
2017 වසරේ කටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරමින් සිටියදී තමන් යටතේ සේවය කළ පොලිස් සැරයන්වරයකුට සහ පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ චෝදනා තුනටම වැරදිකරු බවට තීන්දු වූ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් තේමීය සේනාරත්න මහතාට මාස 9ක සිරදඬුවමක් නියම කර එය වසර 5කට අත්හිටුවීමට මීගමුව අධිකරණය නියෝග කර තිබේ.
ඊට අමතරව, පහරකෑ පොලිස් සැරයන්වරයාට රුපියල් ලක්ෂ 5ක වන්දියක් සහ පොලිස් කොස්තාපල්වරයාට රුපියල් ලක්ෂ 7.5ක වන්දියක් ගෙවීමටත්, එම වන්දි නොගෙවන්නේ නම් තවත් මාස 12ක සිරදඬුවමක් නියම කරන බවත් අධිකරණය ප්‍රකාශ කළේය.
මෙම නඩුව සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මීගමුව අධිකරණය සඳහන් කළේ විත්තිකරු චෝදනා තුනටම වරදකරු බවයි. දඬුවම් නියම කිරීමට පෙර විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා, පෙර වැරදි නොමැති බැවින් ලිහිල් දඬුවමක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
2017 වසරේ සිදුවූ මෙම සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් නඩු පවරා තිබූ අතර, නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. වසර 9ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
නිරතුරුවෙන් පොලිසියෙන් සාමාන්‍ය වැසියන්ට එල්ලවන වධහිංසා සම්බන්ධයෙන් අප සාකච්ඡා කළද, පොලිස් නිලධාරීන් ද තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වධහිංසා හා ප්‍රචණ්ඩත්වයට ලක්වන බව මෙම නඩුවෙන් ද පැහැදිලි වේ. එය වධහිංසා යනු මහජනතාවට පමණක් නොව, නීතිය ක්‍රියාත්මක කරන ආයතන තුළද මුල් බැසගත් බරපතළ සංස්කෘතික ගැටලුවක් බව පෙන්නුම් කරයි.
