21 සංශෝධනය කාගෙද? කා සඳහා ද?

අපේ රටේ ව්‍යවස්ථාවට සංශෝධන 20ක් එකතු මේ වෙනකොට එකතු වෙලා තියනවා. ව්‍යවස්ථාවට සංශෝධන එකතුවෙන එක වැරද්දක් නෙවේ.

දියුණු පාළණ රටාවකට අවශ්‍ය සංශෝධන එකතු කර ගනිමින් අළුත් වෙන එක, දියුණු පරිණාමික ලක්ෂණයක් විදිහටත් සලකන්න පුළුවන්.

නමුත් අපේ රටේ ව්‍යවස්ථාව විසිවරක් සංශෝධනය වෙලා තියෙන්නේ දියුණු දේශපාළණ සංස්කෘතික දිශාවකටම නෙවේ.

මෑත කාලීනව සිදු වුණු ව්‍යවස්ථා සංශෝධන කිහිපය දිහා සැලකිල්ලෙන් බැළුවොත්, මහජන බල කිරීම් මත දියුණු දිශාවකට හැරවෙන සංශෝධන, නැවත බලය ලබා ගන්නා පාර්ශවයේ වුමණාවට ආපස්සට හරවන, නොදියුණු දේශපාළණ සංස්කෘතික ලක්ෂණයක් ඉතා පැහැදිළිව පෙනෙන්නට තිබෙනවා.

17 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලාත්මක වුණු දියුණු ලක්ෂණ කිහිපයක්, අත්තනෝමතික.බලයක් උදෙසා 18න් අහොසිවීමත්, නැවත ජනතා බලයකින් එය 19න් ලබා ගැනීමත්, නැවත 20 මගින් එය උදුරා ගැනීමත් හරහා වරින් වර සිදු වෙමින් පවතිනන්නේ දියුණු දිශානතියකට යෑම, බලය ලබා ගන්නා පාර්ශවය(ක්) විසින් නැවත නැවත උදුරා ගැනීමකි.
ඒ නිසාම 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යණු, එලෙස ජනතාවගෙන් උදුරාගත්, ශිෂ්ඨ සම්පන්න පාළණයකට අත්‍යවශ්‍ය මහජන බලය නැවත ලබා ගැනීමකි.

සමාජ පරිවර්ථනය, ජන අරගලය යථාර්ථයක් කර ගැනීම උදෙසා 21 වෙනි සංශෝධනයේ වැදගත්කම කුමක්ද?

ජන අරගලය කියන්නේ රටේ ඕපපාතිකව ඇතිවුණු එකක් හෝ ගෝල්ෆේස් බිමට විතරක් සීමාවුණු එකක් නොවේ. කලාන්තරයක් තිස්සේ ශිෂ්ඨ දේශපාළණ, සමාජ, ආර්ථික පරිවර්තනයක් ඉල්ල සිටි පුරවැසියන්ගේ අරගලයේ අළුත්ම පරිච්චේදය තමයි ගෝල්ෆේස් බිමේ සංකේතවත් වෙන්නේ.

වර්තමාන ජනාධිපතිවරයා ගෙදර යායුතුයි කියන එක තමයි එහි ප්‍රධාන සටන් පාටය. රාජපක්ෂ ආණ්ඩුව සහ රාජපක්ෂ පාළණය වෙනස්විය යුතුයි කියන එකත් අරගලයේ සටන්පාට අතර ප්‍රධානයි. මේ ජනාධිපතිවරයා එලවලා, රාජපක්ෂ ආණ්ඩුව පන්නලා දැම්මාට පස්සේ සියල්ල යහපත් වෙන බවක් අපි කිසිවෙක් විශ්වාස කරන්නේ නැහැ. ඊලගට පත්වෙන ජනාධිපති සහ ආණ්ඩුවත් එලවලා දාලා අපිට මේ අරගලය ජයග්‍රහණය කරන්නත් බැහැ.
දේශපාළණය ගැන උණන්දුවක් නොදක්වපු, ඒක නොසලකා හැරපු සුහුරු පරම්පරාව ප්‍රමුඛව සිදුවන මේ අරගලයේ අපේක්ෂාව අලුතින් හිතන සමාජ, දේශපාළණ පරිවර්තනයක්. ජාති, ආගම්, කුල, දේශපාළණ පක්ෂ කර ගහගෙන යන්නේ නැති දියුණු, ශිෂ්ඨ සම්පන්න සමාජ පරිවර්ථනයක්.

21 වෙනි සංශෝධනය සම්මත කර ගැනීමෙන් සියළු අපේක්ෂාවන්ට පිළිතුරු ලැබෙනවාද?

කාලාන්තරයක් තිස්සේ කාදනයට ලක් වුණු සමාජ අපේක්ෂා සියල්ල එක්වර පිළිසකර කරන්න අමාරුයි. 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අපි පාවිච්චි කරන්න ඕනේ අපේ අරගලයේ පාදම ලෙස. සමාජ ජයග්‍රහණයේ දොරටුව ලෙස.
කොහොම වුණත් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ අවසාන ව්‍යවස්ථා සංශෝධනය විදිහට සලකලා, අපේ අපේක්ෂාවන් සේරම ඒකේන් කර ගන්න හදන එක මෝඩකමක්. ඒක, 21 ආපස්සට හරවන්න හදන අයගේ උපක්‍රමයක් වෙන්නත් පුළුවන්.

කෙටිකාලීනව වහා වෙනස් කරගත යුතු අපේක්ෂාවන්ට අපි මූලිකත්වය දෙන්න වෙනවා. වැඩි දෙනෙක් එකග කරවා ගත හැකි අවම එකගතාවයන් සැලකිල්ලටගෙන, අඩුම කාලයකදී අපි 21 යාථාර්තයක් කර ගන්න ඕනේ. ඊළග චන්දයේදී කවුරු බලයට අපත් වුවත්, ජනතා අපේක්ෂාවන් නොවෙනස්ව ඉදිරියට ගෙන යෑම අනිවාර්ය කෙරෙන් සංශෝධන වලට අපේ වැඩ් අවධානය යොමු විය යුතුයි.

රටේ දේශපාළණ ක්‍රමය තුල අත්‍යාවශ්‍යයෙන්ම සිදු වියයුතු තව බොහෝ අපේක්ෂාවන් මේ වනවිට පෙළ ගැහිලා තියනවා. ඒ නිසා 21න් පස්සෙත්, අපේ රටේ ව්‍යවස්ථාව ජනතා අපේක්ෂාවන්ට ගැලපෙන පරිදි තවදුරටත් සංශෝධනය කර ගත යුතුයි. නමුත් හැමදාම වුණා වගේ 22 කියලා, 21න් අපි ජයග්‍රහණය කිරීමට අපේක්ෂා කරන වුමණාවන් ආපස්සට හරවන පාළකයින් පත් නොකර ගන්න අපි දැන් සිටම අවධානය යොමුම්කර යුතුයි.

21වෙනි සංශෝධනය ඉදිරිපත් කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පිළිබද සැලකිලිමත් විය යුත්තේ ඇයි?

විසි එක් වෙනි සංශෝධනය කියන්නේ අපේ අරගලයේ සියල්ල නෙවේ. විසි එකෙන් අපි ජයග්‍රහණය තහවුරු කලොත්, 22 හෝ 23 ලෙස ජනතා අපේක්ෂාවන් ඉදිරියට ගෙන යන්න බැරි කමක් නෑ.

රාජපක්ෂ බලය සහ හොල්මන් තියන පාර්ලිමේන්තුවක් තුල සිදු කරන ව්‍යවස්ථා සංශෝධන, කෙටිම්කාලීනව තහවුරු කර ගන්න පුළුවන් වෙන්නේ ඒවා නිත්‍යානුකූලව අභියෝග කරන්න බැරි වුණොත් විතරයි. ඒ නිසා අපි 21ට ඇතුළු කරන්න බලාපොරොත්තු වන සංශෝධන පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පිළිබදව පූර්ව වශයෙන් සැලකිලිමත් වෙන එක වැදගත්.

21 වෙනි සංශෝධනය සදහා ඉදිරිපත් කර ඇති බොහෝ යෝජනාවල “ගෝඨා ගෝ හෝම්” සටන් පාටය දියාරු කර ඇත්තේ ඇයි?

ගෝඨා ගෝ හෝම් කියන්නේ අපේ අරගලයේ ප්‍රධානතම සටන් පාටය. එය ඉටු කර ගන්නා තුරු අරගලය අඛණ්ඩව පවත්වා ගත යුතුයි.

ව්‍යාවස්ථාවෙන් කල නොහැකි බොහෝ දේ, නිරායුධ, අවිහිංසාවාදී අරගලයකින් අපි කරලා තියනවා. ඉතුරු ජයග්‍රහණ ටිකත් රටට ලබා දෙන්න ඒ අරගලයට පුළුවන්.
නමුත් 21වෙනි ව්‍යවස්ථා සංශෝධනයට “ගෝඨා පැන්නීම” හෝ ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම ඇතුලත් කිරීම තුල, එය. පහසුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තුල අභියෝගන් කරන්න අවස්ථාවක් ලැබෙනවා.

මේ මොහොත පහු කරගෙන, තමන්ගේ දේශපාළණ උපක්‍රම දියත් කරන්න කල් යල බලමින් ඉන්න රාජපක්ෂවරුන්ට එය විශාල වාසියක්. ඒ නිසාම ජනමත විචාරණයකට නොගොස් අනුමතකර ගත හැකි ව්‍යවස්ථා සංශෝධන කෙරෙහි අපි මේ වෙලාවේ මූලික අවධානය යොමු කරන්න ඕනේ.
රාජපක්ෂ ජනාධිපතිවරයාව ගෙදර යැවීම හෝ විධායක ජනාධිපතිගේ ඒකාධිපති බලය ඉවත් කිරීමේ සටන්පාටය අපි අතහැරලා කියලා ඉන් කිසිසේත්ම කියැවෙන්නේ නෑ

21 වෙනි සංශෝධනය සහ 22 වෙනි සංශෝධනය ලෙස දැනට ගැස්ට් කර ඇති යෝජනාවලි මොනවාද?

මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 20 ක් ඉදිරිපත් කර ඇති බැවින් ඉන් පසුව ඉදිරිපත් කෙරෙන ව්‍යවස්ථා සංශෝධනය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස සැළකේ කෙසේ නමුත් ඒ සඳහා කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බැවින් එය අනුමත නොවූ එම ව්‍යවස්ථා සංශෝධන යෝජනා 21 හා 22 ව්‍යවස්ථා සංශෝධන යෝජනා ලෙස ගැසට් කර ඇත.

එහිදී, පළමු ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ සමඟි ඩන බලවේගය වූ බැවින් එය 21 වැනි ව්‍යවස්ථා සංශෝධණ යෝජනාව ලෙසත් ඉන් අනතුරුව ව්‍යවස්ථා සංශෝධණ යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ යෝජනාව 22 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ලෙසත් සැළකේ.
ව්‍යවස්ථා සංශෝධනය හා ව්‍යවස්ථා සංශෝධන යෝජනාව යන්න පටලවා ගත යුතු නොවන අතර ඉදිරියේදී පාර්ලිමේන්තුව තුල අනුමත වන ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස සැළකේ.

ජන මත විචාරණයකින් තොරව, 21 වෙනි සංශෝධනය කල නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දුන් බව ඇත්තද?

21 වැනි ව්‍යවස්ථා සංශෝධණ යෝජනාවලියට සමඟි ජන බලවේගය විසින් ඉදිරිපත් කල යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණය තුල අභියෝගයට ලක්වූ අතර එම යෝජනාව තුල ජනාධිපති ධූරය අහෝසි කිරීම යෝජනා කර තිබූ බැවින් එම ව්‍යවස්ථා සංශෝධණය සිදු කරනු ලබන්නේ නම් ඊට ජනමත විචාරණයකින් බලය ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කලේය.

නමුත් සමඟි ජන බලවේගය ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා යෝජනාව එක් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් පමණක් වන බැවින් අනෙකුත් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ බාධාවක් නොමැත. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය තුල නීත්‍යානූකූලව අභියෝගයට ලක් කල නොහැකි සංශෝධන පමණක් 21 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ලෙස ඉදිරිපත් කිරීමේ වැදගත්කම මෙම තීන්දුව මඟින් තහවුරු වේ.

ආර්ථික අර්බුධය නිර්මාණය වෙන්න 20 බලපෑවේ කොහොමද?

රට තුල දැනට පවතින අර්බුධය ආර්ථික අර්බුධයක් ලෙස අපට දැනෙන්නට තිබුනද එය නිර්මාණය වන්නේ දේශපාලන, කළමණාකරන අර්බුධයක් හේතුවෙනි. පසුගිය වසර කිහිපය තුල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ ඇතැම් අත්තනෝමතික තීන්දු සහ රාජපක්ෂ රජය විසින් ක්‍රියාත්මක කරන ලද අවිචාරවත් ආර්ථික ප්‍රතිපත්ති රට තුල ආර්ථික අර්බුධයක් නිර්මාණය කිරීමට හේතු වූ බව මේ වන විට මුළු ලෝකයම පිළිගන්නා තත්ත්වයකි.

එක් පුද්ගලයෙකුට හෝ කල්ලියකට බලය කේන්ද්‍රගතවීම හරහා එම කල්ලිය හෝ පුද්ගලයා ගනු ලබන අත්තනෝමතික, අවිචාරවත් තීන්දු හේතුවෙන් රටක් සහ සමස්ථ මහජනතාව අමාරුවේ දැමිය හැකි බව දැන් අප අද්දැක ඇත. ඊට තදාසන්නම හේතුව ව්‍යවස්ථාව තුල එවන් බලයක් සංකේන්ද්‍ර කරගත හැකි වීම සහ එවන් අවිචාරවත් හැසිරීමක් සුජාතකරණය කර ගැනීමට හැකි වීමයි.
ඒ නිසාම ක්‍රමය මත පදනම් වූ ශිස්ඨ සම්පන්න දියුණු පාලන ක්‍රමයක් ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලාංකීය ව්‍යවස්ථාවේ පවතින මූලික අඩුපාඩු සකස් කර ගැනීම අත්‍යාවශ්‍යයෙන්ම සිදු කල යුතුය.

පුද්ගලයෙකු එලවා තව පුද්ගලයෙකුගෙන් රටේ මහජනාතාවගේ අපේක්ෂා ඉටු කර ගැනීම අපට තවදුරටත් අපේක්ෂා කල නොහැකි බව තහවුරු වී ඇති නිසා පුද්ගලයාට වඩා ක්‍රමය පිළිබඳ විශ්වාසය තබමින් ව්‍යවස්ථාවේ පවතින අඩුපාඩු සංශෝධනය කර ගැනීම අරගලයේ මූලික උවමනාවක් මෙන්ම ජනඅරගලය ජයග්‍රහණය කරවීම උදෙසා අත්‍යාවශ්‍ය සාධකයක් වන්නේද ඒ නිසාය.

ජනාධිපතිට බලතල නැති උනාම රට බෙදෙනවාද?

ඒකාධිපති ජනාධිපති ක්‍රමයක් පවත්වා ගැනීම සඳහා කැසකවන පාර්ශ්වයන් සහ එම බලය උපයෝගී කර ගනිමින් ආර්ථික ඝාතන සිදු කිරීමට කැසකවන පාර්ශ්වයන් එකී ඒකාධිපති බලය රැක ගැනීම සඳහා ජාතිවාදය, දූපත් මානසිකත්වය, ආගම්වාදය භාවිතා කරමින් රටේ මහජනතාව නොමඟ යැවීමට රට බෙදීම වැනි සංකල්ප සඳහා ඒකාධිපති ජනාධිපති ක්‍රමයක් අවැසි බව හඟවන්නට උත්සහ දරති. නමුත් එම ඒකාධිපති ජනාධිලපතිවරු රට බේරාගත් බව කියමින් රට උගසට තබා සින්න වන තුරු හොරකම් කර ඇති බව දැං අපට පැහැදිලිය.

ජනඅරගලයේ පෙර ගමන්කරුවන් වන රටේ සුහුරු පරම්පරාව දියුණු මානව ලක්ෂණ පෙරට ගෙන එමින් එකී ගෝත්‍රවාදී සටන් පාඨ වලට තිත තබා ඇති බැවින් අනාගතයේදී එවන් බාල දේශපාලන උපක්‍රම කිසිසේතුම යතාර්ථයක් නොවනු ඇත. එනයින් රටක් ලෙස නැඟිටීමට අපට අවශ්‍ය නම් සියළු භේදයන් පසෙකලා පුරවැසියන් එක අරමුණකට එකතු කල හැකි පාලන යාන්ත්‍රණයක් රට තුල ක්‍රියාත්මක කිරීම උදෙසා ජන අරගලයේ පණිවිඩය මෙන්ම අප ලබා ඇති අත්දැකීම් භාවිතයට ගත යුතුව ඇත.

21 සම්මත වීමෙන් ආර්ථික ගටලු විසඳෙනවාද?

ශ්‍රී ලංකාව තුල පවතින ආර්ථික ගැටළුවේ පිටුපසින් ඇත්තේ දේශපාලන අර්බුධයකි අවිචාරවත් ලෙස ණය ලබා ගනිමින් හා ඒවා ගෙවා දමන ක්‍රමයක් පිළිබඳව සැළසුමක් නොමැතිව හොරකම් කිරීම සඳහා පාලන බලය මෙහෙයවූ තත්වයක් යටතේ ඇතිවූ ආර්ථික අර්බුධයකි. ඉතා සැළසුම් සහගත ආර්ථික ක්‍රමයක් භාවිතා කරමින් මහජන බදු මුදල් හරහා උපයාගන්නා ධනයෙන් රටක් විසින් තවත් රටකට ණය මුදල් ලබා දෙනු ලබන්නේ ඒවා අරමුණු වලින් බැහැරව වියදම් කර හෝ සොරා ගනිමින් නාස්ති කිරීමට නොවන්නේය.

ඔබ හෝ මා විසින් අසීරුවෙන් උපයාගත් මුදලක් ණයට ලබා ගත් පුද්ගලයෙකු එමඟින් සැප පහසු ජීවිතයක් ගත කර අවසානයේදී එම ණය නැවත ගෙවිය නොහැකි බව ඔබට දැනුම් දෙනු ලැබුවහොත් ඔබ කුමක් කරනු ඇත්ද? ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා නියමිත පටිපාටියන්ගෙන් බැහැරව ණය ලබා දුන් රටවලට ප්‍රකාශ කර ඇත්තේද එවන්නකි. එනයින් මෙම ක්‍රමය වෙනස් වූ බව හා රට තුල ශිෂ්ඨ පාලනයක් ඇති කල බව අප විසින් තහවුරු කරන තුරු ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය මෙම අර්බුධය සඳහා නොලැබෙනු ඇත. එසේම නාස්තිය දූෂණය අවම කරමින් නිර්මාණශීලී ආර්ථික ප්‍රතිපත්තියකට මෙම ක්‍රමය තුල යාමට නොහැකි බව අප පසක් ගෙන ඇත. එනයින් සියළු ගැටළු සඳහා රටතුල ශිෂ්ඨ සම්පන්න දේශපාලන පරිවර්තනයක් සිදු කිරීම සහ එසේ සිදුවූ බව ලෝකයට පැවසීම අත්‍යාවශ්‍යය.

මහින්ද රාජපක්ෂ වෙනුවට රනිල් වික්‍රමසිංහ ජන අරගලයේ අපේක්ෂාවක්ද?

වර්තමාන අගමැතිවරයා හෝ ඔහුගේ පාලනය කිසිසේත්ම රටේ පවතින ජන අරගලයේ අභිලාශය හෝ බලාපොරොත්තුව නොවේ.

නමුත් ඔහු අගමැතිධුරයට ඔසවා තැබෙන්නේ එම අරගලයේ ප්‍රතිඵලයක් ලෙසය. එනයින් එම ජනතා අභිලාශය ඉටු කිරීම සහ ඊට අදාල සැළසුම් ක්‍රියාත්මක කිරීම වර්තමාන අගමැතිවරයා සහ ආණ්ඩුවේ ඒකායන අභිලාශය බව රටට තහවුරු වියයුතුය.

ඒ වෙනුවට රාජපක්ෂවරුන් සමඟ දේශපාලන කුමන්ත්‍රණ සිදු කරමින් බලය රඳවා ගැනීම එකම අපේක්ෂාව කර ගනු ලැබුවහොත් එය වර්තමාන අගමැතිවරයා සිදු කරන අවසාන දේශපාලන වරද වනු ඇත. මේ මොහොත තුල රාජපක්ෂ පාලනය වෙනුවට කවුරුන් බලයට පත් වුවද ඔහුට හෝ ඇයට රටේ මහජනතාව විසින් පවරා ඇති වගකීමක් ඇත. එය වනාහී ඉතා කෙටි කාලයක් ඇතුලත අවම වශයෙන් රටේ පීඩිත ජනතාවට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් තහවුරු කරමින් අත්‍යාවශ්‍ය වූ නව්‍ය දේශපාලන පරිවර්තනයක් සඳහා අවැසි ඉඩකඩ සකස් කිරීමයි.

එහිදී අප යලි දියෙසෙන් කුමාරවරුන් හෝ ඓශ්චර්ය මවන්නන් පිළිබඳව කිසිසේත්ම විශ්වාසය නොතබන අතර අප රනිල් රනිල් වික්‍රමසිංහගෙන්ද ඒ වෙනුවට හෙට පත්විය හැකි ඕනෑම කෙනෙකුගෙන්ද බලා පොරොත්තු වන අවම යුතුකම ක්‍රමය වෙනස් කිරීම සඳහා ඔහුගේ වැඩපිළිවෙල සහ ඊට අදාල වගකීම වගවීම සහ කාලරාමුව පමණි

Ravi Kumudesh

රවී කුමුදේශ්
සම කැඳවුම්කරු
මහජන සභාව

Social Sharing
නවතම විශේෂාංග