මානව හිමිකම් සුරැකීමට වැටබඳින දරිද්‍රතාවය

දරිද්‍රතාවය නැතහොත් දුගීබව, නූතන ලෝකයේ වඩාත්ම බලගතු සමාජ ආර්ථික අභියෝගවලින් එකකි. ලෝක බැංකු වාර්තාවලට අනුව, 2025 වර්ෂයේදී ලෝක ජනගහනයෙන් මිලියන 831ක් දිනකට ඩොලර් තුනකට වඩා අඩුවෙන් උපයයි. නමුත් දුගීබව අඩු ආදායම් මට්ටමින් ඔබ්බට ගිය බහුමානීය තත්ත්වයකි. එම නිසාම දරිද්‍රතාවයට පොදු නිර්වචනයක් ගෙන ඒම අපහසුය. ලෝක බැංකුව දරිද්‍රතාවය හඳුන්වන්නේ “යහපැවැත්මේ පැහැදිලි හිඟතාවය” ලෙසයි. පුද්ගල යහපැවැත්ම යනු, පුද්ගලයෙකුගේ ජීවිතය කොතරම් හොඳින් පවත්වාගෙන යනවාද යන්න මැනබැලීමයි. එය ශාරීරිකව, මානසිකව, චිත්තවේගීව හෝ සමාජීය වශයෙන් වියහැකිය.

මානව හිමිකම් සහ දරිද්‍රතාවය

මිනිසුන්ට ප්‍රමාණවත් ආදායමක් නොමැති විට, බොහෝ විට ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, නිවාස සහ ආත්මගරුත්වය වැනි අයිතිවාසිකම් සඳහා ප්‍රවේශය අහිමි වේ. ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්ම මගින් සෑම පුද්ගලයෙකුටම ප්‍රමාණවත් ජීවන තත්වයක් සඳහා අයිතියක් ඇති බව පිළිගනී. කෙසේ වෙතත්, දරිද්‍රතාවය මෙම අයිතිවාසිකම් සීමා කරන අතර ප්‍රජාවන් අවදානමට තල්ලු කරයි. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාවය, අසමානතාවය, විරැකියාව සහ සමාජ ආරක්ෂාවක් නොමැතිකම මඟින් නිරූපණය වේ. මිනිසුන් දෛනික අවශ්‍යතා සපුරාලීමට අරගල කරන විට, සමාජයට සහභාගීවීමට, යුක්තියට ප්‍රවේශවීමට සහ සමාන අවස්ථා භුක්ති විඳීමට ඇති හැකියාව සීමා වේ.

දරිද්‍රතාවය බහුවිධ ආකාරවලින් මූලික මානව අයිතිවාසිකම් වලට සෘජුවම බලපායි. පළමුව, එය ආහාර සහ පෝෂණය සඳහා ඇති අයිතියට බලපායි. ආහාර මිල ඉහළ යාම සහ පහළ යන ආදායම් මට්ටම් පවුල්වලට ආහාර ප්‍රමාණය අඩු කිරීමට හෝ අඩු පෝෂ්‍යදායී ආහාර මත යැපීමට හේතුවන අතර මන්දපෝෂණය වැඩි කරයි. දෙවනුව, දරිද්‍රතාවය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය සීමා කරයි. අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් බොහෝ විට ගෘහස්ථ ආදායමට සහාය වීම සඳහා පාසලෙන් ඉවත්වෙයි. අඩු අධ්‍යාපන මට්ටමක් සමඟ ඔවුන්ට හොඳ වැටුපක් සහිත හොඳ රැකියාවකට අවස්ථාව අහිමි වේ. තෙවනුව, සෞඛ්‍ය සේවා දැරිය නොහැකි මට්ටමකට පත්වන අතර, නිසි ප්‍රතිකාර ලබා ගැනීම වළක්වයි. අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් ඵලදායීතාවය අඩුවෙයි. අවසාන වශයෙන් දරිද්‍රතාවය, සූරාකෑම, ළමා ශ්‍රමය, ගෘහස්ථ හිංසනය සහ අනාරක්ෂිත සේවා තත්වයන්ට නිරාවරණය වීම වැඩි කරයි. මෙම තත්වයන් පෙන්නුම් කරන්නේ දරිද්‍රතාවය පරම්පරා ගණනාවක් පුරා අඛණ්ඩව සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චක්‍රයක් නිර්මාණය කරන ආකාරයයි.

ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය

2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව දරිද්‍රතාවයේ සැලකිය යුතු වැඩිවීමක් සිඳුවී ඇත. ආර්ථිකය යම් ප්‍රකෘතියක් පෙන්නුම් කර ඇතත්, දරිද්‍රතා මට්ටම ඉහළ අගයක පවතී. මෑතකාලීන ලෝක බැංකු ඇස්තමේන්තු වලට අනුව, 2024 දී ජාතික දරිද්‍රතා අනුපාතය 24.5% ක් පමණ වූ අතර එය අර්බුදයට පෙර 2019 දී වාර්තා වූ 11.3% ට වඩා දෙගුණයකටත් වඩා වැඩිය. ගෘහස්ථ ආදායම්, රැකියා සහ සුභසාධන සේවා ද අර්බුදයට පෙර මට්ටම්වලට වඩා පහළින් පවතී. මීට අමතරව, 2021 සහ 2024 අතර ආහාර මිල දෙගුණයකටත් වඩා වැඩි වූ අතර, අවදානමට ලක්විය හැකි ජනගහනය අතර ආහාර අනාරක්ෂිතභාවය සහ මන්දපෝෂණය ඉහළයාමක් අපේක්ෂා කළහැකිය.
2022 වසර වනවිට සේවා සහ භාණ්ඩ මිලගණන් 2019 වර්ෂයට වඩා 46%කින් ඉහළයාම සහ 2021දී රසායනික පොහොර තහනම හේතුවෙන් කෘෂිකර්මාන්තයට ඇති වූ බලපෑම නිවාසවලට අහිතකර අන්දමින් බලපාතිබේ. මෙම කාලවකවානුවේ පැවති අවිනිශ්චිත දේශපාලන හා ආර්ථික තත්ත්වය විවිධ අංශවලට දීර්ඝකාලීන අයහපත් බලපෑම් ඇති කරනලදී. නිදසුන් ලෙස, කොවිඩ් වසංගතය සහ බලශක්ති අර්බුදය හේතුවෙන් වසර දෙකක් පමණ අඛණ්ඩව පාසල් පැවැත්වීමට නොහැකිවිය. මෙය මානව ප්‍රාග්ධනයේ ගුණාත්මකභාවයට ඍණාත්මකව බලපෑම් ඇතිකරයි.

වර්තමානයේ උද්ගතව පවතින යුධ තත්ත්වය යටතේ ලෝකයම බලශක්ති අර්බුදයකට මුහුණපා සිටී. ශ්‍රී ලංකාව ඇතුළු තුන්වන ලෝකයේ රටවල් මේ වනවිටත් යුද්ධයේ වින්දිතයන් බවට පත්ව ඇත. මැදපෙරදිග කලාපයේ අස්ථාවරත්වය ලොව පුරා බලශක්තියට හා ප්‍රවාහනයට බාධා ඇතිකරයි. ඉන්ධන මිල ඉහළයාම, ඉන්ධන හිඟය, විදුලිය බිඳවැටීම, ආහාර බෙදාහැරීමට බාධාවීම හා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළයාම මෙහි අහිතකර ප්‍රතිවිපාක කිහිපයකි. මෙම තත්ත්වය අඩු ආදායම්ලාභී පවුල් තවදුරටත් දරිද්‍රතාවයට ඇද දැමීමට හේතුවනු ඇත. දැනටමත් ණය සහ සීමිත විදේශ සංචිත සමඟ පොරබදමින් සිටින ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයන් ඉන්ධන ආනයනය සඳහා වැඩි මුදලක් වැය කරයි. එහි ප්‍රථිඵලය වන්නේ සුබසාධනය, සෞඛ්‍ය සේවා හා අධ්‍යාපනය සඳහා වෙන්වන අරමුදල් කප්පාදු වීමයි.
කළ යුත්තේ කුමක්ද?

මානව හිමිකම් ගැටළුවක් ලෙස දරිද්‍රතාවය අවසන් කිරීම සඳහා ආර්ථික හා සමාජ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ. දරිද්‍රතාවය අවසන් කිරීමේ ප්‍රමුඛ ක්‍රියාකාරකමක් ලෙස සමාජ ආරක්ෂණ වැඩසටහන් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. ඉලක්කගත සුභසාධන යෝජනා ක්‍රම පුළුල් කිරීම සහ ප්‍රතිලාභ සාධාරණව බෙදාහැරීම සහතික කිරීම මගින් අවදානමට ලක්විය හැකි ජනගහනය ආරක්ෂා කළ හැකිය. දුගී බව පිටුදැකිමේ වඩා සාර්ථක මෙන්ම තිරසාරම මාර්ගය වන්නේ රැකියා නිර්මාණය හා ආදායම් උත්පාදනයයි.

කුඩා ව්‍යාපාර සහ ග්‍රාමීය කර්මාන්ත අඩු ආදායම්ලාභීන් දුගී බවින් මුදවන ප්‍රබල මෙවලම් වශයෙන් හදුනාගත හැකිය. කුඩා ව්‍යාපාර සහ කුඩා ව්‍යවසායන් දරිද්‍රතාවය අවම කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන්නේ දේශීය ප්‍රජාවන් තුළ රැකියා අවස්ථා නිර්මාණය කිරීමෙන් සහ ස්ථාවර ආදායම් උත්පාදනය කිරීමෙනි. කුඩා ව්‍යාපාර, විශේෂයෙන් තරුණයින් සහ කාන්තාවන් අතර කුසලතා සංවර්ධනය, ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය ද ප්‍රවර්ධනය කරයි. එපමණක් නොව, කුඩා ව්‍යවසායන් හරහා උපයන ආදායම පවුල්වලට ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරාලීමට සහ සමස්ත ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. කුඩා ව්‍යවසායන් ප්‍රවර්ධනය කිරීමෙන්, ශ්‍රී ලංකාවට තිරසාර ජීවනෝපායන් ගොඩනඟා ගැනීමට, අසමානතාවය අඩු කිරීමට සහ ආර්ථික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරන අතරම පරම්පරාගත දරිද්‍රතා චක්‍රය ක්‍රමයෙන් බිඳ දැමිය හැකිය.

සටහන පවනි අමා

Social Sharing
නවතම පුවත්