ඕස්ට්‍රේලියානු ආයතනයකට කළ ගෙවීම් දහයක් වංචාවට ලක්වෙලා – ආචාර්ය හර්ෂ ද සිල්වා

පසුගිය නොවැම්බර් මාසය සහ ජනවාරි මාසය අතර කාලය තුළ අවස්ථා 10කදී ඕස්ට්‍රේලියානු ආයතනයක් වෙත සිදු කළ ගෙවීම් දහයම වංචාවට ලක්ව ඇති බව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එම ගෙවීම් දහයේ එකතුව ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වන බවත්, මෙම තොරතුරු පසුගිය මුදල් කාරක සභා රැස්වීමේදී අනාවරණය වූ බවත් ඔහු සඳහන් කළේය.

මෙම ගනුදෙනු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා පැය තුනකට අධික කාලයක් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමක් සිදු කිරීමෙන් අනතුරුව මෙම තොරතුරු අනාවරණය වූ බව ද හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

අදාළ ගෙවීම් දහයෙන් එකක්වත් නිසි පාර්ශවයට ලැබී නොමැති අතර, ඒ සියල්ල වංචාවකට ලක්ව ඇති බව රජය සෘජුවම දැනගෙන ඇත්තේ පසුගිය මාර්තු මාසයේදී බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිදුවීම හේතුවෙන් මහාභාණ්ඩාගාරයට ඩොලර් මිලියන 2.5ක මුදලක් අහිමිව ඇති බවත්, එම මුදල නැවත ලබා ගැනීමට නොහැකි වුවහොත් අවසානයේ එහි බර දැරීමට සිදුවන්නේ මෙරට බදු ගෙවන ජනතාවට බවත් හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් සියලු සාක්ෂි සහිත සම්පූර්ණ වාර්තාවක් මාසයක් ඇතුළත ලබාදෙන ලෙස පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු අදාළ නිලධාරීන්ට නිර්දේශ කර තිබේ.

එම නිර්දේශය පක්ෂ හා විපක්ෂ සියලු සාමාජිකයන්ගේ එකඟතාවය ඇතිව සිදු කළ බව ද මුදල් කාරක සභාවේ සභාපතිවරයා ඉකුත්  30 වන දා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

Social Sharing
නවතම පුවත්