ශ්‍රී ලංකාවට IMF අනුමැතිය!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සහ හයවන සමාලෝචන සම්පූර්ණ කර ඒ සඳහා අනුමැතිය ලබාදී තිබේ.

IMF විධායක මණ්ඩලය ඊයේ (27) පැවති රැස්වීමේදී මෙම අනුමැතිය ලබාදුන් අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 695ක මූල්‍ය පහසුකමක් හිමිවීමට නියමිතය.

2023 මාර්තු මාසයේදී IMF විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 3ක විස්තීර්ණ අරමුදල් පහසුකමක් අනුමත කර තිබූ අතර, එහි ප්‍රගතිය සම්බන්ධ පස්වන සහ හයවන සමාලෝචන සඳහා මෙවර අනුමැතිය හිමිව ඇත.

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සඳහන් කළේ, අභියෝගාත්මක වාතාවරණයක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව විස්තීර්ණ අරමුදල් පහසුකමේ විධිවිධාන ශක්තිමත්ව ක්‍රියාත්මක කර ඇති බවයි.

කෙසේ වෙතත්, “දිට්වා” සුළි කුණාටුව සහ මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තවදුරටත් අවදානම් පවතින බවද ඔහු පෙන්වා දී ඇත.

2026 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 3ක මට්ටම දක්වා මන්දගාමී විය හැකි බව IMF පුරෝකථනය කර ඇති අතර, ඉන්ධන මිල ඉහළ යාම සහ සංචාරක ආදායම් පහත වැටීම එයට ප්‍රධාන හේතු ලෙස සඳහන් කර තිබේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වීමට ආසන්නව තිබුණද, ණය තිරසාරභාවයට අදාළ අවදානම් තවමත් ඉහළ මට්ටමක පවතින බැවින් මිල ස්ථාවරත්වය ප්‍රමුඛ කරගත් මූල්‍ය ප්‍රතිපත්තියක් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවද කෙන්ජි ඔකමුරා මහතා අවධාරණය කළේය.

මේ අතර, චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, වත්මන් ආණ්ඩුව යළිත් වරක් IMF සහාය ලබාගැනීමට අපේක්ෂා නොකරන බවයි.

ඊයේ රාත්‍රී විකාශය වූ “අලුත් පාර්ලිමේන්තුව” වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර, එම වැඩසටහනට එක්වූ අජිත් පී. පෙරේරා මහතා පෙන්වා දුන්නේ IMF සමඟ අඛණ්ඩ සහයෝගයෙන් කටයුතු කිරීම මෙරට ආර්ථික ස්ථාවරත්වයට වැදගත් වන බවයි.

Social Sharing
නවතම පුවත්