(ඡායාරූපය මීපුර නිව්ස් හී පළ වූවකි)
ශ්‍රී ලංකාවේ පුද්ගල අතුරුදන් කරවීම් සම්බන්ධයෙන් යුක්තිය පතා ගෙන යන සාමූහික අරගලයට දැවැන්ත ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි වෙමින් පවතී. මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ස්වීඩන් රජය විසින් පිරිනමනු ලබන ගෞරවනීය ‘පෙර් ඇන්ගර්’ (Per Anger) සම්මානය අතුරුදන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු සහෝදරයා වෙත පසුගියදා පිරිනමන ලදි. මෙම සම්මානය හුදෙක් ආභරණයක් පමණක් නො වේ. එය ශ්‍රී ලංකාවේ පුද්ගල අතුරුදන් කරවීම් සම්බන්ධ ලේ වැකුණු ඉතිහාසය වෙනස් කිරීම උදෙසා සටන් කළ පුද්ගලයන්ගේ ශ්‍රමය අගයමින් සිදු කළ ඉමහත් උපහාරයකි.
බ්‍රිටෝ ප්‍රනාන්දු සහෝදරයාගේ දේශපාලන හා සමාජ ක්‍රියාකාරිත්වය 1980-90 දශකවලදී මීගමුව ප්‍රදේශයෙන් ආරම්භ විය. මීගමුව පෙරියමුල්ල දේවස්ථානයේ ක්‍රියාකාරිකයකු ලෙස තරුණ සමාජය පිහිටුවමින් ප්‍රදේශයේ තරුණයන් සවිබල ගැන්වූ ඔහු, පසුව ලීනස් ජයතිලක සහෝදරයා සමඟ නව සමසමාජ පක්ෂයේ දේශපාලනයට පිවිසෙමින් මීගමුව නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස ද කටයුතු කළේය.
ඔහු අතුරුදන් වූවන් වෙනුවෙන් සිය සෘජු මැදිහත් වීම ආරම්භ කරන්නේ 1988-89 භීෂණ සමයේදී ය. නව සමසමාජ පක්ෂයේ අතුරුදන් වූවන්ගේ මාපිය දූදරු සංගමය හරහා තොරතුරු එක්රැස් කළ ඔහුට, ජයන්ති දන්දෙනිය මහත්මියගේ පෙම්වතා වූ රංජිත් සහ නීති උපදේශක ලයනල් යන අය ඝාතනය කර පුලුස්සා දැමීමේ සිදුවීම දැඩි බලපෑමක් ඇති කළේය. ඒ සමඟ ම ජයන්ති දන්දෙනිය ඇතුළු පිරිස සමඟ එක් ව ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා කටයුතු කිරීමට ඔහු පෙරමුණ ගත්තේය. 1992 ඔක්තෝබර් 27 වැනි දින පැවැත්වූ රංජිත්–ලයනල් සමරු වැඩසටහන සහ 2000 වසරේදී සීදුව රද්දොළුගම ස්මාරකය ඉදිකිරීම, අතුරුදන් වූවන් වෙනුවෙන් යුක්තිය සොයා යාමේ නව ගමනක ආරම්භය සනිටුහන් කළේය.
පීඩිත මව්වරුන්, භාර්යාවන් සහ දරුවන් වෙනුවෙන් නායකයකුටත් වඩා සමීප සහෝදරයකු ලෙස පෙනී සිටි බ්‍රිටෝ සහෝදරයා, 2004 වසරේදී “අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව” (FoD) ආරම්භ කළේය. අද වන විට එය පවුල් 20,000කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරයි. සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්හි පවුල් සත්‍යය සහ යුක්තිය සඳහා වූ පොදු සටනකට එක් කර ඇත. එතෙක් දකුණේ පවුල්වලට පමණක් සීමා වී තිබූ මෙම අරගලය උතුර සහ නැගෙනහිර ප්‍රදේශ පුරා ද ව්‍යාප්ත කිරීමට ඔහු සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය.
වසර 35කට අධික කාලයක් පුරා ඇදී ආ මෙම අරගලයේදී, බලයේ සිටියේ කුමන ආණ්ඩුවක් හෝ පාලකයකු හෝ වුව ද ඔහු තම අරගලය අත්හැරියේ නැත. මුදලට හෝ බලයට ඔහු යටත් කළ නොහැකි විය. පොලිසියට, හමුදාවට හෝ මැර කණ්ඩායම්වලට ඔහු නතර කළ නොහැකි විය. මෙම අරගලය වෙනුවෙන් ඔහු කිහිප වතාවක් ම රඳවා තබා ගැනීම්වලට සහ අත්අඩංගුවට පත් වීම්වලට ලක් විය. තවද, ත්‍රස්තවාදයට සම්බන්ධ යැයි චෝදනා ලබමින් ප්‍රශ්න කිරීම්වලට මෙන්ම තම නිවසට එල්ල වූ ප්‍රහාරවලට ද ඔහු මුහුණ දුන්නේය.
සංක්‍රාන්තික යුක්තිය (Transitional Justice) යනු අතීතයේ සිදු වූ මහා පරිමාණ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් (අතුරුදන් කිරීම්, ඝාතන ආදිය) සම්බන්ධයෙන් සත්‍යය සෙවීම, අපරාධකරුවන්ට එරෙහිව වගවීම තහවුරු කිරීම, වින්දිතයන්ට වන්දි ලබා දීම සහ එවැනි ඛේදවාචක නැවත සිදු නොවීම සහතික කිරීම සඳහා සමාජයක් විසින් ගනු ලබන පියවර වේ.
ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන්ට සත්‍යය සහ යුක්තිය අනිවාර්යයෙන් ම ලැබිය යුතු බවත්, ඒ වෙනුවෙන් රාජ්‍යයේ කැපවීම තවදුරටත් දැඩි පරීක්ෂාවට ලක් විය යුතු බවත් මෙම සම්මානය හරහා ලෝකයට කියාපායි. උතුරේ සහ නැගෙනහිර සිය ගණනක් මව්වරුන් දින 3000කට අධික කාලයක් තිස්සේ සිය ආදරණීයයන් වෙනුවෙන් අත් නොහැර සිදු කරන අරගලයක් පවතින මොහොතක, අතුරුදන් වූවන්ට කුමක් වී ද යන්න තහවුරු කිරීම සහ වගවීම සුරක්ෂිත කිරීම අතිශය වැදගත් වේ.
මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ස්වීඩන් රජයේ අන්තර්ජාතික පෙර් ඇන්ගර් ත්‍යාගය 2004 වසරේදී පිහිටුවන ලද්දකි. දෙවැනි ලෝක යුද්ධ සමයේදී බුඩාපෙස්ට්හි සේවය කරමින් හංගේරියානු යුදෙව්වන් සමූලඝාතනයෙන් බේරා ගැනීමට උදව් කළ වීරෝදාර රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ පෙර් ඇන්ගර්ගේ නමින් මෙය නම් කර ඇත. මවු රටේ මානුෂීය සහ ප්‍රජාතන්ත්‍රවාදී දායකත්වයක් ලබා දෙන සුවිශේෂී පුද්ගලයන් හෝ සංවිධාන උදෙසා මෙය වාර්ෂිකව ප්‍රදානය කෙරේ. මීට පෙර ලොව පුරා මානව හිමිකම් උදෙසා අභීතව සටන් කළ ක්‍රියාකාරීන් රැසකට මෙම සම්මානය පිරිනමා ඇත.
මෙම ත්‍යාගය පිරිනමමින් ජූරි සභාව සිය ප්‍රකාශයේ මෙසේ සඳහන් කළේය: “පෞද්ගලික ලාභයක් හෝ පිළිගැනීමක් නො සොයා, හඬ නො ඇසෙන අය වෙනුවෙන් බ්‍රිටෝ ප්‍රනාන්දු නිර්භීතව පෙනී සිටී. වගවීම සහ සහනය ඉල්ලා සිටීමට ඔහු වෙහෙස නො බලා කටයුතු කරයි. තමාගේ ම ආරක්ෂාව අවදානමට ලක් කරමින්, ගැඹුරු බෙදීම්වලින් සලකුණු වූ රටක ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් අතර පාලම් ගොඩනඟන අතර ම, සැමට යුක්තිය අදාළ වන සමාජයක් පිළිබඳ අදහස ඔහු ආරක්ෂා කරයි”. එබැවින් මෙය මනුෂ්‍යත්වයේ සේවය සඳහා කළ ජීවිත කාලය පුරා ම කැපවීම පිළිගැනීමක් බව ජූරිය අවධාරණය කළේය.
“ගෞරවය මට නො වේ. මෙම ත්‍යාගය වසර 35කට වැඩි කාලයක් අත් නොහැර සටන් කළ පවුල් සඳහා ය” යැයි පවසන බ්‍රිටෝ සහෝදරයා, නිලධාරිවාදය ප්‍රතික්ෂේප කළ ආදරණීය සහෝදරයකු මෙන්ම සැබෑ නායකයෙකි. ජාත්‍යන්තරයේ පවා ඇගයීමට ලක් වූ මෙම අප්‍රතිහත මානුෂීය අරගලය අවසන් ජයග්‍රහණය කරා ගෙන යාමට, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ලෙස අපි බ්‍රිටෝ ප්‍රනාන්දු සහෝදරයාට තව තවත් ශක්තිය, ධෛර්යය මෙන්ම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු!
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයෙහි එම ප්‍රකාශය පහතින්
