
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පුළුල් බඳ සහිත නව ගුවන්යානා ඇණියක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී සිදුව ඇති අමෙරිකානු ඩොලර් මිලියන දෙකක පමණ දූෂණ වංචා සම්බන්ධයෙන් අධිකරණය මඟහැර විදේශගතව සිටින ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරියට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විවෘත වරෙන්තුවක් ඊයේ (15) නිකුත් කළේය. එම වරෙන්තුව ජාත්‍යන්තර පොලීසිය වෙත යොමුකිරීමට ඉංග්‍රිසි භාෂාවෙන් නිකුත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
මෙම නඩුවේ දෙවන සැකකාරිය වන ප්‍රියන්කා නියොමාලි නමැති කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිය වෙනුවෙන් ඇප තැබූ අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිය තැබූ ඇපය රාජසන්තක නොකිරීමට හේතු දක්වන ලෙසත්, ඒ සඳහා නඩුව ලබන ජූලි 22 කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් දෙවැනි සැකකාරිය වෙනුවෙන් ඔවුන් දෙදෙනා අධිකරණය හමුවේ ඇප තැන්පත් කර ඇත.
දෙවැනි සැකකාරියට වරෙන්තු කිහිපයක් නිකුත් කළද අධිකරණය හමුවේ පෙනී නොසිටි බවත්, ජාත්‍යන්තර පොලීසිය හරහා කටයුතු කිරීමට විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙසත්, එය ඉංග්‍රිසි භාෂාවෙන් නිකුත් කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ගනුදෙනුව සම්බන්ධයෙන් තෙවන සැකකරු වන
හිටපු ඇමැති චමල් රාජපක්ෂ මහතාගේ බාල පුතු සමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා වරෙන්තුවක් නිකුත් කර ඇත.
සැකකරු දැනට අමෙරිකාවේ පදිංචි බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහය ලබගන්නා බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත. මෙම නඩුවේ පළමු සැකකරු වන කපිල චන්ද්‍රසේන මහතා සියදිවි නසා ගෙන ඇති අතර ඊට අදාළව මරණ පරීක්ෂණයක්ද පවැත්වේ.
2011-2015 වසරවල සිදුව ඇති බව කියන මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයක් අනුව මෙම නියෝග නිකුත් කර ඇත. එම ගුවන්යානා ගෙන්වීමට මැදිහත් වූ පාර්ශ්වයන් වන රෝල්ස් රොයිස් සමාගම, එයාර් බස් සමාගම සහ ඊට සබැඳි අනෙකුත් සමාගම් සිදු කරන ලද ගිණුම්, ලේඛන, අත්සන්, කාඩ්පත් අංක ඇතුළු සියලු වැදගත් ලියකියවිලි, සූරක්ෂිතව තබන ලෙසටත්, ඒවා සම්බන්ධයෙන් එම සමාගමවල නිලධාරීන්ට ප්‍රකාශයක් ලබාදෙන ලෙසටත් අධිකරණ නියෝග නිකුත් කර ඇත.
2018-08-03 රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා, ජේ.සී. වැලිඅමුණ වාර්තාවට අනුව සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් සිදු කළ ඉල්ලීමට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව රහස් පොලීසිය අධිකරණයට දන්වා සිටි අතර සිද්ධියට අදාළව විමර්ශන පවත්වා ප්‍රගතිය වාර්තා කරන්නැයි මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයෙන් ලද නොතීසි මත දෙවැනි සැකකාරියගේ ඇපකරුවන් වන අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිය අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන් දෙදෙනා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් අධිකරණයට කරුණු දැක්වීය.
උපුටා ගැනීම දිනමිණ
