
අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසකට අප්‍රේල් මාසයට අදාළ දීමනාව දෙවරක් ගෙවා ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පිළිගෙන තිබේ.
එම අමාත්‍යංශයේ සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවලගෙදරගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ‘අතපසුවීමකින් slip file එකක් දෙවරක් උඩුගත වීමෙන්’ මෙම දෝෂය සිදුවී ඇති බව ය.
‘සේවයේ අවශ්‍යතාව මත තොරතුරු තාක්ෂණ අංශය සහ මූල්‍ය අංශය ඉතාමත් කෙටි කාලයක් තුළ අමතර විශේෂ දීමනා ගෙවීමට අදාළ ප්‍රතිලාභී පවුල් ලක්ෂ 17කට ආසන්න ලේඛනයක් සකස් කරන ලදී. එය slip ලිපිගොනු 90,000ක ධාරිතා මට්ටමින් කාණ්ඩ කර සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ බැංකු ගිණුම් ක්‍රියාත්මක වන ලංකා බැංකුවට උඩුගත කරනු ලැබී ය. එහිදී අතපසුවීමකින් slip file එකක් දෙවරක් උඩුගත (upload) වී ඇත. එහිදී දුප්පත් ප්‍රතිලාභී කාණ්ඩයේ ද්විත්ව ගෙවීමක් සිදුවී ඇති බව අනාවරණය වූ අතර, ක්ෂණිකව ක්‍රියාත්මක වූ සුබසාධක ප්රතිලාභ මණ්ඩලය ද්විත්ව ගෙවීම slip file සඳහා අදාළ ගෙවීම් අත්හිටුවා එම මුදල් මණ්ඩලයේ බැංකු ගිණුමට ආපසු බැර කරන ලෙස බැංකුව වෙත දන්වන ලදී. අප්‍රේල් ද්විත්ව ගෙවීම අත්හිටුවීමට පෙර ප්‍රතිලාභීන් විසින් ඔවුන්ගේ ගිණුම්වලින් මුදල් ලබා ගැනීම හේතුවෙන් අය කර ගැනීමට නොහැකි වූ ප්‍රතිලාභීන් 49,759කගේ රුපියල් 248,795, 000ක මුදල් 2026 මැයි මාසයේ අස්වැසුම ගෙවීමෙන් අය කර ගැනීමට කටයුතු සැලසුම් කර ඇත,’ යනුවෙන් අදාළ නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, අදාළ මුදල් අය කර ගැනීමට හැකි වනු ඇතැයි එම මණ්ඩලය විශ්වාසය පළ කරයි.
කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් Free Lawyers සංවිධානය සඳහන් කර ඇත්තේ, ශුභසාධක ප්රතිලාභ මණ්ඩලය හරහා රු. ලක්ෂ 5000කට මදක් අඩු මුදලක් අතිරේක වශයෙන් අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවා ඇති බව ය.
දිස්ත්‍රික්ක කිහිපයක අස්වැසුම ප්‍රතිලාභීන් වෙත එලෙස ද්විත්ව ගෙවීමක් සිදුකර ඇති බව පෙන්වා දෙන එම සංවිධානය, ඒ පිළිබඳව පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් පවත්වන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
“මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් අතුරුදන්වීම හා සමාන ආකාරයකට අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක්/වැඩිපුර මුදල් ගෙවීම රාජ්‍ය මූල්‍ය කලමනාකරණයේ අද ඇති වී තිබෙන බිඳවැටීම, වියවුල හා වගකීම් විරහිතභාවය මනාව පිළිබිඹු වන්නකි.” Free Lawyers සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
2026 අප්‍රේල් මස දාහත් ලක්ෂ තිස් තුන් දහසකට ආසන්න පවුල් සංඛ්‍යාවකට අස්වැසුම ප්රතිලාභ ගෙවීමට නියමිතව තිබූ බවත්, ඉන් පිරිසකට අස්වැසුම ප්රතිලාභ දෙවරක් ගෙවා ඇති බවත් Free Lawyers සංවිධානය කතානායකවරයා වෙත දැනුම් දී තිබේ.
එමෙන් ම, තවත් පිරිසකට රජය විසින් බෝනස් දීමනාවක් ලෙස නියමිත මුදලට වඩා වැඩි මුදලක් ගෙවා ඇති බව ද එම සංවිධානය සඳහන් කරයි.
Free Lawyers සංවිධානය විසින් කතානායකවරයා වෙත යවන ලිපියේ ප්‍රශ්න 10ක් යොමු කර ඇති ඒවා පහත පරිදි වේ.
1. අප්‍රේල් මාසයේ මුදල් ලැබිය යුතුව තිබූ පවුල් ලක්ෂ 18කට ආසන්න සංඛ්‍යාවෙන් කොපමණ සංඛ්‍යාවකට නියමිත ප්‍රමාණයට වැඩි මුදලක්/ද්විත්ව ගෙවීම් ලැබී තිබේ ද?
2. කෑගල්ල, මොනරාගල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ද්විත්ව ගෙවීම් සිදු කර ඇති ප්‍රමාණය පිළිබඳ මේ දක්වා විමර්ශනයක් ආරම්භ කර තිබේ ද?
3. දෙවරක් මුදල් (Double Payment) නියමිත ප්‍රමාණයට වැඩි මුදලක් (Additional Payment/Extra Payment) ගෙවනු ලැබ ඇති මුළු ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව කොපමණ ද
4. අස්වැසුම ප්‍රතිලාභීන් වෙත නියමිත ප්‍රමාණයට වැඩි කිසිදු සොයාබැලීමකින් තොරව, වගකීම් විරහිත ලෙස නිකුත් කරනු ලැබ ඇති මුළු මුදල් ප්‍රමාණය කොපමණ ද?
5. ශුභසාධක මණ්ඩලයේ මුල්‍ය බලතල පැවරීමේ ක්‍රමවේදය/කාර්ය පටිපාටියට පිටින් මෙම මුදල් ගෙවීම සිදු කළ නිලධාරීන් කවුද?
6. ශුභසාධක මණ්ඩලයේ මණ්ඩලයේ කටයුතු සඳහා දේශපාලන පත්වීමක් ලෙස අනුයුක්ත කර ඇති නිලධාරීයා/නිලධාරීන්/කොමසාරිවරයා කවුද?
7. දේශපාලන පත්වීම් ලැබ මේ සා විශාල මුදලක් නාස්තිය/අයථා පරිහණය/දූෂණය සිදු කළ සිදුවීම පිළිබඳ මේ වන විට විධිමත් අධිකාරියක් යටතේ මුලික විමර්ශනයක් පවත්වා තිබේ ද?
8. මෙම කාර්යයට සම්බන්ධ වූ නිලධාරීන් වෙත මූල්‍ය රෙගුලාසි යටතේ මූල්‍ය බලතල පැවරීමක් සිදු කර තිබේ ද? එසේ බලතල පැවරූ නිලධාරියා/බල අධිකාරිය කවුද?
9. භාණ්ඩාගාරය මෙම අතිරේක මුදල් නිකුත් කිරීම පිළිබඳ මුලික විමර්ශනයක් සිදු කර තිබේ ද? එසේ නම් එයට වගකිව යුතු භාණ්ඩාගාර නිලධාරීන් හදුනාගෙන තිබේ ද?
10. එසේ නොවේ නම් මෙය මෙයත් තවත් හැකර් ප්‍රහාරයක් ද? අත්වැරදීමක් ද? එසේත් නැතිනම් මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරයට අත්දැකීම් රහිත, කාර්යාලීය ක්‍රමවේදයන් පිළිබඳ කිසිදු දැනුමක් අවබෝධයක් නොමැති දේශපාලන පත්වීම් සිදු කිරීමේ ප්‍රතිඑලයක් ද?
උපුටා ගැනීම BBC සිංහල
