ස්මාට් පොලිස් සේවයක් වෙනුවෙන් සටන් වදිමු.


පොලිස් සේවයේ තියන සැබෑ කටුකකම ගැන රටේ රාළ දිගටම කතා කළා. නිලධාරීන්ට විදින්න වෙන දුෂ්කරතා ගැන විතරක් නෙවෙයි දිනපතා මුහුණ දෙන ජීවිත අවදානම් ගැනත් කතා කළා. පොලිස සේවය වගේ දුෂ්කර සේවයකට උගත් තරුණ ප්‍රජාව ආකර්ෂණය කර ගැනීමට අනිවාර්යෙන්ම උපක්‍රම තෝරන්න වෙනවා. සමහර බඳවා ගැනීමේ නීති ලිහිල් කරන්න වෙනවා. ඇත්තටම පොලිසය ගැන හිතන පොලිස්සති කෙනෙක් හිටියා නම් මේ ප්‍රශ්නවලින් භාගයක් විසඳගන්න තිබුණා.

සාමාන්‍යයෙන් අපේ රටේ අවුරුද්දකට ලක්ෂ දෙක හමාරක විතර සිසුන් පිරිසක් උසස් පෙළ ලියනවා. එයින් විශ්වවිද්‍යාල වරම් ලබන සහ වෙනත් විදේශ රැකියා/වෘත්තීය ක්ෂේත්‍රවලට යන පිරිස අතහැරියහම ඉතිරි වෙන පිරිස දිස්ත්‍රික්ක 25 ට බෙදුවම දිස්ත්‍රික්කයක ඉතිරි වෙන්නේ ලොකු පිරිසක් නෙවෙයි. අපේ තියන system එක කොච්චර මෝඩ එකක්ද කියලා මෙතනදී තේරුම් ගන්න පුළුවන්. ලංකාවේ සාමාන්‍යයෙන් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙලා, දෙවැනි සහ තෙවැනි වරටත් විභාගයට මුහුණ දීලා ඉවර වෙනකොට තරුණයෙක්ගේ වයස අවුරුදු 21-22 පනිනවා.

​වර්තමාන තාක්ෂණික ලෝකයට ගැළපෙන විදිහට පරිගණක (IT) සහ ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාවක් ඉවර කරලා සම්මුඛ පරීක්ෂණයකට යන්න සුදුසු පෞරුෂයක් හදාගන්න තරුණයෙකුට,තරුණියකට වයස අවුරුදු 23/24 ක් යනවා.ඒ සියලු සුදුසුකම් සපුරලා,සම්මුඛ පරීක්ෂණයට යනකොට වයස අවුරුදු 24 ඉක්මවා මාස 2ක්,3ක් යනවා.ඒ නොවැලැක්විය හැකි ප්‍රමාදය වරදක් බවට පත්වෙලා “වයස වැඩියි” කියන නිර්දේශය ඇවිත් එයාලා ප්‍රතික්ෂේප වෙනවා. මේ බඳවාගැනීමේ නීති හදපු බලධාරීන් හිතාගෙ ඉන්නේ ලංකාවේ තරුණ,තරුණියන් මව් කුසින් බිහිවන්නේම A/L සහ IT ඩිප්ලෝමා සහතික අතින් අරන් කියලා වෙන්න ඇති.එයාලට අනුව පොලිසියට ඕනි අධ්‍යාපනය තියන,පරිගණක දැනුම තියන හැබැයි වයස අවුරුදු 22 න් පස්සේ “වයස්ගත නොවන” ජීවීන් කොට්ඨාශයක්.

​පොලිස් සේවය කියන්නේ සැප පහසු විදහට කාර්යාල කාමරවල වාඩිවෙලා අටේ ඉඳන් පහ වෙනකම් කරන රස්සාවක් නෙවෙයි. ඇත්තටම පොලිස් සේවය කියන්නේ තාරුණ්‍යය සම්පූර්ණයෙන්ම දියකර හැරීමට සිදුවන කටුක යථාර්ථයක්. සාමාන්‍ය මිනිස්සු උත්සව සමරනකොට, නිදැල්ලේ නිදාගන්නකොට, පොලිස් නිලධාරියා මහ පාරේ මදුරුවන් තළමින් නිදි මරාගෙන රාජකාරි කරනවා. පවුලේ සාමාජිකයෙක්ගේ අසනීපයකදී හරි හදිසියකදී හරි පවා නිවාඩුවක් ගන්නවා කියන්නේ කළුනික හොයනවා වගේ වැඩක්.

​මහා වැස්සේ උනත්, ඔළුව පැලෙන අව් කාෂ්ඨකේ උනත් පැය ගණන් මහ පාරේ රථවාහන පාලනය කිරීමට හරි ආරක්ෂක රාජකාරිවල හරි නිරත වීමට පොලිස් නිලධාරියාට සිද්ධ වෙනවා. දීර්ඝ කාලයක් මේ වගේ පරිසරයක වැඩ කිරීම නිසා වැළඳෙන ලෙඩ රෝග අප්‍රමාණයි.​ වර්තමාන සමාජයේ අපරාධ රැල්ල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සන්නද්ධ ප්‍රහාර හමුවේ පොලිස් නිලධාරියෙක් ගෙදරින් එන්නේ ආයෙත් පණපිටින් එන්න වෙයිද කියන සැකයෙන්. මත්ද්‍රව්‍ය වැටලීම්,පාතාලය මර්දනය සහ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ පාලනය කිරීම් මැද, ඕනෑම මොහොතක තමන්ගේ ජීවිතය අහිමිවීමේ හරි සදාකාලික ආබාධිතයෙකු වීමේ හරි අවදානම තියනවා.
​දවසකට දෙන රු.3500ක වැටුප සහ නිලධාරී ඌනතාවය ජීවිත අවදානමක් සහ අධික කටුක බව තවත් වැඩි කරනවා. මේ ආර්ථික අර්බුදය ඉස්සරහා දවසකට රුපියල් 3500 ක (මසකට රු. 105,000 ක් පමණ) වත් නොලැබෙන වැටුපකට උගතුන් බඳවා ගැනීමට උත්සාහ කිරීම තවත් විහිළුවක්. ඇත්තටම සහකාර පොලිස් අධිකාරී (ASP) කෙනෙකුට පවා ලැබෙන්නේ දවසකට රුපියල් 4000 ක වැනි සොච්චම් මුදලක්.

​අද කාලයේ සාමාන්‍ය පෙදරේරුවෙකු හෝ කුලී සේවකයෙකු පවා කිසිදු ජීවිත අවදානමක් හෝ නීතිමය වගකීමක් නැතිව දවසකට රුපියල් 3500 – 4000 අතර මුදලක් හම්බකරනවා.මේ වගේ තත්ත්වයක් යටතේ දැනටමත් පොලිස් සේවයේ දැඩි නිලධාරී හිඟයක් තියනවා. දහස් ගණන් නිලධාරීන් සේවයෙන් ඉවත් වෙලා හෝ විදේශගත වන පසුබිමක,ඉතිරි වන පිරිසට අධික වැඩ ප්‍රමාණයක් පැවරීම නිසා ඔවුන් දැඩි මානසික ආතතියකට ලක්වෙලා.මේ වගේ වාතාවරණයකදී, ඉල්ලුම් කරන අතළොස්සක් වූ උගත්,කටුක බව විඳදරාගත හැකි තරුණයන් “වයස මාස කිහිපයකින් වැඩි යැයි” කියලා එලවා දැමීම පොලිස් සේවය විසින්ම තමන්ගේ බල නහර කපා ගැනීමක් වගෙයි.

​මේවා ඇහෙනකොට ඔයාලටත් හිතෙනවා ඇති පොලිස් සේවය ආය ගොඩගන්න පුළුවන් වෙයිද කියලා.අධ්‍යාපන ක්ෂේත්‍රයේ ස්වභාවය සහ වත්මන් තරුණ පරපුරේ ගමන් මඟ පිළිබඳ කිසිදු ප්‍රායෝගික අවබෝධයක් නැති නිලධාරීන් විසින් හදන මේ බඳවාගැනීමේ ක්‍රමය වහාම වෙනස් කරන්න ඕනි.පොලිස් සේවය නැවතත් ගෞරවනීය සහ කාර්යක්ෂම සේවයක් බවපත් කරන්න නං ​වයස් සීමාව ලිහිල් කරලා අවම වයස අවුරුදු 26 දක්වා ගේන්න ඕනි.

2026/2027 ගැසට් පත්‍ර මඟින් බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව අවම වශයෙන් අවුරුදු 26 දක්වා වත් වහාම ඉහළ දාන්න.උසස් පෙළින් පසු තමන්ගේ වෘත්තීය සහ තාක්ෂණික සුදුසුකම් (English/IT) හදාගත් වඩාත් පරිණත සහ ක්ෂේත්‍රයේ දුෂ්කරතාවලට ඔරොත්තු දෙන්න පුළුවන් තරුණ තරුණියන්ට දායක වීමට අවස්ථාව ලැබෙන්න ඕනි.​ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත පිරිස් මෙන්ම ජීවිතය පරදුවට තබා වැඩ කරන මිනිසුන් ආකර්ෂණය කර ගැනීමට නම්,එයාලගේ ශ්‍රමයට,කටුක බවට සහ ජීවන වියදමට සරිලන සාධාරණ වැටුප් මෙන්ම අවදානම් දීමනා ව්‍යුහයක් සකස් කරන්න ඕනි.

සහතික පත්‍රවල ඇති දින වකවානු බලා යාන්ත්‍රිකව ළමයින් ප්‍රතික්ෂේප නොකර,එයාලා සතු ප්‍රායෝගික කුසලතා,කායික/මානසික ශක්තිය සහ පෞරුෂය කෙරෙහි අවධානය යොමු කරන්න ඕනි.

​​”රටට ගැලපෙන ස්මාර්ට් පොලිසියක්” හැදීමට නම් ඉස්සෙල්ලාම කරන්න ඕනි මේ ගැසට් නිවේදන ගසන නිලධාරීන් ” ස්මාර්ට් ” වෙන එකයි.මහ පාරේ කටුක බව විඳිමින්,ජීවිත අවදානමට මුහුණ දෙමින් වැඩ කරන්න සූදානම්වෙලා එන උගත් තරුණයන් වයස මාස කිහිපයකින් වැඩි උනා කියලා හරවා යැවීම අතිශයින්ම අසාධාරණයි වගේම ජාතික අපරාධයක්.ඒක නිසා ඊළඟ ගැසට් එකෙන් වයස් සීමාව අවුරුදු 26 දක්වා ලිහිල් කිරීම,පොලිස් ක්ෂේත්‍රයේ පැවැත්මට වගේම රටේ ආරක්ෂාවටත් කරන අත්‍යවශ්‍යම ආයෝජනයක් වෙනුවා ඇත.

උපුටා ගැනීම රටේ රාල

Social Sharing
අවකාශය පුවත්