
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර මාස කිහිපයක් පුරා පැවති ගැටුම් අවසන් කිරීම සඳහා මූලික සාම එකඟතාවකට එළඹ ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රකාශ කර තිබේ.
පකිස්ථානයේ මැදිහත්කාරීත්වයෙන් ඇතිවූ මෙම එකඟතාව අනුව, ලෙබනනය ඇතුළු සියලු පෙරමුණුවල මිලිටරි මෙහෙයුම් වහාම සහ ස්ථිරව නවතා දැමීමට දෙපාර්ශවය එකඟ වී ඇති බව ෂෙහ්බාස් ෂරීෆ් සඳහන් කර ඇත. ගිවිසුම නිල වශයෙන් අත්සන් කිරීම ලබන සිකුරාදා ස්විට්සර්ලන්තයේදී සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.
ජනාධිපති ට්‍රම්ප් සිය Truth Social ගිණුම ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමඟ ඇති කරගත් ගිවිසුම “සම්පූර්ණ” බවත්, ලෝක බලශක්ති සැපයුම සඳහා අතිශය වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට සහ ඉරාන වරායන්ට එරෙහිව පනවා තිබූ ඇමෙරිකානු නාවික අවහිරතා ඉවත් කිරීමට කටයුතු කරන බවත්ය.
රොයිටර් වාර්තා අනුව, මෙම මූලික ගිවිසුම යටතේ සටන් විරාමයක් පවත්වාගෙන යාමටත්, හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමටත්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරි දින 60 තුළ අතිරේක සාකච්ඡා පැවැත්වීමටත් සැලසුම් කර ඇත.
කෙසේවෙතත්, ගිවිසුමේ අවසන් කොන්දේසි මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර, ඇතැම් ඉරාන නිලධාරීන් ගිවිසුමේ කාලසටහන සහ ඇතැම් කරුණු සම්බන්ධයෙන් තවදුරටත් විමසිල්ලෙන් පසුවන බවද වාර්තා වේ.
මෙම පුවතත් සමඟ ආසියානු කොටස් වෙළෙඳපොළවල් ඉහළ ගොස් ඇති අතර, ගෝලීය තෙල් මිල සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ. විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීමෙන් ජාත්‍යන්තර බලශක්ති වෙළෙඳපොළට සහනයක් සැලසිය හැකි බවයි.
