ව්‍යාජ චෝදනාවක් ගොණු කරමින් නිර්දෝෂි පුද්ගලයෙකු රිමාන්ඩ් කෙරූ මිදිගම පොලීසිය!

වැලිගම පදිංචි විදර්ශන මහතා විවාහක දෙදරු පියෙකි. ඔහුගේ ප්‍රධාන රැකියාව වූයේ සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ සේවය කිරීමයි. ඊට අමතරව මුහුදු වෙරළේ සාද සංවිධානය කිරීමෙන්ද අමතර ආදායමක් උපයා ගත්තේය.

2026 පෙබරවාරි 02 දින අධික වර්ෂාව හේතුවෙන් එදින පැවැත්වීමට නියමිතව තිබූ සාදය අවලංගු කිරීමට සිදු විය. එම නිසා ඔහුට උදව් කළ මිතුරන් පිටත් කර යැවීම සඳහා ත්‍රිරෝද රථයෙන් ගොස් තිබේ. නැවත නිවසට පැමිණීමට සූදානම් වන අතරතුර මිතුරෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී, ඉක්මනින් මුහුදු වෙරළට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

ඔහු එම ස්ථානයට ගිය අවස්ථාවේදී මිදිගම පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු (S.I.) සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මුහුදු වෙරළේ වළ දමා තිබූ යමක් හාරා පිටතට ගනිමින් සිටින බව දැක තිබේ.

ඉන් අනතුරුව එම නිලධාරීන් “තෝ තමයි මේ බිස්නස් එක කරන්නේ” යැයි පවසා ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇත. එහිදී ඔහුගේ බිරිඳ සහ දරුවන්ද පොලිස් ස්ථානයට පැමිණ ඔහු එවැනි මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත නොවන පුද්ගලයෙකු බව ප්‍රකාශ කළද, ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් කළ හැකි කිසිවක් නොමැති බවයි.

පසුව ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්, ඔහු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2.2ක් තිබූ බවට චෝදනා කරමින් නඩු පවරා ඇත. ඒ අනුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

පසුව ඔහුගේ බිරිඳ ලිපියක් සකස් කර පොලිස්පතිවරයා හමුවී සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව මේ සම්බන්ධයෙන් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.

එම විමර්ශනයේදී අත්අඩංගුවට ගැනීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් තිදෙනාගේ සාක්ෂි අතර පරස්පරතා පවතින බවත්, ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අනුව ඔහු අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ ඔහු සතුව කිසිදු මත්ද්‍රව්‍යයක් නොතිබූ බවත් අනාවරණය වී තිබේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් අත්අඩංගුවට ගැනීමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු ලබා දී ඇත. එමෙන්ම මාතර අතිරේක රෙජිස්ට්‍රාර්වරයා වෙත යවන ලද ලිපියකින්ද, ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ මත්ද්‍රව්‍ය සන්තකයේ තිබූ බවට ඉදිරිපත් කළ සාක්ෂි සැක සහිත බැවින් එම නිලධාරීන්ට ස්ථාන මාරු ලබා දුන් බව දැනුම් දී තිබේ.

ඉන් අනතුරුව ඔහුට මාස දෙකක් ඇතුළත අධිකරණයෙන් ඇප ලබා ගැනීමට හැකි වී ඇත.

Social Sharing
නවතම පුවත්