අනුරාධපුර ගරු මහාධිකරණයේදීය – නීතීඥ අරවින්ද හබක්කල

එය මහාධිකරණ නඩුවකි,

පැමිනිල්ලෙන් සාක්කි දෙමින් සිටියේ පලපුරුදු පොලිස් නිළධාරියෙකි.  ඔහුගේ සාක්කිය අනුව ලැබුන ඔත්තුව ප්‍රකාරව ඔවුන් මහ රෑ රැක සිටින්නේය.  විත්තිකරු කුඩු සමග පැමිණෙන්නේය.

පොලිස් ටීම් එක රැක සිට ඔහුව අල්ලා අතටම ගන්නේය. ඔහු සතුව තිබූ ප්‍රමාණයෙන් කුඩා පොලිතින් වල ඔතන ලද කුඩු පැකට් රැසක් තිබෙන්නේය. ඒවා එකිනෙක  කුඩා නූල් වලින් වෙන වෙනම පරිස්සමට ඔතා තිබෙන්නේය. ඔප්පු වුනොත් දඬුවම මරණීය දන්ඩනයය.

පොලිසිය රේඩ් එකට යන්නේ ඉලෙක්ට්‍රොනික් තරාදියක්ද රැගෙනය. අර කුඩා කුඩු පැකට් සියල්ල සීරුවට ලිහා එකට එකතුකර සියල්ලේ බර එකට එම මොහොතේම කිරන්නේය. පොලිතින් පැකට් සියල්ල හා නූල් යනාදී සියල්ල අත් අඩංගුවට ගන්නේය. විත්තිකරු සන්තකයේ තිබූ සල්ලිද නෝට්ටු වල අංක එකින් එක  සටහන් කර අත් අඩංගුවට ගන්නේය. සියල්ල  පොලිසියට ගෙනත් මහ රෑම සීල්  කරන්නේය.  නියම ක්‍රමවේදය එයය.

 

පැමිනිල්ලේ සාක්කිය ලෙසටම කොන්ක්‍රීට්‍ ය.

විත්තියේ නීතීඥවරයා ප්‍රශ්න අහන්න පරන් ගන්නේය.  අහෝ  ඛේදයකි, පැමිනිල්ලේ කතාව එලෙසම විත්තියේ නීතීඥවරයා  නැවත නැවත තහවුරු කරවන්නේය.  එහෙත් දැන් දැන් විත්තියේ නීතීඥවරයා ක්‍රමයෙන් පහර එල්ල කරන්නේය.

රේඩ් එකට පසුදිනට, පසුදින පත්තරය රාජ්‍ය  ලේඛනාගාරයෙන් සහතික කරගෙන  විත් මෙන්න බොලේ උසාවියේ දිගඅරින්නේය.   එහි පලවෙනි පිටුවේ තඩි අකුරින් පත හෙඩ්  ලයින් එකක  මේ රේඩ් එක  ගැන නිවුස් එකය.   රස කරලාම ලියා තිබුනේය.

ඕ. අයි. සී මතත්තයා එක්කම පොලිසියේ නිල කාමරයේ  ෆොටෝ එකක්‍ ය. රේඩ් එකට ගිය නොගිය හැමෝම සිනා පිරි මුහුණින් ය.

 

පෙරදින රෑ සීල් කලා කියූ නඩු භාන්ඩ සියල්ල  OIC  මහතාගේ මේසය උඩය. අර නූල් ලිහා එකතු කලා කිව්ව පැකට් තොගය නූල් පිටින්ම මේසෙ උඩය.  නූල කැඩිලාම නැතිය. සල්ලි නෝට්ටු කීපයක්ද මේසෙ උඩය.  කුඩා අකුරු ලොකු කර බලන කන්නාඩියක් නීතීඥවරයා කබා සාක්කුවෙන්  සීරුවට ඇදගත්තේය.  පත්තරය එක්කම අතට දුන්නේය.

උසාවියම එකම නාට්‍යයක්‍ ය. එහෙත් නියමිත පටිපාටියට අනුව උසාවියට නිසි ගරුත්වය ඇතුව ව්නිසුරු අසුනේ අවසරය සහිතවය.

“මහත්මයා ඔය සල්ලි කොලේ තියෙන ඉලක්කම් ටික මේකෙන් බලලා කියවන්නකො  කරුණාකරලා”

“ඔව් ස්වාමීනි අංක…..”

“දැන් මහත්මයා අර කලින් දවසෙ මුද්‍රා තිබ්බා කිව්ව මුදල් නෝට්ටුවෙ අංකය කියවන්නකො”

“එහෙමයි ස්වාමීනි අංක….”

“මහත්මයා පත්තරේ තියෙන ෆොටෝ එකේ තියෙන මුදල් නෝට්ටු අංකයයි කලින් දවසෙ සීල් කලා කිව්ව සල්ලි නෝට්ටුවෙ අංකයයි එකයි නේද?”

ගොත ගහමින් ” එහෙමයි ස්වාමීනි”

“අර කලින් දවසෙ දිග ඇරල මුද්‍රා තිබ්බා කිව්ව  පැකට් ට්කත් පහුවදා මේසෙ උඩ ගැටහල තියෙනව නේද ෆොටො එකේ.?”

“ම්ම්ම්ම්… ම්ම්ම්..  ම්ම්ම්ම්… එහෙමයි ස්වාමීනි.”

සාක්කිකරු  කොටු වී හමාරය.

දැන් ප්‍රශ්න කිරීම ගරු විනිසුරුතුමා  විසින් ය.

(නඩුවක යම් පැහැදිලි කිරීම් සිදු කර ගැනීමට අවැසි විට විනිසුරු අසුන විසින් ප්‍රශ්න කෙරේ)

විනිසුරුතුමා – “සාක්කිකරු උසාවියේ කාලෙ නාස්ති නොකර කියන්න මොකක්ද වුනේ කියල.”

 

“ස්වාමීනි මේ විත්තිකරු කුඩු විකුණන කතාව අපේ කාර්‍යක්ශමතාවට සෑහෙන්න බලපෑවා. අපිට ඕන උනා ඇර්ස්ට්කලාට පස්සෙ මේක මීඩියා වල දාලා ජනතා මතයක් හදන්න. අපි මාධ්‍ය ගෙනත් පහුවදා පොඩි නාට්‍යක් වගේ රඟපෑවා.” සත්‍තයි,

ගරු විනිසුරුතුමා විස්සෝපයෙන් ඔලුවේ අත ගහ ගන්නවා මා දුටුවා.

විනිසුරුතුමා රජයේ නීතීඥතුමා දෙස බලමින්,

“State counsel, එතකොට ටී. වී එකෙන් අපි ඔය වැටලීම් විදියට නිවුස් වල හැමදාම දකින්නේ මේ වගේ නාට්‍යද?”

විනිසුරුතුමා,  විත්තියේ නීතීඥ දෙසට හැරෙමින්.

ඉංග්‍රීසි බසින්,

“නීතීඥ මහත්මයා, ඔබේ සේවාදායක කොච්චර කාලයක් රිමාන්ඩ් එකේ  ඉන්නවද?”

” වසරකට වැඩියි ස්වාමීනි”

විත්තිකරුට එම මොහොතේදීම ලිහිල් ඇපයක් නියම කෙරුනේය.

උසාවි වල නඩු අහන්නේ නීතිමය රාමුව තුලය. සාක්කි විනාශ කර නොගැනීමට, හඳුන්වා නොදීමට, අවංක වීමට ලංකාවේ පොලිසිය  පුරුදු විය යුතුය.

විත්තිකරුවන් නිදහස් වීමෙන් පසු උසාවියට දොස්  තැබීමෙන්  හෝ  නීතීඥවරුන්ට සාප කිරීමෙන් යුක්තිය ඉටු නොවන්නේය.

හරිම සාක්කි හරිම විදියට එකතු කර නොගන්නා තාක්කල් අපේ රටේ conviction rate (වැරදිකරු කිරීමේ ප්‍රතිශතය) එක මාරම යටය. අපරාධ යුක්තිය ඇත්තේ රටක අපරාධ සඳහා නීතිමය රාමුව තුල දඬුවම් දීමටය.

විත්තිකරුට දහවල් කෑම නොලැබීම නිසා නඩු කල්දාන තරම්ම අපේ නීතිය මානුශියය.  “JR ජනපතිතුමාගේ  ගේ වචන වලින් කියන්නේනම් “play the game according the rules”

 

පොලිසිය ෆයිල් එක හදා දිය යුතු වන්නේ බුකියට නොව නීතිපති දෙපාර්තමේන්තුවටය.  උසාවිය ඇතුලේ සටන් කල හැක්කේ එලියෙන් එකතු කර දෙන ආයුධ අනුවය. එහෙත් ඒ අවි පාවිච් කල යුත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ පිලිවෙලටය, තෝරා ගත යුතු අවි මොනවාද කියා සාක්ශි අඥා පනතේ කියා ඇත්තේය.

ලංකාවේ පොලිසිය එක්කෝ විත්තිකරුට ආදරේය. නැතහොත්  ඌ එක්ක තරහය.  ඔය දෙකෙන්ම වෙන්නේ සමාජයට අගතියක් ය.

පොලිසිය විසින් අපරාධ විද්‍යාව, මානව විද්‍යාව, තාක්ශනය,  නීතිය,  බුකියට ආමන්ත්‍රණය නොකිරීම මේ දශකයේවත්  වහ වහා දියුනු කර නොගතහොත් ඔබේත් මගේත්  ජීවිත බිලිගන්නන් බුකියේ බුලි වී උසාවියෙන් ගැලවී යන්නේ නීතියට පස්ස පෙන්නමින් ය.

 

ඔබ කැමති ලෙසකට මේ ලියමන  අර්ථ නිරූපනය කර ගත හැක්කේය. මිනිස්සු කියවා ගන්නේ හා දැක ගන්නේ තමන්ට ලෝකය පෙනෙන සිදුරෙන් ය. කලු කබා කාක්කන් කියා ලියාගෙන ගියත් අවුලක් නැතිය.

ලියන්නට අමක උනේය. අත් අඩංගුවට පත් වී වසර ගානකට පසු අර නඩුවේ විත්තිකරු නිදොස් කොට නිදහස්  වුනේය. එය පත්තරේ ගියේ නැතිය.

දරුවනි ඉගෙන ගන්න. ඉගෙන නොගත්තොත් මරන්න හිතේවි තරහ කාරයින්ව මහපාරෙ.  නඩු අහන්න හිතේවි බුකියෙ.

තායිලන්තයේ Global Campus අන්තර්ජාතික සමුලුවට සහභාගි වෙන අතරතුර.

සැ.යු- සද්භාවයෙන් ඉදිරිපත් කල ඉහත සිද්ධිය 100%:ක් ඇත්තය. එහි සමස්ථ අන්තර්ගතය හැරුන විට ප්‍රශ්න වල යම් යම් වෙනස්කම් තිබිය හැකිය. විනිසුරු අසුනේ හිටියේ  ගරු මනෝජ් තල්ගොඩපිටිය මැතිතුමාය.

(වසර 27 ක නීතීඥ දිවියේ අත්දැකීම් ඇසුරිනි – නීතීඥ අරවින්ද හබක්කල FB)

Social Sharing
අවකාශය නවතම