නොවිසඳුණු ළමා අපයෝජන පැමිණිලි 46,000 වෙනුවෙන් යුක්තිය ඉල්ලා ඉදිරිපත් කළ මහජන පෙත්සම විපක්ෂ නායකවරයාගේ අතට!

නොවිසඳී පවතින ළමා අපයෝජන පැමිණිලි සඳහා කඩිනම් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් සම්පාදනය කළ මහජන පෙත්සම 2026 ජූලි 9 වැනිදා පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයා අතට භාර දී තිබේ.

මෙම පෙත්සම තුළින් වින්දිත ළමුන් 46,000ක් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ඇති අතර, ලාංකීය පුරවැසියන් 5,600කට අධික පිරිසක් ඊට සිය අත්සන් එක් කර තිබේ. සංවිධායකයින් පවසන්නේ, ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් මහජන පෙත්සමක් මෙලෙස පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කළ පළමු අවස්ථාව මෙය වන බවයි.

මෙම පෙත්සම හරහා රජය විසින් සති දෙකක් ඇතුළත නිල ප්‍රතිචාරයක් ලබාදෙනු ඇතැයි සංවිධායකයින් අපේක්ෂා පළ කර තිබේ. එමෙන්ම පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ සියලු මහජන නියෝජිතයින් ළමා ආරක්ෂණය ප්‍රමුඛ කරගනිමින් කටයුතු කිරීමට මෙම ක්‍රියාවලිය දායක වනු ඇතැයි ද ඔවුන් සඳහන් කරයි.

නොවිසඳුණු ළමා අපයෝජන පැමිණිලි සඳහා කඩිනම් යුක්තිය ඉටු කිරීම අරමුණු කරගනිමින් තුෂාරා වික්‍රමනායක මහත්මිය ඇතුළු කණ්ඩායම විසින් ක්‍රියාත්මක කරන මෙම අත්සන් ව්‍යාපාරයේ ඉලක්කය අත්සන් 40,000ක් ලබා ගැනීමයි.

ඒ අනුව ජූලි 9 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ද මෙම පෙත්සම භාර දී ඇත.

එහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ල සහ රෝහිනී කවිරත්න මහත්මියන් ඇතුළු සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පෙත්සමට සිය අත්සන් එක් කළ බව සංවිධායකයින් සඳහන් කරයි.

 

Social Sharing
නවතම පුවත්