‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝය’ බෝඩ් ලෑල්ලට සීමා වෙලා –  නීතිඥ සේනක පෙරේරා

‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝය’ කියලා බෝඩ් ලෑල්ලක් තිබුණට ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් බන්ධනාගාර තුළ දැකගත හැකිය. එය වචනාර්ථයෙන් ඔබ්බට යාමට නම් ‘සිරකරු යුක්තිය’ ඉටුවිය යුතුය. එසේම බන්ධනාගාරයට ඇතුළත් කළ මොහොතේ සිට ආරම්භ වන මානසික වධහිංසා වළක්වා ලීමට ද පියවර ගත යුතුය.

“සිරකරුවන් විවිධාකාරයේ වධහිංසාවලට ලක් කිරීම, පහර දීම විශාල වශයෙන් බන්ධනාගාර වල තිබෙනවා. මෙහි උපරිමය සටහන් වුණ අවස්ථා තමයි 2012 දී වැලිකඩ බන්ධානාගාරයේ සහ 2022 දී මහර බන්ධනාගාරයේ සිදු කළ සමූල ඝාතනය. නමුත් මේ දක්වා මේ ඝාතනවලට වගකිව යුත්තන් නිදැල්ලේ සිටිනවා. ඒ වගේම පසුගිය කාලය තුළ විවිධ අවස්ථාවලදී බන්ධනාගාර තුළ දී සිරකරුවන් ඝාතනය කළ පුද්ගලයින්ට දඬුවම් ලබාදීමක් සිදුවෙලා නැහැ, මෙම පුද්ගලයින්ට යම්කිසි ආකාරයක මුක්තියක් තිබෙන බවයි අපට පේන්නේ” ලංකාවේ බන්ධනාගාරය තුළ මුල්බැස ගෙන ඇති සත්‍ය තත්ත්වය පැහැදිලි කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා පෙන්වා දුන්නේ ය.

දඬුවම් නැති පරිසරයක්

මෙහිදී සේනක පෙරේරා පෙන්වා දුන්නේ සිරකරුවන්ට ශක්තියක් නොමැති වීම සහ බාහිර සමාජය, සිවිල් සමාජය සිරකරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම මෙම තත්ත්වය තීව්‍රර වීමට හේතු වී ඇති බවයි.

“මානව අයිතිවාසිකම් ගැන කතා කරන අය පවා සිරකරු අයිතිවාසිකම් ගැන කතා කිරීමට ඉදිරිපත් නොවන අවස්ථා අපි දැක තිබෙනවා. සිරකරුවන්ට යම්කිසි අගතියක්, හානියක් කළ විට බේරී සිටීමට මේ තත්ත්වයත් යම් පමණකට හේතු වී තිබෙනවා’ යැයි කී සේනක, සිරකරුවන්ට ඕනෑම අගතියක් කර බේරී සිටීමට හැකියාව ඇති බවට මතයක් බන්ධනාගාර නිලධාරීන් අතර පවතින බව ද පෙන්වා දුන්නේ ය.

සිරකරු සමාලෝචනය ද අගතිගාමී ලෙස භාවිත කිරීම සිදුවන බව මෙහිදී කරුණු සහිතව පැහැදිලි කළ සේනක එය ද මුදල් හා බලය තිබෙන සිරකරුවන්ට වාසිදායක ලෙස භාවිතා කරන බව ද පෙන්වා දුන්නේය.

“සිරකරු සමාලෝචනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවලින් පවා මේ තත්ත්වය හෙළි කරලා තිබෙනවා. මෙයත් සිරකරු යුක්තිය සම්බන්ධයෙන් ඍජුව සම්බන්ධ වුණ කාරණයක්” සේනක සඳහන් කළේය.

 

වෛද්‍ය ප්‍රතිකාර

සිරකරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර කිරීමේදී  බරපතළ අගතිගාමී සහ අවාසනාවන්ත තත්ත්වයක් දැකගත හැකිය. බන්ධනාගාර රෝහල් තුළ වෛද්‍යවරු 33 දෙනකු සිටින අතර ඔවුන් මාසයක් තුළ පැය 4500ක් සේවයේ යෙදී සිටිය යුතු වුව ද විගණන වාර්තා අනුව අදාළ වෛද්‍යවරුන් සේවයේ යෙදී ඇත්තේ පැය 1290ක් වැනි ඉතාම අඩු පැය ගණනකි.

“මේ තොරතුරු හෙළි කරන්නේ ජාතික විගණන ලේකම් කාර්යාලය 2023 දී නිකුත් කළ වාර්තාව. මේකෙන්ම පැහැදිලි වෙනවා, සිරකරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවන බවට තිබෙන මතය. නමුත් තෝරා ගත් සිරකරුවන් පිරිසකට අවම ආචාරධර්ම පවා නොසලකා ප්‍රතිකාර කරන අවස්ථා වාර්තා වෙනවා. මේ තත්ත්වය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් ලෙස සැලකිය හැකි’ යැයි පෙන්වා දුන් සේනක මෙවැනි විෂමාචාර කටයුතුවල නිරත වූ බන්ධානාගාර වෛද්‍යවරුන් පසුගිය කාලයේ අත්අඩංගුවට පත් වූ බව ද පෙන්වා දුන්නේ ය.

‘රැඳවියෙක්ට බන්ධනාගාර රෝහලෙන් ප්‍රතිකාර ලබා දෙන්න මුදල් ඉල්ලා සිටීම හේතුවෙන් පසුගිය දා බන්ධනාගාර වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත්තා. මෙවැනි ඉල්ලීම් බන්ධනාගාරය තුළ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබෙනවා’ යැයි ද කී සේනක මෙවැනි සිදුවීම් සමාජයට සන්නිවේදනය නොවන බව ද සඳහන් කළේය.

ඉවසීම සහා වැළපීම

මෙවැනි තත්ත්වයක් තුළ බන්ධනාගාර රැඳවියන් තමන් මුහුණ දෙන ඕනෑම තත්ත්වයක් ඉවසා ගෙන සිටීමට යොමු වන බව කී සේනක ඒ සඳහා බලපාන හේතු ද හෙළි කළේය.

“තත්ත්වය ඉතාම පැහැදිලියි, බන්ධනාගාරය තුළ තමන් මුහුණ දෙන අසීරුතා හෝ වෙනයම් ආකාරයක ගැටලුවක් පෙන්නලා දුන්නත් ඔහුට ඉන්න වෙන්නේ මේ පාලනය තුළමයි. එවැනි තත්ත්වයක් කිසිසේත් යහපත් නැහැ, තවත් වටයකින් අගතියට පත්වීමටයි ඔහුට සිදුවෙන්නේ. ඒ නිසා රැඳවියන් සියල්ල ඉවසා ගෙන, පිටතට නොපෙන්වා සිටීමට පියවර ගන්නවා. මෙවැනි සිදුවීම්වලට මුහුණ දුන් රැඳවියන් සම්බන්ධ පුද්ගලික, බිහිසුණු අත්දැකීම් මට තිබෙනවා” සේනක තම සේවා කාලය තුළ මුහුණ දුන් පුද්ගලික අත්දැකීම් හෙළි කරමින් පැවසුවේය.

මෙහිදී ඔහු යළි යළි අවධාරණය කළේ සිවිල් සමාජයේ සිට බන්ධනාගාරය තුළ දී මුහුණ දීමට සිදුවන අකටයුතුකම් ගැන සංවාද කළ ද, සාකච්ඡා කළ ද බන්ධනාගාරය තුළ එවැනි දේවල් ගැන කතා කිරීම ඉතාමත්ම හානිකර අත්දැකීමක් වන බවයි.

 

කාන්තා රැඳවියන්

කාන්තා රැඳවියන් ද සැලකිය යුතු පිරිසක් බන්ධනාගාර තුළ සිටින අතර ඔවුන්ගේ සුභසාධන පහසුකම් ඉතාමත් දුර්වලය. මෙම කාන්තා රැඳවියන් සමඟ සිටින අවුරුදු පහට අඩු දරුවන් මුහුණ දෙන තත්ත්වය ද ඉතාමත් කනගාටුදායක බව සේනක පෙන්වා දුන්නේය.

“කාන්තා රැඳවියන්ට කාන්තාවන් වීම නිසාම හිමිවිය යුතු ඇතැම් සනීපාරක්ෂක පහසුකම් සහ සුභසාධන සේවා ඇත්තේම නැති තරම්. එසේම ඔවුන් සමඟ සිටින අවුරුදු පහට අඩු දරුවන් මුහුණ දෙන්නේ ඉතාම කනගාටුදායක තත්ත්වයකට වුණත් ඒ ගැන කිසිවෙකුගේ සොයා බැලීමක් නැහැ” ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 

මූලික අරමුණු බිඳ වැටිලා

බන්ධනාගාරවලින් අපේක්ෂිත මූලික අරමුණු අතර පුනරුත්ථාපනයට ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ. බන්ධනාගාර පනතේ ද මේ ගැන පැහැදිලිව සඳහන් වේ.

“ලෝකය පිළිගත්ත මූලික මූලධර්මයක් තමයි, අපරාධකරුවෝ ඉපදෙන්නේ නැහැ, කියන එක. ඒ නිසා ඕනෑම වැරදිකරුවෙකුට නිවැරදි වීමට හැකියාවක් තිබෙනවා කියන එක ලෝකය පොදුවේ පිළිගන්නවා. ලංකාවත් ඒක පිළිගන්න නිසා තමයි වැරැද්දක් කළ විට මරලා දාන්නේ නැතිව බන්ධනාගාර ගත කරලා පුනරුත්ථාපනය කරන්නේ. නමුත් ලංකාවේ මේක ඉතාම සීමිතව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මනෝ විද්‍යාත්මක, විද්‍යාත්මක පුනරුත්ථාපන ක්‍රියාවලියක් ලංකාවේ බන්ධනාගාර තුළ නැහැ. යම් යම් වෘත්තීය අධ්‍යාපන වැඩ ඉගෙන ගෙන තමයි රැඳවියන් බන්ධනාගාරවලින් එළියට එන්නේ. නමුත් ඔවුන් එළියට ආ පසු යළි පෙර වැරදි කිරීමේ ප්‍රවණතාවක් තිබෙන බව අපි දකිනවා. ඒ නිසාම තමයි බන්ධනාගාරයෙන් නිදහස් වූවන්ගෙන් 50%ක් පමණ නැවත බන්ධනාගාර ගතවීමක් සිදුවෙන්නේ. නිසි පරිදි පුනරුත්ථාපන ක්‍රියාවලිය සිදුවන රටවල මේ ප්‍රතිශතය ඉතාම අඩුයි” බන්ධනාගාර තුළ අප නොදන්නා සත්‍යයේ තවත් අඳුරු පැතිකඩක් සේනක විසින් පෙන්වා දුන්නේය.

 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 241 වැනි කතිකාව වූයේ ‘ලංකාවේ බන්ධනාගාර තුළ මුල් බැසගෙන ඇති නොපෙනෙන සත්‍ය’ මාතෘකාවයි. මෙම සංවාදය සදහා නිර්මාණවේදී මො.ල. සෙනෙවිරත්න, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා, නීතිඥ දුලාන් දසනායක සහ මනෝජි වඩුගොඩපිටිය මහත්මිය සහභාගී වූ අතර නීතිඥ ගයත්‍රී නවරත්න විසින් සංවාදය මෙහෙයවනු ලැබුවා ය. එම සංවාදය ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත.

සංවාද සටහන – තුෂාල් විතානගේ

Social Sharing
අවකාශය නවතම