
(මෙම ඡායාරූපය පසුගිය වසරේ අමාත්‍යවරිය හමුවූ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයකි)
ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව, ළමයින් දෙදෙනෙකු විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය වෙත විවෘත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.
සහිල් (අවුරුදු 11) සහ ශෂ්‍යනූ (අවුරුදු 10) යන දරුවන් විසින් ලිපියක් සකස් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ශාරීරික දඬුවම් සම්පූර්ණයෙන් අවසන් කිරීම සඳහා නීතිමය පියවර ගන්නා ලෙස එමඟින් ඉල්ලා ඇත.
මෙම දරුවන් දෙදෙනා ශාරීරික දඬුවම්වලට දැඩි ලෙස විරුද්ධ වන අතර, එය අවසන් කිරීම සඳහා පෙනී සිටීමේ අරමුණින් පසුගිය වසරේ මුලදී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය හමුවූ බවද සඳහන් වේ. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ශාරීරික දඬුවම් අවසන් කිරීම සඳහා යෝජිත නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අතරමඟ නවතා ඇති බව පිළිබඳව ඔවුන් කලකිරීමට පත් වූ බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල්වල ශාරීරික දඬුවම් තහනම් බව දැනුම් දෙන ලද බව මෑතකදී දැනගැනීමෙන් ඔවුන් සතුටු වූ නමුත්, එම චක්‍රලේඛයේ “අපරාධකරුවන්ට නීතිය අනුව කටයුතු කරනු ඇත” යනුවෙන් සඳහන් වුවද, නීතිය තුළ පවතින හිඩැස් හේතුවෙන් එය ප්‍රායෝගිකව ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ අදහස වී ඇත.
ඒ අනුව, මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා ගැනීමේ අරමුණින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය වෙත විවෘත ලිපියක් ලිවීමට මෙම දරුවන් තීරණය කළ බව සඳහන් වේ. තවද මෙම විවෘත ලිපිය ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය වන අප්‍රේල් 30 දිනට සමගාමීව මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා ඇති බවද වාර්තා වේ.
