රට විරුවන්ගේ කඳුළු මිටියාවත!

රැකියාවන් සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින්ගෙන් 50% කට වැඩි පිරිසක් නැවත ලංකාවට පැමිණිමෙන් පසු පරණ පුරුදු ජීවිතයටම යොමු වන බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. මෙයින් තහවුරු වන්නේ විදේශගත වුවද ඔවුන් නිසි ඵලදායිතාවයක් ලබා නොමැති බවය.

සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ හඬ ( voice of migration ) සංවිධානය විසින් ලංකාවේ සිදු කල සමික්ෂණයකදී මේ බව හෙළිව ඇත. ඔවුන් මෙම සමීක්ෂණය කිරිමේ අරමුණ වුයේ විදෙස්ගත වන පුද්ගලයින්ගේ සුබ සාධනය, ගැටලු, මානසික තත්ත්වයන් පිලිබඳ  ආදී කරුණු කෙරෙහි රජයේ අවධානය යොමු කරවමින් ඔවුන්ට සහන සලසා දීමය.

ගත වු දෙවසරක කාලය දෙස හැරී බැලීමේදි මුළු ලෝකවාසී ජනතාවටම සිදු වුයේ ගෝලීය වසංගතයක් වු කොවිඩ් 19 සමඟ දිවි ගෙවීමටය. මේ නිසා සංක්‍රමණික සේවකයින්ට ද මෙම ත්ත්වයට මුහුණ දීමට සිදු වූහ.

ශ්‍රි ලංකාවට  වැඩිම විදේශ විනිමයක් උපයා දෙන්නේ මේ සංක්‍රමණික සේවකයාය. 2019 ජනාධිපතිවරණයේදී නම් මේ සංක්‍රමණික සේවකයාව හැඳින්වුයේ රට විරුවා කියාය. ඒ රට විරුවාට වර්තමානයේ ඇති පිළිගැනීම ඉතාම කණගාටුදායකය.

ඩොලර් නැතිව ලංකාව ලතවෙන එක් කරුණක් වන්නේ අද වන විට සංක්‍රමණික සේවකයින්ගෙන් මෙරටට ලැබෙන ආදායම සැලකිය යුතු ලෙස පහත වැටීම හේතුවෙනි.

විදෙස්ගත වීමේ අරමුණු

වැඩිම පිරිසක් විදේශගත වන්නේ රැකියා වෙනුවෙනි. ඒ අතරින්ද මැද පෙරගදිග රට වලට වැඩි වශයෙන්ම පිටත් වන්නේ ගෘහ සේවක/ සේවිකා ඇබෑර්තු වෙනුවෙනි.

දුප්පත් පාන්තිකයින්ගේ පවුල් වලින් රට යන මේ පුද්ගලයින්ගේ අරමුණු වන්නේ දැනට ලබන ආදායමට  වඩා වැඩි ආදායමක් ලබා ගැනීම , නව නිවසක් තනා ගැනීම, පවුලේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ආදී අරමුණුය.

ඔවුන්අතර  බොහෝ විට ලංකාවේදී කුලී වැඩ/ මාසික ආදායමක් උපැයු අය මෙන්ම  කිසිදු රැකියාවක් නොකරපු අයද වේ.

උතුරු – නැගෙනහිර තත්ත්වය

විශේෂයෙන්ම උතුරු පළාතේ නම් විදේශගත වන්නේ පිරිමි පාර්ශවයය. කාන්තාවන් විදේශගත වන්නේ මඳ වශයෙනි. ඊට හේතුව වන්නේ යාපනය වැනි ප්‍රදේශ වල පවතින දැඩි සංස්කෘතික, ආගමික ආකල්පය. මේ ප්‍රදේශ වලින් විදේශ ගත වන්නේ සමාජයේ දැඩි කොන් කිරිමකට හෝ පීඩාවකට පත් වු කාන්තාවන්ය. වැදගත් යැයි පැවසෙන කාන්තාවන් රැකියා සඳහා විදේශ ගත වන්නේ නැත.

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය ප්‍රදේශයද යාපනයට දෙවැනි නැත. ද්‍රවිඩ කාන්තාවකට දීග යාමට මුදල් අවශ්‍යය. ඔවුන් විදේශ ගතව රැකියා කර මුදල් උපයාගෙන ලංකාවට පැමිණි පසු ඔවුන්ව විවාහ කර ගැනීමට පිරිමි කැමති නැත. ඒ ඇය අපවිත්‍ර කාන්තාවක් ලෙස හංවඩු ගසමිනි. මුස්ලිම් කාන්තාවටද මෙම ත්ත්වය පොදුය.

මෙම පළාත් වල පුද්ගලයින් රැකියා සඳහා  විදේශ ගත වන්නේ කෙලින්ම රැකියා ඒජන්සි හරහා නොවේය. මන්ද මේ පළාත් වල රැකියා ඒජන්සි ඇත්තේ නැති නිසාය. බොහෝ විට සිදු වන්නේ උප ඒජන්තවරුන් හරහා රැකියා සඳහා පිටත් වීමය. මෙහිදි ඔවුන් සිය නිවස, ඉඩම, රන් ආභරණයක් හෝ උකස් කර මේ සඳහා මුදල් සොයා ගන්නා අතර නැතහොත් පොලියට මුදල් ලබාගෙන රැකියා ඒජන්සිකරුට ගෙවා විදෙස්ගත වේ.

රැකියා ඒජන්සි

ඇතැම් විට සංක්‍රමණික සේවකයින් මේ රැකියා සඳහා පිටත්වන ඒජන්සි රජයේ ලියාපදිංචි නීත්‍යානුකූල ඒවා නොවන්නේය. ඔවුන් මෙවැනි ඒජන්සි හරහා ගොස් ඇතැම් විට මිනිස් ජාවාරම්කරුවන්ට හසු වේ. නැතහොත් වැටුප් සොරකම් වලට ලක් වේ. එසේත් නැතිනම් විවිධ තාඩන, පීඩන වලට ලක් වේ.

ලංකාවේ වැඩිම විදෙස් රැකියා ඒජන්සි ප්‍රමාණයක් ඇත්තේ කොළඹ හා කුරුනෑගල දිස්ත්‍රික්ක වලය. මෙවායෙන් හරි අඩක්ම රජයේ ලියාපදිංචි වු රැකියා ඒජන්සි නොවන්නේය. බොහෝ විට ඇතැම් ඒජන්සි වලින් කෙරෙන්නේ මිනිස් ජාවාරම හා වැටුප් සොරකමය.

සංක්‍රමණික සේවකයින්ට හිංසන

crisis-of-migrant-workers-sri-lanka

මේ රට විරුවන්ට සිදු වන තාඩන, පීඩන ගැන කථා කිරිමේදි පහුගියදා පකිස්ථානයේදි ගිනි තබා ඝාතනය කල ප්‍රියන්ත කුමාරගේ සිදුවීම ආසන්නතම සිද්ධිය ලෙස සැලකිය හැකිය.

එමෙන්ම මීට දස වසරකට පමණ ඉහතදී කුරුණෑගල විදෙස් රැකියා ඒජන්සියකින් මැදපෙරදිගට පිටත් වු කාන්තාවක් මෙරට ප්‍රධානම ගුවන්තොටුපල වු කටුනායක ජත්‍යන්තර ගුවන්තොටුපලේදි දුෂණයට ලක් වු සිද්ධියද මෙහිදි අපට අමතක කළ නොහැක.

එසේම මේ අතරතුර රැකියා ස්ථාන වලින් සිදු වු විවිධ අඩත්තේට්ටම් නිසා සදාකාලිකව මෙන්ම, අර්ධ වශයෙන් ආබාධිතව මෙරටට පැමිණි පිරිසද මෙහිදි අපට අමතක කළ නොහැක.

විශේෂයෙන්ම ගෝලීය කොවිඩ් වංසගත සමය තුල සංක්‍රමණික සේවකයින් රැසක් නිසි ප්‍රතිකාර නොමැතිව පීඩාවට පත් විය.

එලෙස රෝගී වු සංක්‍රමණික සේවකයින් 143 ක් කොවිඩ් ආසාදිතව මිය ගිය බව මේ වන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරි/ ජාත්‍යන්තර කටයුතු මංගල රන්දෙණිය මහතා ප්‍රකාශ කර සිටියි.

එමෙන්ම මේ කොවිඩ් තත්ත්වය නිසා බොහෝ දෙනෙකුට රැකියා අහිමිව ආපසු ඒමට සිදු විය. මෙහිදි ඔවුන්ට ආපසු ඒමට නැවත ලක්ෂ දෙකහමාරකට පමණ ආසන්න මුදලක් වැය වුහ. රජය මඟින් ගෙන්වා ගත්තද නිරෝධායන කටයුතු හා පරික්ෂණ කටයුතු වෙනුවෙන් මුදල් වැය විය.

මංගල රන්දෙණිය මහතා පවසන පරිදි මේ අවන විට ලෙස සංක්‍රමණික සේවකයින් 75000 ක් ගෙන්වා ගෙන ඇත. එසේම රැකියා කොන්ත්‍රාත් කාලය අවසන් වු අයට මාස 06 ක දිගුවක් ලබා දීමට මෙහිදි රජය එම රට වලින් ඉල්ලීම් කර තිබුණි.

මෙහිදි අප අමතක කළ කාරණයක් ඇත. ඒ සංක්‍රමණික සේවකයාට මෙන්ම ඔවුන්ගේ පවුල් වල අයටද ඔහු ඇයගේ ගැටලු නිසා මානසික පීඩාවට පත් වන බවය. සංක්‍රමණික සේවකයාගේ වැටුප් ගැටලු වලදි වැඩි වශයෙන්ම පීඩාවට පත් වන්නේ ඔහුගේ ලංකාවේ සිටින ළඟම ඥාතීන්ය. ඇතැම් විට මාස්පතා ඔහු හෝ ඇය එවන වැටුපෙන් ලංකාවේ සිටින දරුවන්, දෙමාපියන්, බිරිඳ හෝ ස්වාමියා ණය වාරිකයක්, මාසික පන්ති ගාස්තුවක් ගෙවීමට බලා සිටිය හැකිය. වැටුප ප්‍රමාද වුවහොත් පීඩාවට පත් වන්නේ ඔවුන්ය.

මෙම වසරේ පමණක් මේ වන විට එක්ලක්ෂ විසි දහසකට පමණ ආසන්න පිරිසක් නැවත රට ගොස් ඇති අතර එක් ලක්ෂ නව දහස් ගණනකට රැකියා අහිමිව ගොස් ඇති බව විදේශසේවා නියුක්ති කාර්යාංශ දත්ත සඳහන් කර සිටියි.

සංක්‍රමණිකයින් වෙනුවෙන් සංගම්

මේ සංක්‍රමණික සේවකයින් වෙනුවෙන් මේ වන විට ලංකාවේ සංක්‍රමණික සේවක සංගම් පළාත්, දිස්ත්‍රික් මට්ටමින් බිහි වෙමින් ඇත. කොවිඩ් සමයේ නැවත පැමිණි සංක්‍රමණික සේවකයින් ගැන සමීක්ෂණයක් සිදු කරන්නේද මේ සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ සංගමය මගිනි. ඒ රජයේ මේ වනවිටත් නැවත පැමිණි සංක්‍රමණික සේවකයින් පිලිබඳ නිසි ලියාපදිංචියක්, නිසි දත්ත නැති පසුබිමකය. මේ නිසා ඔවුන්ට හිමිවිය යුතු සුබ සාධන සියල්ල අහිමි වී යන්නේය.

අම්පාර, මඩකලපුව, ගාල්ල, යාපනය, නුවරඑළිය යන දිස්ත්‍රික්ක පහ කෙන්ද්‍ර කර ගනිමින් සිදු කළ මෙම සමීක්ෂණයට සංක්‍රමණික සේවකයින් 558 කු සහභාගි කරවාගෙන ඇත. මෙහිදි හෙළි වි ඇති කරුණු අනුව වයස අවුරුදු 50 ට වැඩි අය විදේශ රැකියා සඳහා යමේදි පීඩා වැඩිය. විදේශ ගත විමේදි අනිවාර්යෙන්ම වෘත්තිය කුසලතා ලබා දිමට රජය පියවර ගත යුතුය. නැතහොත් සේවකයාට සිදුවිය හැකි හිංසන  ඉහළ යා හැකිය.

කොවිඩ් සමයේ 26% ක්ම ලංකාවය පැමිණ ඇත්තේ සිය රැකියා කොන්ත්‍රාත්තුව නිමා කරමිනි. ඉන් වැඩිම පිරිසක් පිරිමි පුද්ගලයින්ය. ලංකාවට එවීමේදි 51% ක්ම එවා ඇත්තේ එරට සේවා යොජකයා විසිනි. රජයෙන් ගෙන්වා ඇත්තේ 10%  කි. එසේ පැමිණි 50% කට තවමත් රැකියාවක් නොමැත. නැවත රට යාමේ අරමුණෙන් සිටින්නේ 50% කටත් අඩු පිරිසකි.

මෙහිදි හෙළි වි ඇති තවත් කරුණක් වන්නේ මේ සියලු දෙනා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශ්වාස කර විදෙස් ගත වුවත් ඔවුන්ට නිසි රැකවරණයක් ඉන් ලැබී නොමැති බවය.

ලියාපදිංචියක් නැහැ

මේ සංගමය මෙලෙස සංක්‍රමණික සේවක ප්‍රජාවගේ තොරතුරු සොයා බැලුවද තවමත් මේ සංගම් රජයේ ලියාපදිංචි කිරිමට රජය පියවර ගෙන නැත. ආරක්ෂිත, විධිමත් සහ නිත්‍ය සංක්‍රමණය සඳහා වන ගෝලීය සම්මුතිය අනුව තවමත් සංක්‍රමණික සේවකයාට රැකවරණයක් ලැබෙන්නේ නැත.

මේ නිසාම පහුගියදා සංක්‍රමණික ශ්‍රමික සේවක සංගම් හා සිවිල් සංවිධාන, වෘත්තිය සමිති එක්ව රජයට සංදේශයක් බාර දෙමින් ඉල්ලා සිටියේ මේ සංගම් ලියාපදිංචි කර සංක්‍රමණික ශ්‍රමිකයින් වෙනුවෙන් ඇති ප්‍රතිපත්ති සහ නිර්දේශ සැලකිල්ලට ගනිමින් සදාචාරාත්මක ලෙස රට විරුවාට පිළිගැනිමක්, සුබ සාධනයක් සලසන ලෙසය.

( කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේ ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සමරමින් පැවති දෙදින වැඩමුලුව ඇසුරින් මෙම ලිපිය සකසන ලදි)

-ශානිකා මාධවී-

Social Sharing
නවතම විශේෂාංග