“ සී . අයි. ඩි. යේ හිටපු ලොක්කා වහකා දිවිනසා ගනී” – විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි


ශ්‍රීමත් ජෝන් කොතලාවල මෙරට තුන්වන අග්‍රාමාත්‍යවරයාය. ඔහු 1953 සිට 1956 දක්වා මෙරට අග්‍රාමාත්‍ය ධූරය දැරුවේය. ඔහු අග්‍රාමාත්‍ය ධූරය බලාපොරොත්තු වූයේ 53 නොව 52 කේ දීය. ඒ ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ඩී.එස්.සේනායක අභාවප්‍රාප්ත වූ අවස්ථාවේදීය. එනමුත් ඒ මොහොතේ අගමැතිකම දුන්නේ ඩී.එස්ගේ පුත් ඩඩ්ලි සේනානායකටය. ඔහු 1953 පැවති හර්තාලය හේතුවෙන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වීම කරුණු කොට එවකට සභානායක ලෙස කටයුතු කළ ජෝන් කොතලාවල අග්‍රාමාත්‍ය ධූරයට පත් කෙරිණි. ඔහුගේ නායකත්වයෙන් 1956 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදුණු එක්සත් ජාතික පක්ෂය තම පක්ෂ ඉතිහාසය තුළ ගත් දරුණුම පරාජයක් ලෙස සනිටුහන් කරමින් ආසන අටට බැස්සේ මේ මැතිවරණයේදීය.පසු කලෙක එජාපය මීට වඩා දරුණු පරාජයන් වලට මුහුණ දුන්නද එකල ශක්තිමත් නායකයින් රැසක් සිට් එජාපයට මෙවැනි පරාජයක් අපේක්ෂා කළේ නැත .

ජෝන් කොතලාවල් වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ දඩම්බර හිතුවක්කාර චරිතයක් ලෙසය. ඔහුවටා ගෙතුණු කතා අපමණය. ඒ අතර “දුස්සීල මහණුන්ගේ හිසට තාරගා උපැවදී කළ යුතු බවට” කරන ලද ප්‍රකාශය 1956 පාර්ලිමේන්තු මැතිවරණයේදී මහත් ආන්දෝලනයට ලක් වූ ප්‍රකාශයක් විය. ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ පියාවූ ජ්‍යෙෂ්ඨ ජෝන් කොතලාවල වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පොලිස් නිලධාරියෙකු ලෙස ඔහු විසින් දක්වන ලද සුවිශේෂ දස්කම් හේතු කොටගෙනය.

1864 නොවැම්බර් මස 4 වන දින පිළියන්දලදී උපත ලද ජේෂ්ඨ ජෝන් කොතලාවල කොළඹ රෝයල් වෙස්ලි මෙන්ම ගල්කිස්සේ ශාන්ත තෝමස් යන විදුහල් තුනෙන්ම අධ්‍යාපනය හදාරා ඇත. ඔහුගේ මුල්ම රැකියාව වී ඇත්තේ එවකට පොලිස් මූලස්ථානයට අනුයුක්තව තුන්වන පන්තියේ කොස්තාපල් ලිපිකරුවකු ලෙස සේවය කිරීමය. දිනක සවස් කාලයේ පෑලියගොඩ වික්ටෝරියා පාලමෙන් කැළණි ගඟට පැන්න කාන්තාවක් එම ස්ථානය අසලින් ගමන් කරමින් සිටි කොතලාවල තරුණයා ගඟට පැන බේරා ගත්තේය. ඒ වීරත්වය මුල්කොට එවකට සේවය කළ පොලිස්පතිවරයා වූ ශ්‍රීමත් ජෝර්ජ් කැම්බල් විසින් කොතලාවල ඔහු එතෙක් සේවය කරන ලද ලිපිකරු සේවයෙන් ඉවත් කර උප පොලිස් පරීක්ෂකවරයෙකුලෙස ප්‍රාදේශීය පොලිස් සේවාව සඳහා උසස් වීමක් දුන් බව කියැවේ.
ඔහුගේ මුල්ම පත්වීම ලැබී ඇත්තේ මෝදර පොලිස් ස්ථානාධිපති. එකල මෝදර ප්‍රදේශය තම ග්‍රහණයට ලක් කරගෙන සිටි දරුණු අපරාධකාරයකුවූ “කොටි සයිමන්” මෙල්ල කිරීමෙන් පොලිස් පරීක්ෂක කොතලාවල එකල ඉමහත් ප්‍රසිද්ධියට මෙන්ම ජනාදරයටද පත්ව ඇත.පොලිස් ඉතිහාසය සම්බන්ධව සොයා බැලීමේදී තවත් පැහැදිලි වන කරුණක් වී ඇත්තේ පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කොතලාවල එකල කොළඹ නගරය පුරා පැතිර පැවැති නොයෙක් දූෂිත මධ්‍යස්ථාන මෙන්ම එම ජාලයන් හා බැඳුණු පොලිස් නිලධාරීන්ට ද එරෙහිව කටයුතු කළ යකෙකුටවත් බය නැති වුණා අවංක පොලිස් නිලධාරියෙකු බවය.

මෙම වකවානුවේ ග්‍රෑන්ඩ්පාස් ,කොස්ගස් හන්දියේ නෙයිනා මොහොමඩ් නැමැති තවත් දාමරිකයකු විසින් ඉතා සංවිධානාත්මක ලෙස පවත්වාගෙන යනු ලැබූ සූදු පොලක්, මුදල් පොලියට දෙන “හෙට්ටි මිනිසකු” ලෙස වෙස්වලාගෙන ගොස් වැටලීමත්. නෙයිනාගේ ආරක්ෂාවට ඔහු විසින් ඇතිදැඩි කරන ලද නාගර අන් සහිත එළුවකු මෙල්ල කිරීමත් එකල ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබූ සිද්ධියකි. මෙම සිද්ධිය මුල් කොට “නෙයිනාගේ සූදුව” නමින් වේදිකා නාට්‍යයක්ද “දයා වයමන්” නිර්මාණය කලේය. මෙම නාට්‍යයේ විරැදු කාරයකුවූ ප්‍රකට රංගධර ජැක්සන් ඇන්තනි ඉදිරිපත් කරන ලද රංගනය තවමත් ප්‍රේක්ෂකයින්ගේ මතකයෙන් රැඳී ඇති සුවිශේෂ රංගනයක් බව කිව යුතුමය

ජ්‍යෙෂ්ඨ ජෝන් කොතලාවල තවත් විෂයක් සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකටව සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොහොත් සී. අයි.ඩි ය යනු ශ්‍රී ලංකා පොලිසිය තුළ පිහිටා ඇති ප්‍රධානම විමර්ශන ආයතනයයි. එංගලන්තේ ස්කොට්ලන්ඩියාඩ් පොලිසියේ අනුරුවක් ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් 1902 පිහිටවන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්ම ස්ථානාධිපතිවරයා ලෙස සේවය කර ඇත්තේ පොලිස් පරීක්ෂක කොතලාවලය. එකළ ඉතා ප්‍රසිද්ධ තරුණ දඩබ්බර පොලිස් නිලධාරියෙකු වූ කොතලාවල විවාහ වූයේ ශ්‍රී ලංකාවේ විසූ ඉඩම් හිමි වැවිලිකරුවකු මෙන්ම මිනිරන් පතල් හිමිකරුවකු සහ ප්‍රකට ව්‍යාපාරිකයෙකුවූ මුදලි දොන් චාල්ස් ජෙරමියස් ආටිගලගේ දියණිය වූ ඇලිස් එළිසබෙත් ආටිගල සමගය. ඇලිස්ට තවත් සහෝදරියන් දෙදෙනෙකු සිටියහ. එක් සහෝදරියක් වූ කැරලින් ලීනා විවාහ වූයේ කර්නල් ටී. ජී. ජයවර්ධන සමගය. ඔහු වනාහි ජේ.ආර්. ජයවර්ධනගේ බාප්පාය. ජේ.ආර්. ගේ තාත්තාගේ බාල සොහොයුරෙකි. ඇලිස්ගේ බාල සොහොයුරිය එලන් විවාහ වූයේ ඩී.එස් සේනානායකගේ සොහොයුරකු වූ එෆු්. ආර්. සේනානායක සමගය. එසේ බලන විට ආටිගල මුදලිුඳුගේ දූවරුන් තිදෙනාම දේශපාලන පවුල් ගහේ මහා පුරුක්ය. ලංකාවේ මිනිරන් රජු ලෙස ප්‍රකට ආටිගල පවුලෙන් කරගත් විවාහය හේතුවෙන් කොතලාවලට දෑවැද්ද ලෙස විශාල ධනස්කන්ධයක් හිමිවිය. විවාහයෙන් පසු පොලිස් සේවාවෙන් ඉවත් වූ කොතලාවල බිරිඳගේ පවුලේ ව්‍යාපාරික කටයුතු පාලනයට මෙන්ම ඔහු විසින්ම ආරම්භ කරන ලද ප්‍රවාහන සේවාවක් සහ තවත් වෙළඳ ව්‍යාපාර ගණනාවක් කළමනාකරණය කර ඇත.

ජ්‍යෙෂ්ඨ ජෝන් කොතලාවලගේ බිරිඳගේ සොහොයුරා වූයේ ප්‍රැන්සිස් ඩික්සන් ආටිගලය. විදෙස් ගතව සිටි ඔහු ලංකාවට පැමිණ පියාගේ ව්‍යාපාර පරිපාලනය කිරීමට පටන් ගත්තේය. ඩික්ෂන් ආටිගල සමග ව්‍යාපාරික ආරෝවක පැටලුණු කොතලාවල 1906 දෙසැම්බර් මස 5 වන දින කුලී ඝාතකයකු යොදවා ඔහුගේ මස්සිනාවූ ඩික්ෂන් ආටිගලව ඝාතනය කලේය. මෙම ඝාතන සිද්ධියට සතියකට පමණ පෙර ඔහු සිය බිරිඳ සමග ව්‍යාපාරික සංචාරයක් සඳහා ජපානයට ගොස් ඇත. එකල ඉතා ප්‍රසිද්ධියට මෙන්ම මහජනතාව අතර විශාල කැලඹීමක්ද ඇති කරන ලද මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධව විමර්ශන කටයුතු පැවරී ඇත්තේද සීඅයිඩිය නොහොත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධිය සම්බන්ධව පවත්වනු ලැබූ දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම ඝාතනයට සම්බන්ධ ඝාතකයා ලෙස “පිළොරිස්” නමැති කුලී ඝාතකයකු අත්අඩංගුවට ගනු ලැබීය. මේ සම්බන්ධව කරනු ලැබූ වැඩිදුර විමර්ශනයේදී කොතලාවල ගේ උවමනාව පරිදි ඔහු සමග කලක් පොලිසියේ සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුවූ සිං⁣ඥෝ පෙරේරා සහ බාරොන් සිං⁣ඥෝ යන අය විසින් කුලී ඝාතකයා වෙත මෙම කොන්ත්‍රාත්තුව භාර දුන් බවද හෙලිවිය. වෙඩි තැබීම සඳහා උපයෝගී කරගන්නා ලද පතරොම් තුවක්කුවද සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත.

විදේශ සංචාරය නිමකර නැවෙන් මෙරටට පැමිණි කොතලාවල කොළඹ කොටුවේ වරාය පර්යන්තයේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඩික්සන් ආටිගල ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙසය. කොතලාවල ප්‍රථම ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරනු ලැබූ සීඅයිඩිය විසින්ම ඔහුව අත්අඩංගුවට ගැනීමද දෛවෝපගත සිදුවීමක් ලෙස සැලකිය හැක.

මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධව කොතලාවල , සිං⁣ඥෝ පෙරේරා සහ බාරන් සිං⁣ඥෝ විරුද්ධව මහාධිකරණයේ නඩු පැවරුණි. කුලී ඝාතකයා වූ පිලෝරිස්ට රජුගේ සමාව ලැබීම හේතුකොට ඔහු රජයේ සාක්ෂිකරුවකු ලෙස පත්කිරීමට එවකට නීතිපතිවරයා ලෙස කටයුතු කළ “ඇල්ෆඩ් ලැසලේස් ” තීරණය කළේය.

මාස කීපයක් පුරා දිගට ඇදුණු මහාධිකර නඩුු විභාගය අවසන් වූයේ ජ්‍යෙෂ්ඨ කොතලාවල , සිං⁣ඥෝ පෙරේරා මෙන්ම බාරූන් සිං⁣ඥෝටද මෙම ඩික්සන් ආටිගල ඝාතනය සම්බන්ධව වරදකරුවන් කරමින් මරණීය දණ්ඩනයට ලක් කිරීමෙනි.

එල්ලා මැරීමට නියමිත සිරකරුවකු ලෙස මාස කීපයක් වැලිකඩ බන්ධනාගාරයේ ගත කළ කොතලාවල ඔහුගේ වයස අවුරුදු 43 වන වියේදී 1907 අප්‍රේල් මස 20 වන දින වස පානය කිරීමෙන් සියදිවි හානි කරගත් බව කියැවේ. කොතලාවලට සියදිවි හානිකර ගැනීම සඳහා බන්ධනාගාරය තුලට වස රැගෙනයාම කෙසේ සිදුවූවේදැයි අදටත් අභිරහසකි.

ජේෂ්ඨ කොතලාවලගේ හදිසි මරණය නිසා කොතලාවල පවුලට හෙන හුරා පාත් වූයේය. ආදායම් මාර්ග නැතිවීම හේතුවෙන් ජෝන් කොතලාවලගේ දරුවන් රැකබලා ගත්තේ බාප්පාවූ එෆ්. ආර්. සේනානායකය.මේ දරුවන් තිදෙනා වූයේ ජෝන් ලයනල් කොතලාවල (කනිෂ්ඨ) , ජස්ටින් කොතලාවල සහ ප්‍රීඩා කොතලාවල( කනිෂ්ඨ)ය.

ජෝන් කොතලාවල දේශපාලනයට පිවිස මෙරට අගමැති පුටුවේ වාඩි වූයේය. ජස්ටින් කොතලාවල ව්‍යාපාර ලොව රජවිය. “සෙලින්කෝ” ව්‍යාපාරයේ අධිපතිව සිටි ලලිත් කොතලාවල ජස්ටින් කොතලාවලගේ පුත්‍රයාය. ප්‍රීඩා කොතලාවල සුප්‍රකට “කොරයා” පෙළපතින් විවාහ විය. ඇයගේ පුතා වූ ආචාර්ය ගාමිණි කොරයාද ආර්ථික විශේෂඥ ලෙස ලොවට සුපතල චරිතයක් විය.

Social Sharing
නවතම පුවත්