ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත විද්‍යුත් හා සමාජ මාධ්‍ය දක්වා පුළුල් කෙරේ.

පුවත්පත් මණ්ඩල පනත

පුවත් පතක පළවන වැරදි තොරතුරු නිවැරදි කිරීමේ වගකීම, එම පුවත්පතේ මුද්‍රිත පුවත්පතට පමණක් සීමා නොවී, අදාළ තොරතුරු ප්‍රචාරය කළ විද්‍යුත් හා සමාජ මාධ්‍ය වෙතද පැවරෙන පරිදි 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඊයේ (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශ කළා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, පුවත්පතක පළකරන ලද වැරදි තොරතුරක් සම්බන්ධයෙන් පුවත්පත් මණ්ඩලය විසින් නියෝගයක් ලබාදුන හොත්, එම නියෝගය ඒ ආකාරයෙන්ම, අදාළ පුවත විකාශය කළ විද්‍යුත් ජනමාධ්‍ය ආයතනවලටද බලපැවැත්වෙන ආකාරයට 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වූ බවයි.

“පුවත්පතක පළකරන ලද වැරදි තොරතුරක් පුවත්පත් මණ්ඩලය විසින් නිවැරදි කිරීමෙන් අනතුරුව, එය අදාළ පුවත්පතේ පමණක් නිවැරදි කිරීම ප්‍රමාණවත් වෙන්නේ නෑ. මොකද ඒ පුවත්පත විද්‍යුත් මාධ්‍ය සහ අන්තර්ජාලය මගින් ප්‍රකාශයට පත්කරනවා. ඒ අනුව පුවත්පත් මණ්ඩලය යම් නිවැරදි කිරීමක් සඳහා නියෝගයක් ලබාදුන්ණොත්, ඒ පුවත කියවන ලද විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍යත් ඒ කටයුත්ත කළ යුතුයි කියන කාරණය වෙනුවෙන් තමයි මේ පනත් කෙටුම්පත් සංශෝධනය වෙන්නේ”යැයි අමාත්‍යවරයා කියා සිටියා.

මීට අමතරව, මුද්‍රිත පුවත්පත්වල විද්‍යුත් ප්‍රකාශන සහ මුද්‍රිත පුවත්පත් ස්වරූපයෙන් පළකරනු ලබන විද්‍යුත් පුවත්පත් හෝ සඟරා ලියාපදිංචි කිරීම සහ ඒවා සම්බන්ධ පැමිණිලි විභාග කිරීම සඳහාද මෙම සංශෝධන මඟින් විධිවිධාන සලසා තිබෙනවා.

වර්තමානයේ සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමඟ පුවත්පත හා ගුවන්විදුලියට අමතරව රූපවාහිනිය, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල ඉතා වේගයෙන් ජනතාව අතර ව්‍යාප්ත වී ඇති අතර, එමඟින් ජන ජීවිතය වෙත ප්‍රබල බලපෑම් එල්ල වී තිබෙනවා.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත

Social Sharing
අවකාශය නවතම