මෑන් පවර් සේවකයින්ගේ කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!

රාජ්‍ය ව්‍යවසායන් සඳහා මෑන් පවර් ආයතන මඟින් සේවකයින් ලබා ගැනීම නියාමනය කිරීම සහ එම සේවකයින්ගේ කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ පරිපාලන සංශෝධන සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අදාළව, රාජ්‍ය ව්‍යවසායයන්හි දීර්ඝ කාලයක් සේවයේ යොදවා ඇති මෑන් පවර් සේවකයින්ට අගතියක් නොවන අයුරින් ඉදිරි ක්‍රියාමාර්ග සහ නීති සංශෝධන පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.

එම කමිටුව අදාළ රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වයන්ගෙන් සමන්විත වන අතර, මෑන් පවර් සේවකයින්ගේ සේවා තත්ත්වය, රැකියා සුරක්ෂිතතාව සහ නීතිමය පිළිගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය කාලය තුළ ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් සිය මූලික මෙහෙයුම් කටයුතු සඳහා සේවකයින් සෘජුව බඳවා ගැනීම වෙනුවට බාහිර මෑන් පවර් ආයතන හරහා තාවකාලික පදනමින් සේවකයින් යොදා ගැනීමේ ප්‍රවණතාව වැඩි වී ඇති බව රජය සඳහන් කරයි.

එමෙන්ම, එවැනි සේවකයින් බොහෝ දෙනෙකු එකම රාජ්‍ය ආයතනයක දීර්ඝ කාලයක් සේවයේ යොදවා තිබුණද, ස්ථිර සේවකයින්ට හිමි රැකියා සුරක්ෂිතතාව, ව්‍යවස්ථාපිත ප්‍රතිලාභ සහ නිසි නීතිමය පිළිගැනීම ඔවුන්ට නොලැබී ඇති බව ද පෙන්වා දී ඇත.

ඒ හේතුවෙන් ස්ථිර සේවකයින් හා සමාන රාජකාරි ඉටු කරන නමුත් අනාරක්ෂිත සේවා තත්ත්වයන් යටතේ කටයුතු කරන විශාල සේවක ප්‍රජාවක් රාජ්‍ය ආයතන තුළ බිහිවී ඇති බව ද සඳහන් වේ.

ජාත්‍යන්තර ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් හඳුන්වා දී ඇති පෞද්ගලික රැකියා නියෝජිතායතන ප්‍රඥප්තියට අනුකූලව සේවක අයිතිවාසිකම් සහ සුබසාධනය තහවුරු කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇතැයි රජය වැඩිදුරටත් සඳහන් කරයි.

Social Sharing
නවතම පුවත්