
2025 වසරේ ආරම්භ කළ “වනස්පති” වැඩසටහන යටතේ මේ වන විට වනාන්තර 81ක් රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.
අද (01) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එළැඹෙන ජුනි 5 වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් තවත් වනාන්තර 5ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.
ඒ අනුව රිටිගල, අලියාවැටුණුවැව, බුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචි යන වනාන්තර රක්ෂිත ලෙස නම් කෙරෙන අතර, සමස්ත රක්ෂිත සංඛ්‍යාව 86 දක්වා ඉහළ යනු ඇත.
අමාත්‍යවරයා පැවසුවේ “වනස්පති” වැඩසටහන 2025 ජූලි 15 වැනිදා ගම්පහ බජ්ජංගොඩ රක්ෂිතයේදී නිල වශයෙන් ආරම්භ කළ බවයි. එම වසර තුළ පමණක් වනාන්තර 29ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට හැකි වූ අතර, ඒවායේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 50,000කට ආසන්න බවද ඔහු සඳහන් කළේය.
ඉන් අනතුරුව 2026 ජගත් වනාන්තර දිනය නිමිත්තෙන් අම්පාර, බදුල්ල, නුවරඑළිය සහ මාතර දිස්ත්‍රික්කවල පිහිටි වනාන්තර 50ක් රක්ෂිත ලෙස නම් කර ඇති අතර, එම ප්‍රදේශවල මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 12,989ක් බවද හෙළි කෙරිණි. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ අඩි 5,000ට වඩා උසින් පිහිටි සංවේදී පරිසර කලාප කිහිපයක්ද එම රක්ෂිත අතරට ඇතුළත් කර තිබේ.
තවද, පසුගිය අප්‍රේල් මාසයේ පැවති ඒහිපස්සිකෝ සාම පාගමනට සමගාමීව මාතලේ දිස්ත්‍රික්කයේ නුගගහමුල යාය වනාන්තරය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පදිගම් පැලැල්ල වනාන්තරය රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
ජුනි 5 වැනිදා රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත නව වනාන්තර පහ තුළ හෙක්ටයාර 2,169ක භූමි ප්‍රමාණයක් අයත් වන අතර, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සහ පාරිසරික සංරක්ෂණය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස එය සැලකෙන බවද පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
