
ලක්විජය බලාගාරය සඳහා ගල් අඟුරු සැපයීමේදී නියමිත පරාමිතීන්ට අනුකූල නොවන අයුරින් ගල් අඟුරු සපයා තිබීම හේතුවෙන් අදාළ සැපයුම්කරුගෙන් රුපියල් මිලියන 2,332.5ක දඩ මුදලක් අයකරගත හැකි බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
එම වාර්තාවට අනුව, ගල් අඟුරු නැව් තොග කිහිපයකින්ම ප්‍රමිතීන්ට අනුකූල නොවන ගල් අඟුරු සැපයීම හේතුවෙන් විශාල දඩ මුදල් අයකර ගැනීමට හැකි බව සඳහන් වේ. පළමු නැවෙන් රුපියල් මිලියන 644.7ක්, දෙවැනි නැවෙන් 135.3ක්, තුන්වැනි නැවෙන් 150.4ක්, හතර වැනි නැවෙන් 107.1ක් දඩ මුදල් අයකරගත හැකි බව විගණනය මගින් අනාවරණය කර ඇත.
එමෙන්ම පස්වැනි නැවෙන් රුපියල් මිලියන 155ක්, හය වැනි නැවෙන් 158.2ක්, හත්වැනි නැවෙන් 134.5ක්, අට වැනි නැවෙන් 168.8ක් සහ නව වැනි නැවෙන් 678.5ක් ලෙසද දඩ මුදල් අයකරගත හැකි බව වාර්තාවේ සඳහන් වේ.
විගණන වාර්තාව තවදුරටත් පෙන්වා දෙන්නේ ආනයනය කරන ලද ගල් අඟුරු නිසි ප්‍රමිතියට නොවීම හේතුවෙන් සිදුවී ඇති මුළු අලාභය රුපියල් මිලියන 2,237.7ක් බවයි.
මේ අතර 2025/2026 වාරය සඳහා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළද ගැටලු රැසක් පැවති බව මෙම විශේෂ විගණන වාර්තාවෙන් හෙළි වී ඇත.
විශේෂයෙන්, ටෙන්ඩරය හිමි වූ ට්‍රයිඩන්ට් සමාගම ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වන විට සම්පූර්ණ ලියාපදිංචිය සිදු කර නොතිබූ බව විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර තිබේ. එමෙන්ම ගල් අඟුරු පරීක්ෂා කිරීම සඳහා භාවිත කළ පරීක්ෂණාගාරය බලපත්‍ර අහෝසි වූ ආයතනයක් බවද අනාවරණය වී ඇත.
තවද, පැටවුම් වරායේ පරීක්ෂණ වාර්තා සහ ලක්විජය බලාගාරයේ පාලන ඒකකයෙන් ලබාගත් දත්ත අතර පරස්පරතා පැවති නමුත් ඒ පිළිබඳ නිසි තහවුරු කිරීම් සිදු කිරීමට ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කර නොමැති බවද වාර්තාවෙන් සඳහන් වේ.
එමෙන්ම 2025 නොවැම්බර් 13 සිට දෙසැම්බර් 30 දක්වා දින 40ක කාලයක් තුළ ගල් අඟුරු නැව් ගෙන්වා ගැනීමට නොහැකිවීම හේතුවෙන් පසුව ක්ෂණික ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා ගල් අඟුරු මිලදී ගැනීමට සිදු වී ඇති බවද විගණනය පෙන්වා දෙයි.
මෙම තත්ත්වයන් හේතුවෙන් අනාගතයේදී ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණවත් නොවීම සිදු වුවහොත්, එය මෙරට අඛණ්ඩ විදුලි බල සැපයුමට අවාසිදායක ලෙස බලපා හැකි බවද විගණකාධිපතිවරයා අනතුරු අඟවා ඇත.
