පශ්චාත්-ආපදා සාර්ව ආර්ථික කළමනාකරණය

සාර්ව ආර්ථික කළමනාකරණය

මේ වෙද්දී අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වෙලා මාස 15ක් ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔහුගේ ධුර කාලයෙන් 25%ක් දැනටමත් ඉවරයි. මේ කාලය ඇතුළත ආණ්ඩුව විසින් කළ හා නොකළ දේවල් ගැනනම් කතා කරන්න සෑහෙන පරාසයක කරුණු තිබෙනවා. නමුත් මෙම සටහනෙහි අවධානය යොමු කරන්නේ පශ්චාත්-ආපදා සන්දර්භය තුළ මේ ආණ්ඩුවේ සාර්ව ආර්ථික කළමනාකරණය කියන තනි කාරණයට පමණයි.

සාර්ව ආර්ථික කළමනාකරණය කියද්දී එයින් රටේ මූර්ත අංශය, විදේශ අංශය, බැංකු හා මුදල් අංශය සහ රාජ්‍යමූල්‍ය අංශය කියන අංශ හතර අදහස් වෙනවා. මේ අංශ හතරෙන් වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් තිබෙන, ප්‍රජාතන්ත්‍රවාදී රටක රජයකට සෘජුව කළමනාකරණය කළ හැක්කේ රාජ්‍යමූල්‍ය අංශය පමණයි. එහෙත් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හරහා අනෙක් අංශ තුනට බලපෑම් කළ හැකියි. එවැන්නක් හිතාමතාම නොකළේ වුවද, රාජ්‍යමූල්‍ය කළමනාකරණය කරන ආකාරය ආර්ථිකයේ අනෙකුත් අංශ වලට බලපෑමක් කරනවා.

බැංකු හා මුදල් අංශය කළමනාකරණය කිරීමේ හැකියාවක් තියෙන්නේ මහ බැංකුවටයි. ස්වාධීන මහ බැංකුවක් තිබෙන රටක ආණ්ඩුවට මහ බැංකුවේ තීරණ වලට සෘජු මැදිහත්වීමක් කරන්න බැහැ. ඒ නිසා, බැංකු හා මුදල් අංශය හොඳින් ක්‍රියාත්මක වේනම් එහි ගෞරවය ලැබිය යුත්තේත්, හොඳින් හොඳින් ක්‍රියාත්මක නොවේනම් එයට වගකිව යුත්තේත් මහ බැංකුව මිස ආණ්ඩුව නෙමෙයි. එය එසේ නොවන්නේ මහ බැංකුව සතුව අවශ්‍ය පමණ ස්වාධීනත්වයක් නොමැති විටෙක පමණයි.

විශේෂයෙන්ම ලංකාව වැනි කුඩා ආර්ථිකයක් තිබෙන රාජ්‍යයක විදේශ අංශය කෙරෙහි රජයට හෝ මහ බැංකුවට කළ හැක්කේ ඉතා සීමිත බලපෑමක් පමණයි. ගොඩක් දේවල් තීරණය වෙන්නේ රටෙන් බාහිරව. අනෙක් අතට, මූර්ත අංශයේ ක්‍රියාකාරිත්වය රටේ හැම දෙනෙකුගේම ක්‍රියාකාරකම් වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් විදිහට තීරණය වන දෙයක්. මහ බැංකුවට සහ රජයට ඒ මත කළ හැකි බලපෑමද සීමිතයි.
මූර්ත අංශයේ වඩාත්ම වැදගත් සාර්ව ආර්ථික විචල්‍යය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය සහ එහි වර්ධන වේගය. එහෙමත් නැත්නම් ආර්ථික වර්ධන වේගය. රටක ආර්ථික වර්ධන වේගය කියා කියන්නේ ආණ්ඩුවකට සෘජුව පාලනය කළ හැකි දෙයක් නෙමෙයි. එසේ වුවත්, මෑතකදී මේ ආණ්ඩුව විසින් 7%ක ආර්ථික වර්ධන වේගයක් ඉලක්ක කරන කතාවක් කිවුවා. ඒ වගේ කතා එක්කෝ හිතාමතාම ගැලරිය චූන් කරන්න කියන කතා. එහෙම නැත්නම් වැරදි අවබෝධ වල ප්‍රතිඵල. වෙළඳපොළ ආර්ථිකයක් තිබෙන රටක ආණ්ඩුවකට ඒ විදිහට ආර්ථික වර්ධන වේගය තමන්ට අවශ්‍ය මට්ටමකට ගන්න බැහැ.

ආර්ථික වර්ධන වේගය ඉලක්ක කරන අදහස එන්නේ පැරණි සමාජවාදී ක්‍රමයෙන්. වඩාත් නිවැරදිව කිවුවොත්, රටේ සමස්ත නිෂ්පාදනයම මධ්‍යගත ලෙස සැලසුම් කළ සෝවියට් සමාජවාදී ක්‍රමයෙන්. ඒ ක්‍රමය තුළ පෞද්ගලික අංශයක් නැහැ. නිෂ්පාදනය සිදු වන්නේ විවිධ රාජ්‍ය ආයතන තුළයි. ඒ නිසා රජයට තමන්ගේ සෘජු පාලනය යටතේ තිබෙන එක් එක් ආයතනයට නිෂ්පාදන ඉලක්ක ලබා දෙන්න පුළුවන්. එහෙම ඉලක්ක ලබා දුන්නත්, අදාළ ආයතන වලට ඒ ඉලක්ක ලඟා කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අඩු වශයෙන් යම් නිෂ්පාදන මට්ටමක් ඉලක්ක කරන්න පුළුවන්. ඒ අනුව, සමස්ත ආර්ථික වර්ධන වේගයද ඉලක්ක කරන්න පුළුවන්.

නූතන වෙළඳපොළ ආර්ථිකයක් තුළ, රජයකට ඔය වැඩේ කරන්න බැහැ. චීනය වැනි, නිෂ්පාදන ආර්ථිකය තුළ සැලකිය යුතු රාජ්‍ය භාගයක් තිබෙන රටක රජයකට වුවද, සැලසුම් කර තමන්ට අවශ්‍ය වර්ධන වේගයක් ලබා ගන්න බැහැ. රටේ නිෂ්පාදනය තීරණය කරන්නේ තනි තනි ආයතන සහ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් විසිනුයි. මේ එක් එක් ආයතනයට වගේම ඇතැම් විට තනි පුද්ගලයින්ට පවා වර්ධන ඉලක්ක තියෙන්න පුළුවන්. නමුත් ඒ වර්ධන ඉලක්ක අතර පූර්ණ සම්බන්ධීකරණයක් නැහැ.

මධ්‍යගත සැලසුමක් තුළ වර්ධන වේගය සැලසුම් කළේ වුවද රටක සැබෑ වර්ධන වේගය විවිධ භෞතික කරුණු මත තීරණය වන්නක්. ඒ කරුණු සියල්ල රජයට පාලනය කළ නොහැකියි. ඒ නිසා, ඉලක්කයක් ලඟා කර ගැනීමේ හැකියාව එවැනි ඉලක්කයක් කොයි තරම් ප්‍රායෝගිකද කියන එක මත තීරණය වෙනවා. තනි පුද්ගලයින්ගේ හා ආයතන වල ඉලක්ක සැලකුවත් එය එහෙමයි.

රටක පවතින ප්‍රායෝගික භෞතික තත්ත්වයන් මත කෙනෙකුට රටේ ආර්ථික වර්ධනය පුරෝකථනය කළ හැකියි. මෙවැනි පුරෝකථන ආසන්නව නිවැරදියි. නමුත් ආර්ථික වර්ධනය හරියටම පුරෝකථනය කරන්න අමාරුයි.

රාජ්‍යමූල්‍ය හා මුදල් කළමනාකරණ ප්‍රතිපත්ති සකස් කරද්දී ආර්ථික වර්ධනය වැනි විචල්‍ය පිළිබඳ යම් පුරෝකථන අවශ්‍ය වෙනවා. ඒ පුරෝකථන සියයට සියයක්ම නිවැරදි විය යුතු නැහැ. මේවා පුරෝකථන මිසක් ඉලක්ක නෙමෙයි.

පසුගිය වසර 74 තුළ, ඒ කියන්නේ 1951-2024 අතර, ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 4.1%ක් පමණයි. 1977න් පසු කාලය සැලකුවොත්, මෙම වේගය 4.4%ක්. ඒ කියන්නේ ඉතිහාසය දිහා බැලුවොත් ලංකාවේ දිගුකාලීන වර්ධන විභවය තියෙන්නේ ඔය ආසන්න මට්ටමක. ඊට වඩා වැඩි වර්ධන ඉලක්කයක් නිකම්ම ඉලක්කයක් පමණයි.

නමුත් ඔය වර්ධන වේගය පවත්වාගෙන ගිහින් තියෙන්නේත් දිගින් දිගටම විශාල වශයෙන් විදේශ ණය අරගන්නා අතරයි. ඒ විදේශ ණය වලින් ලැබුණු තල්ලුව මේ වර්ධන වේග ඇතුළේ තිබෙනවා. රටේ ආර්ථිකය විශාල අර්බුදයකට ගියේ මේ ණය චක්‍රය දිගින් දිගටම පවත්වා ගත නොහැකි නිසා. ආර්ථික අර්බුදයෙන් පසුව, මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබුණු දිගුකාලීන වර්ධන වේග විභවය 3.1%ක් පමණයි. ඔවුන් එම ඇස්තමේන්තුව තවමත් වෙනස් කර නැහැ.

පසුගිය (2024) වසරේදී ලංකාවේ ආර්ථිකය 5.0%කින් වර්ධනය වුනා. මේ (2025) අවුරුද්දේ පළමු මාස නවය තුළද 5.0%ක වර්ධනයක් දකින්න තිබෙනවා. නමුත් මේ සාපේක්ෂව ඉහළ වර්ධන වේගයෙන් පෙන්නුම් කරන්නේ පසුගිය වසර වලදී සංකෝචනය වූ ආර්ථිකය නැවත පෙර පැවති මට්ටමට පැමිණීම මිසක් සැබෑ වර්ධනයක් නෙමෙයි. ලංකාවේ ආර්ථිකය 2018 පැවති මට්ටමට නැවත පැමිණෙනු ඇත්තේ ඉදිරි (2026) වසරේදී හෝ ඇතැම් විට ඊටත් පසු (2027) වසරේදීයි. සැබෑ ආර්ථික ප්‍රසාරණයක් දකිනු හැකි වනු ඇත්තේ ඉන් පසුවයි. මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව, ඉන් පසුව ලඟා කරගත හැක්කේ 3.1%ක වර්ධන වේගයක් පමණයි.

අනෙක් අතට මේ 3.1% වර්ධන වේගය නෛසර්ගික වර්ධන වේගයක්. ඒ වර්ධන වේගය ලඟා කරගැනීම සඳහා රජය විසින් කිසිවක් කළ යුතු නැහැ. රාජ්‍ය මැදිහත්වීම් නිසා කෙටිකාලීනව වර්ධන වේගය ඉහළ යන්න වගේම අඩු වෙන්නත් පුළුවන්. නමුත් එවැනි මැදිහත්වීම් වලින් දිගුකාලීනව වෙනසක් සිදු වන්නේ නැහැ.

ඉහත හේතුව නිසාම, දිත්වා සුළි කුණාටුව වැනි ස්වභාවික ව්‍යසනයකින් ආර්ථික වර්ධනය කෙරෙහි ඇති වන බලපෑමද තාවකාලික එකක්. වැඩිම වුනොත් මාස නවයකින් පමණ එම බලපෑම අවසන් වෙයි. රාජ්‍ය මැදිහත්වීම් වල උදවුවෙන් මේ කාලය තවත් කෙටි වෙන්න පුළුවන්. එසේ වුවද, මාස හයක් පමණ යන තුරුවත් සුළි කුණාටුව නිසා සිදු වූ හානියේ බලපෑම තිබෙනවා.

සුළි කුණාටුව පැමිණීමට පෙර රජය විසින් ගත් හෝ නොගත් ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ විවේචන තිබෙනවා. ඒ විවේචන පිළිබඳව විචාරයක් කිරීමට තරම් තොරතුරු මා සතුව නැහැ. කෙසේ වුවද, ආපදාවෙන් පසුව සාර්ව ආර්ථික කළමනාකරණය සැලකුවහොත්නම් ආණ්ඩුවට වරදක් කියන්න අමාරුයි. මේ කාරණයේදී ආණ්ඩුව වේගවත්ව කටයුතු කර තිබෙනවා.

හානිය හා අදාළ නිවැරදි හා පරිපූර්ණ තක්සේරුවක් තවමත් සිදු කර නැතත්, මීට පෙර සිදු වූ මෙවැනි ආපදා වල හානිය මත පදනම්ව මෙහි හානිය දදේනියෙන් 2.5%-5.0% අතර විය හැකි බව මූල්‍ය අරමුදල විසින් සලකා තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 2.5-5.0 අතර හානියක්. මෙය ඇතැම් අය සඳහන් කරන ඩොලර් බිලියන 6-7ක හානියට වඩා අඩුයි. මාධ්‍ය වාර්තා අනුව, හානිය පිළිබඳ ලෝක බැංකු තක්සේරුව ඩොලර් බිලියන 4.1%ක් වන අතර එයින් ඩොලර් බිලියන 1.735ක් පමණ යටිතල පහසුකම් වලට සිදු වී ඇති හානියයි.

ආපදාව වැඩිපුර බලපාන්නේ කෘෂිකාර්මික හා සංචාරක කර්මාන්ත වලටයි. එහෙත් මේ අංශ දෙකටම මාස හයක් ඇතුළත නැවත හිස එසැවිය හැකියි. ඒ අතරවාරයේ ආර්ථික වර්ධන වේගයේ අඩුවක් විය හැකියි. ඉදි කිරීම් කටයුතු ඉහළ යාම නිසා එම අඩුවෙන් කොටසක් නිශේධනය විය හැකියි. රටේ ආර්ථිකය නැවතත් දිගුකාලීන වර්ධන පථයට ලඟා වුවත්, එය සිදු වන අතරවාරයේ පහත යන නිෂ්පාදනය නිසා මම වසරේ අවසන් කාර්තුවේ සහ ඉදිරි වසරේ මුල් කාර්තු දෙකේ වර්ධන වේගයන් සීමා වීම පැහැදිලිව පෙනෙන්න තිබෙන දෙයක්. එහෙත් ඉදිරි වසරේ දෙවන භාගය තුළ නැවත ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙයි. ඒ නිසා, 2027හා ඉන් පසුව රටේ වර්ධන විභවයට මෙම සුළි කුණාටුවේ බලපෑම ඉතිරි වන්නේ නැහැ.

රජය සතුව ප්‍රමාණවත් ද්‍රවශීල රුපියල් සංචිතයක් ඇති බැවින් රුපියල් බිලියන 700ක පමණ රාජ්‍ය මැදිහත්වීම මුදල් වෙළඳපොළ අස්ථාවර කිරීමට හේතුවක් නැහැ. ඉදිරි වසරේ මුල් භාගය තුළ උද්ධමනය ඉහළ යාමක් සිදු විය හැකි වුවත් එම තත්ත්වය දිගුකාලීනව පවතින එකක් නැහැ. ඒ නිසා, මහ බැංකුවට විශේෂ මැදිහත් කිරීම් කිරීමට අවශ්‍ය වන්නේද නැහැ. කෙසේ වුවත්, රටේ විදේශ අංශයට දැනෙන බලපෑමක් තිබෙනවා.

මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව දිත්වා හානියේ ප්‍රතිඵලයක් ලෙස ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 720කින් හෙවත් දදේනියෙන් 0.7%කින් පමණ ඉහළ යාමට නියමිතයි. ඒ මේ විදිහටයි.

  • සංචාරක ආදායම් පහත වැටීම – ඩොලර් මිලියන (-350)
  • ආනයන වියදම් වැඩි වීම – ඩොලර් මිලියන (-420)
  • ප්‍රේෂණ ඉහළ යාම – ඩොලර් මිලියන 50

එකතුව – ඩොලර් මිලියන (-720)

මේ අනුව, පශ්චාත්-ආපදා සාර්ව ආර්ථික කළමනාකරණය තුළ වඩාත් අසීරුම කාර්යය ඉහත ඩොලර් මිලියන 720ක මුදල සොයා ගැනීමයි. එය සිදු වන්නේ මේ ආකාරයටයි.

  • මූල්‍ය අරමුදලෙන් – ඩොලර් මිලියන 205
  • අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින් – ඩොලර් මිලියන 400
  • විදේශ සංචිත වලින් – ඩොලර් මිලියන 115

එකතුව – ඩොලර් මිලියන 720

මේ අනුව, ඉහත විදේශ විණිමය ලැබීම් වල උදවුවෙන් ආපදාවෙන් පසුව විදේශ අංශයද ස්ථාවරව තියාගන්න පුළුවන්. යම් හෙයකින් විදේශ අංශය අස්ථාවර වුවහොත් ඩොලරයක මිල සැලකිය යුතු ලෙස ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනයද ඉහළ යනවා. ඉතා ඉක්මණින් මූල්‍ය අරමුදලේ සහාය පැතීම මගින් මෙම ආපදාවෙන් පසුව නැවත ආර්ථිකය අස්ථාවර වීමේ විභවය රජය විසින් වළක්වාගෙන තිබෙනවා.

මෙවැනි තත්ත්වයක් තුළ මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදලක වාසිය ඒ වෙනුවෙන් ගෙවිය යුතු පොලියේ පිරිවැය මත පමණක් පදනම්ව විනිශ්චය කිරීම නිවැරදි නැහැ. මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ මූල්‍ය අරමුදලෙන් ලැබී ඇති සහතිකය සමඟ ලැබෙන ස්ථාවරත්වයයි. දෙවනුව, අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින් ලැබෙන මුදල් ලැබෙනු ඇත්තේද එකම පැකේජයක කොටසක් ලෙසයි.

මෙම තත්ත්වය තුළ ඉදිරි දෙවසර සඳහා දැනට මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඇති විදේශ සංචිත ඉලක්ක ඒ අයුරින්ම ලඟා කරගැනීමට හැකි වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ. එම ඇස්තමේන්තු බොහෝ විට ඉදිරි විමර්ශනයේදී යාවත්කාලීන වෙයි. මේ අතර නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝසප් ස්ටිග්ලිට්ස් විසින් ආපදාව හමුවේ ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබා දිය යුතුයැයි යෝජනා කර තිබෙනවා. මගේ අදහස වනුයේ එවැනි ණය සහනයකින් දිගුකාලීනව රටේ ණය තිරසාරත්වය මත ඇති විය හැකි බලපෑම අනුව එවැනි සහනයක් සැබෑ සහනයක් නොවිය හැකි බවයි.

ඉහත විස්තර කළ සැලසුම අනුව ඉදිරි වසරේ ජංගම ගිණුම තුලනය කර ගත හැකිනම් රටේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ අවදානමක් නැහැ. යම් හෙයකින් විදේශ සංචිත වල සුළු අඩු වීමක් සිදු වුවද එමගින් 2022 ආර්ථික අර්බුදය වැනි තත්ත්වයක් නිර්මාණය වන්නේ නැහැ. එම අවස්ථාවේදී ප්‍රශ්නය ඔඩු දිවීමට හේතු වූයේ අවශ්‍ය අවස්ථාවේදී මූල්‍ය අරමුදලේ සහාය නොපැතීම, විණිමය අනුපාතය නිදහස් නොකිරීම, පොලී අනුපාතික වැඩි නොකිරීම වැනි සාධකයි.

ඉකොනොමැට්ටා

Social Sharing
අවකාශය ආර්ථික