කපිල චන්ද්‍රසේන මිය යයි. මහින්ද රාජපක්ෂ මැයි 12 අල්ලස් කොමිසම හමුවට – දුලාන් දසනායක

බරපතළ අපරාධ නඩුවක විත්තිකරුවකු වූ ඇතැම් විට පැමිණිල්ලේ සහ හෝ විත්තියේ සාක්ෂිකරුවකු වීමටද නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා මිය ගොස් ඇති අතර ඔහුගේ සිරුර අද උදෑසන සොයා ගෙන ඇත.

කපිල චන්ද්‍රෙස්න මහතා අල්ලස් කොමිසම විසින් කුප්‍රකට එයාර් බස් ගනුදෙනුවකට අත්අඩංගුවට ගෙන සිටි අතර එහිදී මුල් අවස්ථාවේ එකී ගනුදෙනුවෙන් අල්ලස් ලෙස ලැබුණු මුදල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දුන් බවට පාපෝච්ඡාරණයක් කල බව වාර්තා විය. නමුත් පසුව ඔහු විසින් අධීකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක් මගින් දන්වා සිටියේ එකී පාපෝච්ඡාරණය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාගේ තර්ජනයක් මත සිදු කරන ලද දෙයක් බවයි.

කපිල චන්ද්‍රෙස්න මහතා ලබා දුන් එකී දිවුරුම් ප්‍රකාශය ගැන නැවත මතකය අවදි කිරීම වැදගත්. එහි ඔහු ප්‍රකාශ කලේ රංග දිසානායක මහතා විසින් මීට පෙරද කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාට එරෙහිවද තොරතුරු සහිතව සිටි සාක්ෂිකරුවකු වීමට ඉඩ තිබූ අයෙකු අභිරහස් ලෙස මිය ගිය බවයි. “කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නඩුවේ යම්කිසි පුද්ගලයෙක් එල්ලිලා මැරුණා. ඒ වගේ එල්ලිලා මැරෙන්න වෙන්නේ කියලයි මගේ සේවාදායකයාට තර්ජනය කරලා තිබෙන්නේ” කියා මහේස්ත්‍රාත් අධිකරණයේදී කපිල චන්ද්‍රෙස්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයේ අවධානය යොමසු කරමින් ප්‍රකාශ කල බව බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කර තිබුණි. (https://www.bbc.com/sinhala/articles/cly0nl18v29o)

රංග දිසානායක මහතා මෙම ප්‍රකාශය කිරීම තුළින් බලාපොරොත්තු වූයේ තර්ජනයක්ද? එසේ නොමැති නම් මෙවැනි බලවතුන් සම්බන්ධ බරපතළ අපරාධයන් හි තොරතුරු දන්නා අයට ජීවිත තර්ජනද ඇති බැවින් දන්නා තොරොතුරු හෙළි කරන්නේ නම් ආරක්ෂාවද සහතික කල හැකි බවද? මේ කිසිවක් සාමාන්‍ය ජනයා නොදනී. එකී දිවුරුම් ප්‍රකාශයේ සදහන් කරුණකට අදාළව අප වෙත නැගෙන ප්‍රශ්න කිහිපයකි මෙය.

මේ සිදුවීම් අපට කියා පාන්නේ බලවතුන් සම්බන්ධ අපරාධ නඩුවල තොරතුරු දන්නා පුද්ගලයන් සෘජු තර්ජනයන්ට සේම වෙනත් අයුරකින් ඔවුන්ගේ ජීවිතයම ඔවුන්ටම නසා ගත යුතු බවට හැගෙන ආකාරයේ බරපතළ මානසික තර්ජනයන්ට හෝ ව්‍යාකූල භාවයන්ට පත් වන බවයි.

මිය යන විට චන්ද්‍රෙස්න මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබුණි. අල්ලස් කොමිසම ඉල්ලා තිබුනේ ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කිරීම හේතුවෙන් නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය. චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාරගත කල අයෙකි. රක්ෂිත බන්ධනාගාරගත වන්නේ සැකකරුවන් මිස වැරදිකරුවන් නොවේ.

ලංකාවේ රක්ෂිත බන්ධනාගාරයේ තත්වය අනුව රක්ෂිත බන්ධනාගාරගතවීමට වඩා සිය දිවි නසා ගැනීම හොද යැයි චන්ද්‍රෙස්න මහතා සිතුවාද? දැනට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ චන්ද්‍රෙස්න මහතා සිය දිවි නසා ගෙන ඇති බවයි.

කපිල චන්ද්‍රෙස්න මහතාගේ මරණය, බලවතුන් සම්බන්ධ බරපතළ අපරාධයන්ගේ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව හා මානසික තත්වය, ලංකාවේ අධිකරණයන්ට ඉදිරිපත් කරන ඇපකරුවන් ගේ තත්වය, සැකකරුවන් රදවා සිටින බන්ධනාගාරයන්හි තත්වය, ඇප ලබා දුන් පසු එවැනි විත්තිකරුවන්ගේ ආරක්ෂාව මෙන්ම සාක්ෂිකරුවන් විය හැකි පුද්ගලයන්ගේ තත්වය පිළිබද නැවත සිතා බැලීමට අවස්ථාවක් සපයයි.

මෙම ගනුදෙනුවේ අල්ලස් මුදල් හුවමාරු වූවා යැයි කියන විදේශ ගිණුම් හිමිකරු වන මොහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අයට ජාත්‍යන්‍තර රතු වරෙන්තු නිකුත් කර ඇති අතර ඇයට ශ්‍රි ලංකාවට පැමිණීමට තර්ජන හේතුවෙන් නොහැකි බවට ප්‍රකාශ කර ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි,

පසුගියදා සිය දිවි නසා ගැනීමක් ලෙස තීරණය කල රංග නිශාන්ත රාජපක්ෂ යන මහා භාණ්ඩාගාරයේ නිලධාරීයාගේ මරණයේදී මෙන්ම මෙම කපිල චන්ද්‍රෙස්න මහතාගේ මරණයද සිය දිවි නසා ගැනීමක් නම් ඒ සදහාද සාමාන්‍ය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඔබ්බට ගොස් සිය දිවි නසා ගැනීමට හේතුවූ මනෝ සමාජයීය හේතූන් එළිදරව් කර ගැනීමට මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක අවශ්‍යතාවය පැන නැගෙයි. මෙවැනි සංකීර්ණ අපරාධයන් හි සැකකරුවන් හෝ සාක්ෂිකරුවන් මේ ආකාරයට මිය යාමත් ඉදිරියේදී හෝ එවැනි මරණයන්ගෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙන්නේ එවැනි පියවරක් තැබීමෙනි.

මේ සියළු මරණ ඉතාම කණගාටුදායක නීතියේ පාලනය සලිත කරවන මහජනයා කම්පනයට ලක් කරන මරණයකි.

එයාර් බස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මැයි 12 දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

 

Social Sharing
නවතම පුවත්