මිනිස්සු රට අත ඇරලා යනවා නම් ඒක සෞභාග්‍යයේ දැක්ම නෙවෙයි, රටේ කාළකණ්ණිකම – මහචාර්ය සිරිමල් අබේරත්න

People leaving the country is a crisis - Prof. Sirimal Abeyratne

‘අලුත් කතාබහ’ නැමති සමාජ කතිකාව පුරවැසියා වෙත සක්‍රීයව ගෙනයෑමේ අරමුණෙන් එහි වෙබ් අඩවිය ‘බිහිදොර’ දියත් කිරීමේ වැඩසටහන පසුගිය 13 දා කොළඹ ජානකී හෝටලයේදී සිදුවුණ අතර එහිදී රටේ වර්තමාන ආර්ථික තත්ත්වය ගැන කෙටි දෙසුමක් පවත්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා අදහස් දැක්වූ අතර මේ එහි සාරාංශයකි.

ආර්ථික විද්‍යාව ගැන කතා කිරීමේ දී සියලුදෙනාගේම ප්‍රයෝගික ජීවිතය හා සම්බන්ධ විද්‍යාව තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. ඒකයි එම විෂය සමාජ විද්‍යා ගොඩට වැටෙන්නේ. ඕනෑම මනුස්සයෙකුට ආර්ථික විද්‍යාව ගැන ප්‍රශ්නයක් යොමුකරොත් තමන්ගේ ප්‍රයෝගික ජීවිතය දිහා බලලා පිළිතුරු ලබාදෙන්න දන්නවා.

වර්ථමානයේ අපේ රටේ ආර්ථික තත්වය දිහා බැලුවාම තේරෙනවා සෑහෙන ලොකු අර්බුදයකට අපි මුහුණ දීලා සිටින බව, එය අපේ ඇඟට තදින්ම දැනෙන කාරණයක් වෙලා තියනවා. රැකියා හිඟය, වෙළඳපොළ භාණ්ඩ හිඟය, භාණ්ඩවල මිල ඉහළ යෑම ජනතාවට දරාගන්න නොහැකි වෙලා තියනවා.
මේ ගැටලුවලට විසඳුම් ලෙස මිනිස්සු විශාල වශයෙන් වෙනත් රටවල් කරා සංක්‍රමණය වෙනවා මෙයින් බහුතරයක් තරුණයෝ. ඒ හේතුවෙන් අපේ රටේ ශ්‍රම බලකාය ඉතාම අඩු මට්ටමකට වැටෙනවා. ලංකාවේ ශ්‍රම බලකායෙන් මිලියන 8 1/2ක් රැකියා වල නිරත වෙනවා. නමුත් එයින් බහුතරයක් තමන්ගේ හැකියාවට සුදුසු රැකියාවක් නැති අය, මේකත් හේතුවෙනවා මේ පිරිස වෙනත් රටවල් කරා සංක්‍රමණය වෙන්න. ඉතින් මොවුන් රට අත ඇරලා යන්නේ සෞභාග්‍යයේ දැක්ම නිසා නෙවෙයි රටේ තිබෙන කාළකණ්නිකමට.

ඒ වගේම මේ වන විට රටේ ඩොලර් සංචිත ප්‍රමාණය හිඳීගොස් තිබෙනවා. මේකට ප්‍රධානම හේතුව විදේශ විනිමය සොයාදෙන මූලාශ්‍රය ගණන් නොගෙන සිටීම. එනම් අපනයන ආර්ථික ක්‍රමය තුට්ටුවකට මායිම් නොකිරීම. අපේ රටේ අපනයන ආර්ථික ක්‍රමය කොටස් දෙකකට බෙදෙනවා. එකක් සාම්ප්‍රදායික අපනයන ආර්ථිකය, අනෙක සාම්ප්‍රදායික නොවන අපනයන අර්ථිකය. මේ සාම්ප්‍රදායික නොවන අපනයන ක්‍රමය තමයි මේ වන විට රටේ ප්‍රධාන අපනයන ක්‍රමය වෙලා තියෙන්නේ. එනම් ලංකාවේ ආර්ථිකයෙන් 50%ක් ඇඟලුම් නිෂ්පාදන ඔස්සේ තමයි අපනයනය සෑදී තිබෙන්නේ. සාම්ප්‍රදායික නොවන අපනයන ක්‍රමයට අයත් වන්නේ තේ, පොල්, රබර් කියන වාණිජ භෝග අපනයන ක්‍රමය.

අපිට මේ මුහුණ දෙන්න සිද්ධවුණේ අහසින් කඩාගෙන වැටුනු ආර්ථික අර්බුදයකට නෙවෙයි. ඔබට මතක නම් 70 වසරෙත් අපි අර්බුදයකට මුහුණ දුන්නා නමුත් එය මෙතරම් කර්කෂ වුණේ නැත්තේ ඒ කාලයේ අපට ණය ගෙවන්න තිබුනේ නැති නිසයි. ඒ වගේම බොහෝ දෙනා විවෘත ආර්ථිකයට බනිනවා, ආර්ථික අහේනියට වගකියන්න ඕනි කියලා නමුත් ලෝකෙ විවෘත ආර්ථිකය වැළඳගත්ත අනෙක් රටවල් සීඝ්‍ර සංවර්ධනයක් කරා ගිහින් තිබෙනවා. එනිසා අප තේරුම් ගන්න ඕනෑ ලංකාවේ විවෘත ආර්ථිකය කඩන් වැටෙන්න බලපෑවේ නීතියේ ආධිපත්‍යයේ සහ රාජ්‍ය පරිපාලනයේ අඩුපාඩු බව.

ඒ වගේම අපේ රටේ ණය බර නිසා විදේශ ආයෝජකයෝ ආයෝජනය කිරීමට පැමිණීම ඉතාම අඩුයි. මොකද 2000 වර්ෂය වන විට සංවර්ධනය වෙමින් පවතින රටවල් කරා ආයෝජකයෝ ඇදී ආවා, නමුත් ලංකාවට ආවේ ඉතාම සුළු පිරිසක් විතරයි. වර්තමාන ආර්ථික අර්බුදය සමඟ ආයෝජකයෝ එන්නෙ නැති තරම්.

මේ ආර්ථික අර්බුදයෙන් ගැලවෙන්න නම් අපේ අපනයන ක්‍රියාවලිය මීට වඩා ක්‍රියාකරීත්වයෙන් නැඟීසිටිය යුතුයි. එසේ නොමැති නම් ණය ගෙවන්න තව ණය අරගෙන සදාකාලික ණයකරුවන් බවට අප පත්වෙනවා නොඅනුමානයි.

Social Sharing

Related posts