පක්ෂ මාරුවන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කිරීමේ පනතක් ඉක්මනින්!

 

මහජන ඡන්දයෙන් තේරී පත්ව පාර්ලිමේන්තුවට පැමිණ පසුව පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කිරීම සඳහා වන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

විපක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකු ආණ්ඩු පක්ෂයට එක්කර ගැනීම සඳහා රජයට කිසිදු සූදානමක් නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. ජනතාව ලබාදුන් ජනවරමට ගරු කරන බව සඳහන් කළ ඔහු, ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරුන් 159 දෙනෙකු තෝරා පත්කර දී ඇති බැවින් එම ජනවරමට එරෙහිව ක්‍රියා කිරීමට අවශ්‍යතාවක් නොමැති බවද පැවසීය.

එමෙන්ම රට වෙනුවෙන් අවංකව සේවය කිරීමට කැමැති පුද්ගලයන් රාජ්‍ය සේවයේ සහ විවිධ ආයතනවල සිටින බවත්, රාජ්‍ය යන්ත්‍රණය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ගේ සේවය ලබා ගැනීමට රජය පැකිළෙන්නේ නැති බවත් හෙතෙම සඳහන් කළේය.

හිටපු දේශපාලනඥයෙකු වන මහින්ද සමරසිංහ මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ඔහු දැනට එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන බවත්, ඊට අමතරව වෙනත් තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු වී නොමැති බවත්ය.

තවද, “කුඩා කණ්ඩායම් කිහිපයක් විවිධ ප්‍රවෘත්ති නිර්මාණය කරමින් සිටින අතර බලය අහිමිවීම හේතුවෙන් එවැනි ප්‍රචාර සිදු කරන බව”ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Social Sharing
නවතම පුවත්