වන අලි ප්‍රහාර හමුවේ වගා බිම් විනාශ වෙද්දී, ගොවියාගේ ජීවිතයත් ජීවනෝපායත් අවදානමට!

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසකට නිරන්තරයෙන් වන අලි පැමිණ වගාවන්ට දැඩි හානි සිදු කරමින් පවතී. වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන් විශාල වෙහෙසක් දරන නමුත්, බොහෝ අවස්ථාවලදී එම උත්සාහයන් අසාර්ථක වී වන අලි විසින් වගා බිම් විනාශ කිරීම දිනෙන් දිනම ඉහළ යමින් පවතී.

එසේම, වගාවන් ආරක්ෂා කිරීමේදී වන අලි ප්‍රහාරවලට ලක්ව මරණයට පත් වූ ගොවීන් මෙන්ම ස්ථිර ආබාධිත තත්ත්වයට පත් වූ ගොවීන් ද සිටිති. එවැනි පවුල්වලට රජයෙන් ලබාදිය යුතු සහන සහ වන්දි නිසි පරිදි හා කාලෝචිතව නොලැබෙන බවට ඔවුහු චෝදනා කරති. එබැවින්, විධිමත් ක්‍රමවේදයක් යටතේ සහනාධාර හා වන්දි කඩිනමින් ලබාදෙන ලෙස ඔවුහු වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිති.

වන අලි ප්‍රහාර හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වන පවුල් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම ජාතික මට්ටමේ අවධානය යොමු කළ යුතු ගැටලුවක් බව ඔවුන් පෙන්වා දෙයි.

ගොවිජන අයිතිවාසිකම් සම්බන්ධයෙන් සලකා බැලීමේදී, ශ්‍රී ලංකාවේ ගොවීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පවතින නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව පෙනී යයි. ගොවි ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නොමැති අතර, එම තත්ත්වය හේතුවෙන් ගොවීන්ට අසාධාරණයක් සිදුව ඇති බව ඔවුහු පවසති.

කෙසේ වෙතත්, වන්දි ලබාදීමේ කටයුතු තවදුරටත් ප්‍රමාද නොකළ යුතු බවද අවධාරණය කෙරේ.

කහටගස්දිගිලිය ආපදා කළමනාකරණ නිලධාරීවරයා පවසන පරිදි, වන අලි ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 10 දෙනෙකු මරණයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයන් 21 දෙනෙකු ස්ථිර ආබාධිත තත්ත්වයට පත්ව සිටිති. වන අලි ප්‍රහාරවලින් මරණයට පත්වූවන්ගේ පවුල්වලට සහ තුවාල ලැබූවන්ට වන්දි මුදල් ලබාදීම සඳහා කටයුතු සිදු කෙරෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ගොවි ජනතාව මුහුණ දෙන මෙම ගැටලුවලට කඩිනම් හා තිරසාර විසඳුම් ලබාදීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රදේශවාසීන්ගේ සහ ගොවි ජනතාවගේ අදහසයි.

Social Sharing
අවකාශය පුවත්