
ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයක් කරා ගමන් කරමින් සිටියද, තවමත් සෑම ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දුප්පත්කමින් පීඩා විඳින බවත්, මෙරට පවුල් තුනෙන් එකකට පෝෂ්‍යදායී හා ප්‍රමාණවත් ආහාර ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් මහතා පවසයි.
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම යනු එකිනෙකට වෙනස් කරුණු දෙකක් බවත්, එම වෙනස බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ජීවිතයෙන් තවමත් පැහැදිලිව දැනෙන බවත්ය.
වැටුප් මට්ටම් ක්‍රමයෙන් ඉහළ යමින් තිබුණද, බොහෝ දෙනෙකුගේ ආදායම තවමත් ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වී නොමැති බව ඔහු පැවසීය. එමෙන්ම රැකියා වෙළෙඳපොළද තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වී නොමැති අතර, එහි බලපෑම විශේෂයෙන් කාන්තාවන්ට වැඩි වශයෙන් දැනෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයේ ගැඹුරු අවධියෙන් මිදී තිබුණද, ආර්ථිකය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමේ ගමන තවමත් අවසන් වී නොමැති බව සාර්ගසියාන් මහතා සඳහන් කළේය.
එමෙන්ම දිට්වා සුළි කුණාටුව සහ මැද පෙරදිග පවතින අර්බුදය වැනි බාහිර සාධක ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියට අභියෝග එල්ල කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙරට ලබාගෙන ඇති ආර්ථික ප්‍රගතිය ජනතාවගේ එදිනෙදා ජීවිතයට සැබෑ ප්‍රතිලාභයක් ලෙස දැනෙන බව සහතික කරමින්, ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.
ඒ සඳහා පුද්ගලික අංශය මූලික කරගත් රැකියා උත්පාදනය කඩිනම් කිරීම ශ්‍රී ලංකාවේ මීළඟ ප්රමුඛ ආර්ථික අභියෝගය බවද ලෝක බැංකු කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මූලාශ්‍රය: ලංකාදීප
