
කන්තලේ ප්‍රාදේශීය සභාව විසින් පාලනය කරනු ලබන ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි කසල බැහැර කිරීමේ අංගණයට නිරන්තරයෙන් වන අලි පැමිණෙන්නේ එහි බැහැර කරන කසල ආහාරයට ගැනීම සඳහාය. මෙලෙස කසල ආහාරයට ගැනීමට පැමිණෙන වන අලින් හේතුවෙන් ජයන්තිපුර සහ සූරියපුර ප්‍රදේශවල ජනතාවගේ ජීවිත හා දේපළ දැඩි අවදානමකට ලක්ව තිබේ.
මේ වන විට වන අලි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර නිවාස 56කට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇත. එමෙන්ම එම ප්‍රදේශයේ ගොවිබිම්වලටද දැඩි හානි සිදුවෙමින් පවතී.
මෙම ගැටලුව සම්බන්ධයෙන් 2025 සහ 2026 වර්ෂවලදී කන්තලේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත පැමිණිලි දෙකක් ලැබී තිබූ අතර, එම පැමිණිලි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට මෙන්ම අදාළ ආයතන හා අමාත්‍යාංශ වෙතද යොමු කර තිබේ. එහෙත් මේ දක්වා මෙම ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා කිසිදු ප්‍රායෝගික පියවරක් ගෙන නොමැති බව ප්‍රදේශවාසීහු පවසති.
මෙලෙස කසල ආහාරයට ගැනීම හේතුවෙන් වන අලින්ගේ ජීවිතද අවදානමට ලක්වෙමින් පවතින අතර, එය මිනිස් අලි ගැටුම තවදුරටත් උග්‍ර වීමටද හේතු වී ඇත.
මෙම කසල බැහැර කිරීමේ අංගණය වටා ආරක්ෂිත වැටක් ඉදිකරන ලෙස ප්‍රදේශවාසීන් විසින් කන්තලේ ප්‍රාදේශීය සභාව වෙත අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත්, ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීමට ප්‍රාදේශීය සභා නිලධාරීන් අපොහොසත් වී තිබීම කනගාටුවට කරුණකි.
