මීගමුව බන්ධනාගාර සිද්ධිය සහ අනෙකුත් බන්ධනාගාරවල සිදුවීම් පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාව නිල විමර්ශනයක් අරඹයි

මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සහ ඉන් අනතුරුව අනෙකුත් බන්ධනාගාරවල සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) නිල විමර්ශනයක් ආරම්භ කර ඇති බව නිවේදනය කර තිබේ.

2026 ජූලි 10 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් කොමිෂන් සභාව සඳහන් කළේ, විමර්ශනයේදී ප්‍රධාන කරුණු තුනක් පිළිබඳ අවධානය යොමු කරන බවයි.

ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හටගැනීමට හේතු වූ පසුබිම, එම සිද්ධියෙන් රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් මිය යාමට හා තුවාල ලැබීමට බලපෑ කරුණු, 2026 ජූලි 7 වනදා රාත්‍රී වැලිකඩ බන්ධනාගාරයට පූර්ව දැනුම්දීමකින් තොරව ගිය මානව හිමිකම් කොමිෂන් සභා නිලධාරීන්ට ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීම සහ මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කළ රැඳවියන්ට වධහිංසා හෝ වෙනත් අයුතු සැලකිලි සිදු කළ බවට එල්ල වී ඇති චෝදනා මෙන්ම, බන්ධනාගාර භාරයේ සිටියදී රැඳවියන් දෙදෙනෙකු මිය යාමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව කොමිෂන් සභාව සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙම විමර්ශනවලට අදාළව මෙතෙක් කිසිදු අවසන් නිගමනයකට එළඹ නොමැති බවත්, රැඳවියන්ගෙන් සහ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම ඇතුළු සාක්ෂි රැස් කිරීම සහ ඒවා ඇගයීම මේ වන විට සිදුකරමින් පවතින බවත් කොමිෂන් සභාව පැවසීය.

මීගමුව බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කළ රැඳවියන් හමුවීමට කොමිෂන් සභා නිලධාරීන් කළ නිරීක්ෂණ සංචාරවලදී, රැඳවියන් කිහිප දෙනෙකු තුවාල ලබා සිටින බව නිරීක්ෂණය කළ බවත්, ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රමාද වී ඇති බවත් මූලික සොයාගැනීම්වලින් අනාවරණ වී ඇතැයි සඳහන් කරයි.

තුවාල ලැබූ රැඳවියන්ට ප්‍රමාදයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු බව අවධාරණය කළ කොමිෂන් සභාව, එවැනි ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමානුකූල ප්‍රමාදයක් පළිගැනීමක් ලෙස සැලකිය හැකි බවද පෙන්වා දී ඇත.

මේ අතර, 2026 ජූලි 7 වනදා රාත්‍රී වැලිකඩ බන්ධනාගාරයට කොමිෂන් සභා නිලධාරීන්ට ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීම 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත උල්ලංඝනය කිරීමක් බවද කොමිෂන් සභාව අවධාරණය කරයි.

එමෙන්ම, වධහිංසා සහ අයුතු සැලකිලි පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා ඕනෑම අවස්ථාවක පූර්ව දැනුම්දීමකින් තොරව රැඳවුම් ස්ථාන පරීක්ෂා කිරීමේ බලය කොමිෂන් සභාවට හිමිවන බවත්, ජූලි 7 වනදා ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම චෝදනා නියමිත කාලරාමුව තුළ ඵලදායී ලෙස විමර්ශනය කිරීමේ අවස්ථාවට බාධා එල්ල වූ බවත් නිවේදනයේ සඳහන් වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (රාජකාරි ආවරණය කරන) සහ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා කොමිෂන් සභාව හමුවට කැඳවා ඇති බවද එහි සඳහන්ය.

විමර්ශනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරියේදී වරින් වර මහජනතාව දැනුවත් කරන බවත්, එම තොරතුරු නිවැරදිව හා වගකීමෙන් යුතුව වාර්තා කරන ලෙස සියලුම මාධ්‍ය ආයතනවලින් අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

Social Sharing
නවතම පුවත්