කරගන්නා බවට අරගලකරුවන් ප්‍රකාශ කර තිබියදී අද (22) අලුයම 1.30ට පමණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සෘජු නියෝගයෙන් ගෝල්ෆේස් පැමිණි පොලිස් එස්ටීඑෆ් ත්‍රිවිද හමුදා ඒකාබද්ධ සේනාංකයක් එම විරෝධතා ස්ථානය වටලා එහි සිටි නිරායුධ විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට අමානුෂික ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප්‍රහාරය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව හා ගුවන් හමුදා භටයින් වැඩි වශයෙන් යොදාගෙන ඇත. කොල්ලුපිටිය දෙසින් ගාලු මුවදොර වටරවුම ආසන්නයෙන් මාර්ගය වසා දමා ඇති අතර ශැන්ග්‍රිලා හෝටලය අසලින් බාලදක්ෂ මාවතද වසා දමා ඇත. කොළඹ කොටුව දෙසින් චෛත්‍ය පාර අසළින් මාර්ගය ද ලෝටස් පාරද වසා දමා මෙම සහාසික සහ නින්ධිත ප්‍රහාරය එල්ලකර ඇත.

මාධ්‍යවේදීන්ට සහාසික ප්‍රහාරයක්

මේ අවස්ථාවේදී මෙම පහරදීම් වාර්තාගත කළ මාධ්‍යවේදීන්ටද හමුදාව ප්‍රහාර එල්ලකර ඇති අතර මරණ තර්ජනයන්ද කර ඇත. මාධ්‍යවේදීන් වන චතුරංග ප්‍රදීප් සහ කසුන් ප්‍රදීප් හමුදාව විසින් පැහැරගෙන ගොස් ඇති අතර පසුව වාර්තා වුණේ ඔවුන් රෝහල් ගතකර ඇති බවයි. එක්ස්පෝෂර් (Xposure) මාධ්‍යවේදීන් වන රසික ගුණවර්ධන, ෂබීර් මොහොමඩ් සහ චතුරංග ප්‍රදීප් කුමාර වාර්තාකරණ කටයුතු සඳහා එම ස්ථානයට ගිය අවස්ථාවේදී කොල්ලුපිටිය මංසන්ධිය අසල රැකවලෙහි නිරතව සිටි ගුවන් හමුදා භට කණ්ඩායමක් විසින් පොලු මුගුරුවලින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙහිදී පහරකෑමට ලක්වූ රසික ගුණවර්ධන, ෂබීර් මොහොමඩ් යන අයට රෝහල්ගත වන්නටද හමුදාව ඉඩදී නැත. මෙම පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන් අතර විදෙස් මාධ්‍ය නියෝජනය කළ අයද වෙන බව දැනගන්නට ඇත. මෙහිදී රණවිරු ආබාධිතයන්ටද පොලීසිය සහ හමුදාව අමානුෂිකව පහරදී ඇත.

අත්අඩංගුවට ගැනීම්

මෙම ප්‍රහාරය පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන පොලීසිය ප්‍රකාශ කරන්නේ මෙම සහාසික ප්‍රහාරයෙන් පසුව සහ එම මෙහෙයුම අතරතුර පුද්ගලයන් 09 දෙනෙක් අත්අඩංගුවට ගන්නට කටයුතු කළ බවය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර නීතීඥ නුවන් බෝපගේ සහ ලහිරු වීරසේකර සිටින බව නිල නොවෙන මට්ටමින් වාර්තා වෙන අතර ලංකා නීතීඥ සංගමය මෙම සහාසික ප්‍රහාරයට සිය විරෝධය දක්වා ඇත.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයෙන් ජනාධිපති බවට පත්වී දිවුරුම් දීමෙන් අනතුරුව පැය 24ක් යන්නටත් මත්තෙන් එල්ලකරනු ලැබූ මේ නින්දිත ප්‍රහාරය පිළිබඳව පුරවැසියන් සිය අවධානය යොමුකළ යුතුය. ජනරජයේ ආරක්ෂාව සඳහා යැයි කියමින් අර්ධ මිලිටරි රාජ්‍යයක් සාදන්නට රනිල් වික්‍රමසිංහ සූදානම් වෙයිනම් එයට පළමු පැයේම විරුද්ධ වීම සම්බුද්ධික පුරවැසියන්ගේ යුතුකම සහ වඟකීමය. වර්තමාන ආර්ථික ගැටලුව වහාම විසඳීම සඳහා පියවර ගැනීම පසෙකලා විරෝධතා මැඬලීම සිය ප්‍රථම රාජකාරිය කරගතහොත් එය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ධුර කාලය ඔහු විසින්ම සීමා කරගත්තා වෙනු ඇත.

 

Social Sharing
Uncategorized නවතම පුවත් විශේෂාංග