අස්වැසුමේ ඇස්වැසුමෙන් මිදීම: සහනාධාරවල සිට සැබෑ සවිබල ගැන්වීමක් කරා ගමන් කිරීම

දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීම එක් වචනයකින් අර්ථ දක්වා ඇත. ඒ සහනාධාර යන්නයි. වසර ගණනාවක් පුරා ජනසවිය, සමෘද්ධිය සහ මෑතකදී හඳුන්වා දුන් අස්වැසුම වැනි වැඩසටහන් මගින් මිලියන ගණනකට සහන සලසා ඇත. එහෙත්, අපගේ නව වාර්තා චිත්‍රපටය නිර්මාණය වන්නේ ඉතිරිව ඇති ගැඹුරු ප්‍රශ්නයක් වටා ය. එනම්, අප දරිද්‍රතාව පිටුදකිමින් සිටින්නේ ද, නැතහොත් හුදෙක් එය පවත්වා ගනිමින් සිටින්නේ ද?

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ ජාල පිළිබඳ අපගේ නවතම වීඩියෝව නරඹන ලෙස රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ඔබට ආරාධනා කරයි. පද්ධතිමය අඩුපාඩු, ආන්තිකකරණයට ලක් වූවන්ගේ හඬ සහ සුබසාධන ප්‍රතිලාභ මත යැපීමේ සිට සැබෑ ආර්ථික සවිබල ගැන්වීමක් කරා මාරු වීමේ හදිසි අවශ්‍යතාව එයින් අවධාරණය කරයි.

බිම් මට්ටමේ යථාර්ථය

2023 වසරේදී, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් දිස්ත්‍රික්ක 17ක් පුරා සමාජ ආරක්ෂණ ජාල පිළිබඳ පරිපූර්ණ මූලික සමීක්ෂණයක් පවත්වන ලදි. එහි ප්‍රතිඵල සහ ප්‍රජා සාකච්ඡා මගින් හෙළිදරව් වූයේ සමාජ ආරක්ෂණ පද්ධති මගින් නිර්මාණය කරන ලද “දරිද්‍රතා උගුලක්” ද ඇති බවයි.

සුබසාධන වැඩසටහන් තුළ හඳුනා ගත් පද්ධතිමය ගැටලු:

නොවෙනස්වන ප්‍රගතිය: ආධාර ලැබුණ ද තම ජීවිතවල සැලකිය යුතු ප්‍රගතියක් දැක නොමැති බව සුබසාධන ප්‍රතිලාභීන්ගෙන් 60%කට වඩා වැඩි පිරිසක් වාර්තා කළහ.

සුබසාධන යැපීම: යැපීමේ මානසිකත්වය මගින් දරිද්‍රතාවෙන් මිදීමට ක්‍රියාමාර්ග ගැනීමෙන් ජනතාව අධෛර්යමත් කරයි.

සැඟවුණු ආර්ථික: සුබසාධන ප්‍රතිලාභ අඛණ්ඩව ලැබෙන බව සහතික කර ගැනීම සඳහා ඇතැම් පුද්ගලයෝ හිතාමතාම ආර්ථික ක්‍රියාකාරකම්වලින් වැළකී සිටිති. නැතහොත් ඒවා සඟවති.

දේශපාලනීකරණය: සුබසාධන තේරීම් ඓතිහාසිකව දේශපාලන අනුග්‍රහය මත පදනම් වී ඇත. නිදසුනක් ලෙස, දේශපාලනීකරණය වූ තේරීම් හේතුවෙන් සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාව හදිසියේම මිලියන 2ක් දක්වා ඉහළ යාම දැක්විය හැකිය.

පරිපාලනමය බාධා සහ ඉලක්කගත කිරීමේ දෝෂ

කොවිඩ්-19 වසංගතයෙන් සහ ආර්ථික අර්බුදවලින් පීඩාවට පත් වූවන්ට තාවකාලික මුදල් මාරු කිරීම් හරහා සහාය වීම සඳහා ලෝක බැංකු සහාය ඇතිව 2023 වසරේදී අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන දියත් කරන ලදි. අස්වැසුම වැඩසටහනෙහි අරමුණ වූයේ අතීත වැරදි නිවැරදි කිරීම වුව ද, එය සැලකිය යුතු අභියෝගවලට මුහුණ දී ඇත.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල පනතේ ඇති දැඩි දඬුවම් වගන්ති හේතුවෙන් ග්‍රාම නිලධාරීහු සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීහු තේරීම් සංගණනයෙන් ඉවත් වූහ. මෙය එකතු කළ දත්තවල ගුණාත්මක භාවය පිළිබඳ ගැටලු සඳහා හේතු විය.

දුප්පත් ජනතාවගෙන් 53%කට අස්වැසුම ප්‍රතිලාභ නො ලැබෙන බව 2025 වසරේ කරන ලද සමීක්ෂණයකින් හෙළි විය. සැබැවින්ම අවශ්‍යතාව ඇති අය ප්‍රතික්ෂේප වන අතර, ධනවත් පුද්ගලයන් තෝරා ගනු ලබන බවට බොහෝ දෙනෙක් මැසිවිලි නගති.

අපගේ ස්ථාවරය: එකතැන පල් වීමට වඩා සවිබල ගැන්වීම අගය කිරීම

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නිල ස්ථාවරය මූලික මානව සත්‍යයක් සමග සමපාත වේ. එනම්, හාල් සලාක සහ සමෘද්ධි යුගවලදී මෙන් ජනතාව දිගු කලක් දරිද්‍රතාවේ එකතැන පල් නො විය යුතු බවයි.

සහනාධාර මත පමණක් යැපෙන සමාජ ආරක්ෂණ පද්ධතියක් තවදුරටත් දැරීමට ශ්‍රී ලංකාවට නොහැකිය. දරිද්‍රතාව පිටුදැකීම හුදෙක් මුදල් ලබා දීමෙන් ඔබ්බට යා යුතුය. තවද, එය ප්‍රජාවන් සෘජුවම නිෂ්පාදනය සමග සම්බන්ධ කරන සහභාගිත්ව සංවර්ධන ක්‍රියාවලියක් බවට පරිණාමය විය යුතුය.

ඉදිරි මාවත සඳහා අවශ්‍ය වන්නේ:

ඉලක්කගත සවිබල ගැන්වීම: සුබසාධන ප්‍රතිලාභ ලබා දිය යුත්තේ ප්‍රතිලාභීන්ගේ ජීවනෝපාය ගොඩනැගීමට සමගාමීවය.

ව්‍යවසායකත්වය කෙරෙහි අවධානය යොමු කිරීම: අඩු ආදායම්ලාභී පවුල්වලට තාවකාලික සහන වෙනුවට ක්ෂුද්‍ර මූල්‍ය, පුහුණුව සහ වෙළඳපොළ ප්‍රවේශය කඩිනමින් අවශ්‍ය වේ.

අවදානමට ලක් විය හැකි අය සඳහා රාජ්‍ය ආරක්ෂාව: නිදන්ගත දරිද්‍රතාව, දරුණු රෝගාබාධ හෝ ආබාධිත තත්ත්වවලින් පෙළෙන සමාජ කොටස සඳහා ස්ථිර සමාජ ආරක්ෂණයක් රජය විසින් වෙන් කළ යුතුය. එසේම, සෙසු පිරිසට ස්වයං රඳා පැවැත්මක් ළඟා කර ගැනීම සඳහා ඔවුන්ව සවිබල ගැන්විය යුතුය.

ප්‍රජා හිමිකාරිත්වය: අතීතයේ පැවති දේශපාලනීකරණය ජය ගැනීම සඳහාත් ප්‍රජා හිමිකාරිත්වය සාර්ථකව ගොඩනැගීම සඳහාත් නව ප්‍රජා ශක්ති මූලපිරීම වැනි වැඩසටහන් හරහා විනිවිදභාවය සහතික කළ යුතුය.

අපගේ වීඩියෝවේ සිටින එක් ධෛර්යවත් ව්‍යවසායකවරයෙකු නිවැරදිව ප්‍රකාශ කළ පරිදි, “අපට අතහිත දෙන්නේ නම්, අපි අපවම ගොඩනගා ගන්නෙමු.” ඔවුන්ගේ කථා ඇසීමට සහ ශ්‍රී ලංකාවට අවසානයේ දරිද්‍රතා චක්‍රය බිඳ දැමිය හැක්කේ කෙසේ දැයි දැන ගැනීමට සම්පූර්ණ වීඩියෝව (ඉංග්‍රීසි උපසිරැසි සහිතව) නරඹන්න.

Social Sharing
නවතම පුවත්