
මෙරට ප්‍රධාන පෙළේ බියර් නිෂ්පාදන සමාගම් කිහිපයක් සිය නිෂ්පාදනවල ප්‍රමිතිය පවත්වාගෙන නොයෑම සහ බදු අක්‍රමිකතා සිදුකරන බවට චෝදනා කරමින් ඒ සම්බන්ධයෙන් නෛතික මැදිහත්වීමක් සිදුකරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
මත්පැන් බලපත්‍රලාභීන් වන ග්‍රෙගරි අජිත් උඩුගම සහ චාමින්ද කුරුප්පු ආරච්චි සමඟ සිවිල් සමාජ ක්‍රියාකාරික සංජය මහවත්ත විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ බියර් නිෂ්පාදනයේදී ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීම බරපතළ ගැටලුවක් බවයි. සුරාබදු ආඥාපනතට අනුව බියර් යනු මෝල්ට් භාවිතයෙන් පැසවූ මත්පැන් වර්ගයක් ලෙස අර්ථ දක්වා ඇති නමුත් ඇතැම් නිෂ්පාදකයන් සහල් ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගනිමින් විශාල සීනි ප්‍රමාණයක් එක් කිරීම මගින් නීතිමය හා ප්රමිතිමය අවශ්‍යතා උල්ලංඝනය කරන බව ඔවුන් චෝදනා කරති.
මෙවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් සාම්ප්‍රදායික බියර් නිෂ්පාදනයට අදාළ කෘෂිකාර්මික බෝග වගා කරන ගොවීන් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන බවද පෙත්සමේ සඳහන් වේ.
එමෙන්ම බියර් නිෂ්පාදන සඳහා නියමිත ප්‍රමිති නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පාරිභෝගික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි අතර, ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් වීම මහජන සෞඛ්‍යයටද අහිතකර බලපෑම් ඇති කළ හැකි බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
ඒ අනුව සහල් සහ සීනි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිත කරමින් බියර් නිෂ්පාදනය කිරීම වැළැක්වීම සඳහා රිට් නියෝගයක් නිකුත් කරන ලෙසත්, බියර් සඳහා අනිවාර්ය ප්‍රමිති හඳුන්වාදීමට අදාළ බලධාරීන්ට නියෝග කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා ඇත.
තවද මෙම පෙත්සම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් සහල් හා සීනි භාවිතයෙන් බියර් නිෂ්පාදනය සඳහා ලබාදී ඇති අවසර තාවකාලිකව අත්හිටුවන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
