
Numbeo වෙබ් අඩවිය විසින් නිකුත් කළ 2026 වසරේ මධ්‍ය කාලීන ගෝලීය මාර්ග තදබද දර්ශකයට (Numbeo Traffic Index by Country 2026 Mid-Year) අනුව, ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් පවතින රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.
එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 254.5 ක මාර්ග තදබද දර්ශක අගයක් ලබා ආසියාවේ පළමු ස්ථානයට පත්ව ඇති අතර, බංග්ලාදේශය (246.2), ඉරානය (215.3), ඉන්දියාව (205.1) සහ ඉන්දුනීසියාව (191.1) ඊළඟ ස්ථාන හිමිකරගෙන ඇත.
වාර්තාවට අනුව ජෝර්දානය, තුර්කිය, ලෙබනනය, පිලිපීනය සහ පාකිස්ථානය ද ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් සහිත මුල් රටවල් 10 අතරට ඇතුළත් වී තිබේ. එසේම මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව සහ වියට්නාමය සාපේක්ෂව අඩු මාර්ග තදබදයක් වාර්තා කළ රටවල් ලෙස සඳහන් කර ඇත.
ගෝලීය මට්ටමින් ශ්‍රී ලංකාව ලොව තුන්වැනි වැඩිම මාර්ග තදබදයක් ඇති රට ලෙස ශ්‍රේණිගත කර ඇති අතර, පළමු ස්ථානය නයිජීරියාවට සහ දෙවැනි ස්ථානය කොස්ටාරිකාවට හිමිව තිබේ. බංග්ලාදේශය සහ කෙන්යාව ගෝලීය මුල් රටවල් පහ සම්පූර්ණ කරයි.
Numbeo මාර්ග තදබද දර්ශකය සකස් කිරීමේදී ගමන් කාලය, තදබදය හේතුවෙන් අපතේ යන කාලය, ඉන්ධන අකාර්යක්ෂමතාව සහ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වැනි සාධක සැලකිල්ලට ගෙන සමස්ත මාර්ග තදබදය ඇගයීමට ලක් කර ඇත.
