මීගමුව බන්ධනාගාර සිද්ධියේ සත්‍ය හෙළිවිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය කියයි.

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ඛේදජනක ප්‍රචණ්ඩ සිදුවීමෙන් මියගිය සහ තුවාල ලැබූ සියලු දෙනාගේම පවුල්වලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ සත්‍ය දැනගැනීමට මෙන්ම වගකිවයුතු පුද්ගලයන් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් ලබන අයුරු දැකීමට අයිතියක් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.

එම කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා රවීනා ෂම්දාසනී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම අයිතිය බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල්වලට පමණක් නොව, ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබූ රැඳවියන්ගේ පවුල්වලටද සමාන ලෙස හිමිවන බවයි.

ඇය පෙන්වා දුන්නේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ව්‍යුහාත්මක ගැටලු රැසක් යළිත් අවධාරණය කරන සිදුවීමක් බවයි. නඩු විභාගයට පෙර පුද්ගලයන් දීර්ඝ කාලයක් රඳවා තැබීම, බන්ධනාගාරවල අධික තදබදය සහ රැඳවුම් මධ්‍යස්ථානවල ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම වැනි ගැටලු කඩිනමින් විසඳීමේ අවශ්‍යතාව මෙම සිදුවීමෙන් පැහැදිලි වන බවද ඇය සඳහන් කළාය.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සැළකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් රඳවා සිටින බව පෙන්වා දුන් ඇය, එවැනි පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙකුට සිරදඬුවම් ලබාදීමට වඩා සෞඛ්‍ය හා ප්‍රතිකාර කේන්ද්‍ර කරගත් ප්‍රතිපත්තිමය විසඳුම් ලබාදීම වඩාත් යෝග්‍ය වන බවද අවධාරණය කළාය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන, අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන් නීතිය ඉදිරියට පමුණුවන අතරම, ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමේ අවශ්‍යතාවද මෙම නිවේදනයෙන් අවධාරණය කර ඇත.

Social Sharing
නවතම පුවත්