
මොනරාගල දිස්ත්‍රික්කයේ සුන්දරත්වය ඕනෑම සංචාරකයෙකුගේ නෙත් පිනවීමට සමත්ය. එහෙත්, ඒ මනරම් සුන්දරත්වයට යටින් දිවෙන, බොහෝ දෙනෙකුට නොපෙනෙන තවත් අඳුරු සහ කටුක පැත්තක් තිබේ. ඒ මොනරාගල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත්වන දමිළ ප්‍රජාවේ, තවමත් තමන්ගේම කියා නීත්‍යානුකූල අනන්‍යතාවයක් සොයාගත නොහැකි වූ අහිංසක දරුවන්ගේ ජීවිතවලට අත්වන ඉරණමයි.
අතේ තිබිය යුතු සෙල්ලම් බඩුව වෙනුවට කුඩා දරුවෙකු වඩාගෙන, සිනහව අමතක වූ දෑසින් යුතුව වතුකරයේ ලයින් කාමර අසල රැඳී සිටින බාලවයස්කාර මව්වරුන් අදටත් සමහර වතු ආශ්‍රිතව දුර්ලභ දසුනක් නොවේ.
වතුකරයේ පවතින දැඩි ආර්ථික දුෂ්කරතා, අධ්‍යාපනය අතරමඟ නතර වීම සහ සමාජීය අනාරක්ෂිතභාවය හේතුවෙන් වයස අවුරුදු 15, 16 වැනි ඉතා අඩු වයස්වලදී ගැහැණු දරුවන් විවාහ කර දීමට හෝ ඔවුන් විවාහ ජීවිතයට ඇතුළත් වීමට පෙළඹී සිටිති.
“ඉස්කෝලේ යන්න විදිහක් තිබුණේ නැහැ. අම්මලා වැඩට ගියාම ගෙදර මල්ලිලා බලාගත්තේ මම. ඊට පස්සේ ඉක්මනටම කසාද බැන්දා. දැන් මටත් දරුවෙක් ඉන්නවා. ඒත් මට තාම අවුරුදු 17යි.”
නම හෙළි කිරීමට අකමැති වූ වතුකරයේ ලයින් කාමරයක ජීවත්වන තරුණ මවක් සිය කතාව සැඟවුණු සුසුමකින් යුතුව මෙසේ විස්තර කළාය.
නීත්‍යානුකූලව විවාහ විය හැකි වයස සම්පූර්ණ වීමට පෙර සිදුවන මෙම අකල් විවාහ හේතුවෙන් මෙම දරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට පමණක් නොව, ඔවුන්ගේ සමස්ත ළමා කාලයටද ආපසු හැරවිය නොහැකි බලපෑම් එල්ල වේ.
මෙම සමාජ ඛේදවාචකයේ ඊළඟ පියවර ඊටත් වඩා බරපතළය. අඩු වයස් විවාහ නීත්‍යානුකූලව ලියාපදිංචි කළ නොහැකි වීම හේතුවෙන්, එවැනි යුවළයන්ට උපදින දරුවන්ගේ උපත ලියාපදිංචි කිරීමේදී (උප්පැන්න සහතිකය ලබා ගැනීමේදී) මව්පියන් දැඩි ගැටලුවලට මුහුණ දෙති.
තවත් සමහර අවස්ථාවලදී මව්පියන්ගේම ජාතික හැඳුනුම්පත් නොමැති වීම, නීතිමය ක්‍රියාපටිපාටි පිළිබඳ නොදැනුවත්කම සහ අවශ්‍ය ලේඛන නොමැති වීම හේතුවෙන් දරුවන්ට උප්පැන්න සහතික ලබා දීමට ඔවුන් අපොහොසත් වී ඇත.
උප්පැන්න සහතිකයක් නොමැති වීම යනු ශ්‍රී ලංකාව වැනි රටක දරුවෙකුගේ මානව අයිතිවාසිකම් උපතින්ම අහිමි වීමකි.
• අධ්‍යාපනය අහිමි වීම: පාසලකට ඇතුළත් වීම සඳහා අවශ්‍ය මූලික ලේඛනය උප්පැන්න සහතිකයයි. එය නොමැති වීම නිසා වතුකරයේ බොහෝ දරුවන්ට නිදහස් අධ්‍යාපනයේ අයිතිය අහිමි වේ.
• අනාගතය අඳුරු වීම: රැකියාවක් ලබා ගැනීම, ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම, බැංකු ගිණුමක් ආරම්භ කිරීම, විභාග සඳහා පෙනී සිටීම හෝ රජයේ සුබසාධන සේවා සහ සහනාධාර ලබා ගැනීම වැනි මූලික අවස්ථා පවා ඔවුන්ට අහිමි විය හැකිය.
වතුකරයේ දමිළ ප්‍රජාව අතර පවතින භාෂා බාධක, නීතිමය ක්‍රියාපටිපාටි පිළිබඳ නොදැනුවත්කම සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ළඟා වීමට ඇති ප්‍රවාහන අපහසුතා මෙම ගැටලුව තවත් සංකීර්ණ කර ඇත.
මෙම තත්ත්වය වෙනස් කිරීමට නම් වතු මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන ඒකාබද්ධව විශේෂ ජංගම සේවා ක්‍රියාත්මක කර, උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් නොමැති පුද්ගලයන් හඳුනාගෙන කඩිනමින් ඒවා ලබාදීමට පියවර ගත යුතුය.
එමෙන්ම අඩු වයස් විවාහවල නීතිමය, සෞඛ්‍යමය සහ සමාජීය බලපෑම් පිළිබඳව වතු ප්‍රජාව පුළුල් ලෙස දැනුවත් කිරීමද අත්‍යවශ්‍ය වේ.
මොනරාගල සුන්දර කඳුයායෙන් හමා එන සිසිල් සුළඟට වතුකරයේ ලයින් කාමර අසල සෙල්ලම් කරන, හෙටක් පිළිබඳ බලාපොරොත්තුවක් නොමැති අහිංසක දරුවන්ගේ නෙත්වල කඳුළු පිසදැමිය නොහැක. ඔවුන්ට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොව, තමන් මේ රටේ පුරවැසියන් බව තහවුරු කරන නීත්‍යානුකූල අනන්‍යතාවය සහ සුරක්ෂිත ළමා වියකි.
සමාජයේ නොපෙනෙන මෙම අඳුරු කොන වෙත අදාළ බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු වී, නීතියේ සහ මානුෂීයත්වයේ දෑත් දිගු කර මෙම දරුවන්ගේ අනාගතය ආලෝකමත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපි දැඩි සේ බලාපොරොත්තු වෙමු.
