
ඔහු වතුකරයේ දෙමළ තරුණයෙකි. මව්පියන් නැත. බසයක යන අතරතුර මහන්සියට නින්ද ගොස් ඇත. හදිසියේ ඇහැරී බසයෙන් බැස ඇත්තේ නාඳුනන පෙදෙසක ය. රාත්‍රියේ සරණක් සොයා නිවසක දොරට තට්ටු කළ ඔහුට අසල්වැසියන් එකතු වී නොසෑහෙන්න පහර දී පොලිසියට බාර දී ඇත. ඔහු නිදොස් බව වටහා ගත් පොලිසිය පසුව ඔහු නිදහස් කර ඇත. නමුත් කථාව එයින් අවසන් නොවේ. එම අහිංසක තරුණයා ගස් බැඳ වධ බන්ධන පමුණුවන ආකාරය වීඩියෝ කළ තරුණයෙක් එය සමාජ මාධ්‍යයට මුදා හැර තිබේ. එම වීඩියෝව දැකීමෙන් ලැජ්ජාවට සහ දුකට පත් අහිංසක අනාථ අසරණ දෙමළ තරුණයා සිය දිවි නසා ගෙන තිබේ. දැන් ඔබට සතුටුයි ද?
ලංකාවේ බොහෝ තරුණ තරුණියන් අතට ජංගම දුරකථන දීම වඳුරන්ට දැලි පිහි දුන්නාට හපන් ය. නමුත් මෙය තරුණයන්ගේ අවුලක් පමණක් ම නොවේ. දිවි නසා ගත් තරුණයාට ගස් බැඳ පහර දීම ම වැරදි ය. එම කුරිරු දසුන සිය ජංගම දුරකථනයෙන් පටිගත කිරීම සාහසික ය. සදාචාරය හෝ ගුණධර්ම හෝ යුක්තිය හෝ පිළිබඳව කිසිදු අදහසක් නොමැතිව එය ලෝකයට ම පෙනෙන්න සමාජ මාධ්‍යයට මුදා හැරීම යක්ෂ ය. ඇතැම් විට මෙය කියවන ඔබ වුවත් එසේ කරනු ඇත. මේ සමාජයේ අර්බුදයේ ගැඹුර ඔබට වැටහෙනවා ද?

දීප්ති කුමාර මෙන් ම ධම්ම දිසානායකත් අපෙන් අසන්නේ ඉතින් මෙයට විසඳුම කුමක්ද? කියා ය. මාගේ පිළිතුර නම් මෙයට දැන් විසඳුමක් නැත ය යන්න ය. මෙය විසඳිය හැකි ව තිබූ සීමාව 2022 අරගලයත් සමග අවසන් වූ බව මාගේ තර්කය යි. ඊනියා අරගලය යනු ඔවුන් කියූ පරිදි ගෝඨාභය ගෙදර යැවීමක් නොවේ. එය අජිත් පැරකුම් ජයසිංහ කියන පරිදි සිංහල බෞද්ධ ගොවිගම හෙජමොනියක් බිඳ දැමීමක් ද නොවේ. එය සමස්ත ලක් සමාජයේ ම හිරිඔතප්පය ගලවා දැමීමකි.
මා කියන්නේ මේ ආකාරයට අනෙකාට පහර දෙමින් එය පෙන්වමින් කුරිරු සතුටක් ලබන බිහිසුණු සමාජයක් බවට අප පත් වී තිබෙන බව ය. නිර්මාල් දේවසිරිගේ අනර්ථකාරී දර්ශනයෙන් කිවහොත් ‘ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ජනතාවක්’ දැන් නිර්මාණය වී තිබේ. මේවා තවදුරටත් සීමිත හුදෙකලා සිදුවීම් නොවේ. බහුත්ව සමාජය ම දැන් මේ ආකාරය. මිනිසුන් ඉන්නේ දැඩි වෛරයෙනි. කොයි වෙලාවේ අනෙකාට හිංසාවක් කළ හැකිද කියා සිතමිනි. එවැනි හිංසන වීඩියෝ සොයමින් ඔවුන් යූටියුබයේ ද බුකියේ ද ටික්ටොකේ ද ඉහළ පහළ යන්නේ කුඩුකාරයෙකු මත සොයන්නාක් මෙනි.
මේ සා පුළුල් සහ ගැඹුරු තරමට සමාජයේ සදාචාර සීමා බිඳ දැමූ පසු ඒවා නැවත සකස් කළ නොහැකි ය. ඒ සඳහා අවශ්‍ය ආගමික සංස්ථා දැන් නොමැත. බොහෝ පන්සල් අද ව්‍යාපාරික ස්ථාන ය. බුදුන් ලංකාවේ ඉපදී ඇත. ධර්මය වහරක වී ඇත. කතෝලික පල්ලිය සාතනල් විසින් පළිගැනීමේ නිරයක් කර තිබේ. විශ්ව විද්‍යාල තුළ දාර්ශනික සංවාද නැත. පාසල් අධ්‍යාපනයේ ලොකුම අවශ්‍යතාවය සංසර්ග විධික්‍රම වී ඇත. ජනමාධ්‍යයේ ප්‍රමුඛතාවය සමලිංගිකත්වය වී ඇත. ඉරාජ් වීරරත්න වරක් පාරම් බෑ ලංකාවේ සංස්කෘතික සාරධර්ම එකින් එක ගැලවීමේ ව්‍යාපෘතිය සාර්ථක වී තිබේ.

ඉදින් මෙවැනි සමාජයක් නැවත යහමගට ගැනීමට නොහැකි ය. ඒ සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වයක් මෙරට නැත. ඉන්නේ මේ සමාජයට ම ගැලපෙන එය තව තවත් වෛරයේ ම ගිල්වන ආණ්ඩුවක් සහ අන්ධභූත විපක්ෂයකි. සජිත් ප්‍රේමදාසලාට හෝ නාමල් රාජපක්ෂලාට හෝ මේ අර්බුදයේ පතුල නොපෙනේ. ඔවුන් පවා මේ තරුණයාට කළ අපරාධය ගැන පාර්ලිමේන්තුවේ කථා කරන්නේ නැත. මේ අයුරින්ම ගම්වැසියන්ගෙන් ගුටි කා පසුව පොලිසියේ දී මිය ගිය අහිංසක තරුණයා ගැන මතකයක් නැත. ඔවුන් කථා කරන්නේ මතුපිට මළ විකාර ය.
එබැවින් ඔබ මග තොට යන විට ඉතාම ප්‍රවේශමෙන් යන්න එන්න. සුළු හෝ අත්වරදක් වුවහොත්, අවට සිටින හෙළ යකුන් ඔබව කීතු කීතු කරනු ඇත. රාවණාගෙන් පැවත එන රකුස් පුතෙක් එය ජංගම දුරකථනයෙන් ලයිව් දෙනු ඇත. එය බලන ලකේ සියල්ලෝ ‘ඕකාට හොඳ වැඩේ!’ කියමින් ලයික් කරනු ඇත. ධර්මය ඔබට මග වේවා!
